Print this Article


මගේ නොවන දේ මගේ කියා සිතන තුරු කම්පාව ඔබ හැර නොයයි

මගේ නොවන දේ මගේ කියා සිතන තුරු කම්පාව ඔබ හැර නොයයි

වෙනස් වන, කැඩෙන බිඳෙන ලෝකයේ අනිත්‍ය ස්වභාවය ම හැර නිත්‍ය කිසිවක් නැත. සන්තානය පිළිගන්නා අරමුණුවල ස්වභාවය ද එසේම ය. වරෙක සුබ අරමුණු ලැබෙන අතර, වරෙක අසුබ අරමුණු පිළිගැනීමට සිදුවේ.

අංගුත්තර නිකායේ පඨම ලෝකධම්ම හා දුතිය ලෝක ධම්ම සූත්‍රද්වය මඟින් ස්ථිර නොවූ නිරන්තරයෙන් විපරිණාමයට පත්වන සත්ත්වයින් කෙරෙහි බලපාන්නා වූ කරුණු අටක් ඉදිරිපත් කරයි.

ලාභය, යස, ප්‍රශංසාව හා සැප සුබ වශයෙන් ලැබෙන අතර අලාභය, අයස, නින්දාව හා දුක අසුබ වශයෙන් විඳීමට සිදුවේ. මේවා චක්‍රයක් මෙන් නිරන්තර ප්‍රවර්ථනයට ලක් වන බැවින් ස්ථිර නොවේ. වරෙක සැප යැයි සිතන දෙයම වරෙක දුකක් බවට පත් වේ. අයකුට සැප දෙය තවත් අයකුට දුකක් විය හැකි ය. අප මේ ධර්මතාව තේරුම් ගත යුතු ය. වත්මන් ලෝකයෙහි විවිධ අර්බුද පැන නැඟී ඇත්තේ මෙම විපරිනාමී ධර්මතාව අවබෝධ කර නොගත් නිසා ය.

බොහෝවිට අපගේ ලාභ, අලාභ ආදිය තීරණය වන්නේ අප විසින් පූර්ව කෘත කර්මානුරූපීවයි. (සියල්ල සිදු වන්නේ පූර්ව කෘත කර්මයෙන් යැයි මින් අදහස් නොවේ.) එබැවින් එය ලෝක ධර්මතාව හා සසඳා මානසික ස්ථාවරත්වය ගොඩනඟා ගත යුතු ය.

අපි‍්‍රය සංයෝගය, පි‍්‍රය විප්‍රයෝගය, ඉච්ඡාභංගත්වය, කැමැති දේ නොලැබීම ආදිය නිසාම ජීවිතය නිවැරැදිව කළමනාකරණය කර ගැනීමට අපොහොසත් සියල්ලන්ට ම කදිම ඖෂධය අටලෝ දහම පිළිබඳ ඉගැන්වීමයි.

සිහි නුවණින් යුතු පණ්ඩිත පුද්ගලයා සතත විපරිණාමයට පත්වන අෂ්ට ලෝක ධර්මය පිළිබඳ නුවණින් අවබෝධ කරගෙන ඉන් කම්පාවට පත් නොවන බව දුතිය ලෝකධම්ම සූත්‍රය පෙන්වා දෙයි. ඔහුගේ සන්තානයෙහි මෙම ලෝක ධර්මතාව පිළිබඳ විරෝධයක් නූපදී. ඔහු කෙලෙස් ප්‍රහීණ කොට ශෝක රහිතව නිර්වාණය කරා පිවිසෙයි.

අටලෝ දහමින් කම්පා නොවී සිටීමට නම් මානසික ස්ථාවරත්වය අත්‍යවශ්‍ය කරුණකි. බෞද්ධ භාවනාව ඒ සඳහා මනා මාර්ගෝපදේශ සපයයි. දුර්වල වෘක්ෂයන් මන්ද මාරුතයෙන් පවා සසල වේ. එහෙත් ඒක ඝන වූ සිදුරු රහිත පර්වතයෝ සුළඟින් නොසෙල්වේ. චිත්ත සන්තානය ශක්තිමත් වූ ප්‍රාඥයා ද එසේම යි. ඔහු අටලෝදහම ඉදිරියෙහි කිසිවිටෙක කම්පාවට පත් නොවේ.

එහෙයින් ඔබ ශක්තිමත් විය යුත්තේ තනතුරෙන්, බලයෙන්, ධනයෙන්, ආරක්ෂාවෙන් පිරිවර සේනාවෙන් හෝ ජනපි‍්‍රයත්වයෙන් නොවේ. අටලෝ දහමට කම්පා නොවීමේ ගුණයෙනි.

රැකියාව අහිමිවීම, වැටුප අඩුවීම, ගංවතුර ගැලීම, දරුවන් හැර යාම, සහකරුගේ වෙනස්වීම, රෝගීවීම, කෙනකු බැණ වැදීම, ඡන්දයෙන් පරාජයවීම ආදී කිසිවක් එවිට කම්පාවට හේතු නොවේ.

මෙ ලොව ඇති සියල්ල මොහොතකින් වෙනස් වේ. මගේ කියා කිසිවක් මේ ලොවෙහි නැත. මගේ නොවන දේ මගේ කියා සිතා සිටීමෙන් එය වෙනස් වූ පසු කම්පාවට පත් වේ. මගේ කියා යමක් අයිති කරගෙන වින්දනය කළ ද ඒ සියල්ල වෙනස්වන බව දැනගෙන කටයුතු කිරීමෙන් මෙකී දුක ඇති නොවේ.