Print this Article


අසිරිමත් මානවීය දායාදය

අසිරිමත් මානවීය දායාදය

තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සමකාලීන ශ්‍රමණ සම්ප්‍රදායන් අතර සුවිශේෂත්වයට පත්වන්නේ උන්වහන්සේගේ නිසි මඟ පෙන්වීම නිසා ය.

ගිහිගෙය අත්හැර අනගාරික වීම, විමුක්ති ගවේෂණය, පිණ්ඩාහාරයෙන් යැපීම, සංචාරකවීම යන කරුණුූ ගණනාවක් ශ්‍රමණ සමාජයේ පොදු ලක්ෂණ වුව ද බෞද්ධ භික්ෂුවගේ චර්යාව හා ක්‍රියාකාරිත්වය තුළ උන්වහන්සේට ම අනන්‍ය වූ ලක්ෂණ ගණනාවක් දක්නට ලැබේ. එම ලක්ෂණ නොපැහැදුන අයගේ පැහැදීම ඇති වීමටත්, පැහැදුන අයගේ පැහැදීම වඩා වර්ධනය වීමටත් ඉවහල් වූ බව සමකාලීන තොරතුරු ගවේෂණයේ දී ප්‍රකට වේ.

වරක් බුදුන් වහන්සේ වෙත පැමිණි පසේනදී කොසොල් මහ රජු උන්වහන්සේගේ ශ්‍රී පාද පද්මය සිඹිමින් වන්දනා කොට තමන් පසේනදී කොසොල් මහ රජු බව දැන්වීය. එහිදී බුද්ධ ශරීරයට මෙතරම් ගෞරවයක් දක්වන්නේ කවර හෙයින් දැයි බුදුන් වහන්සේ විමසූ කල්හි ඊට හේතු ගණනාවක් රජු උන්වහන්සේ ඉදිරිපිට දී දැක්වීය. එහිදී භික්ෂූන් වහන්සේගේ චර්යාව සම්බන්ධයෙන් එතුමා තුළ පවතින ප්‍රසාදය ප්‍රකට කරන අයුරු දක්නට ලැබේ.

තමන් බොහෝ කල් ශාසන බ්‍රහ්මචර්යාවේ නිරත වන මහණ බමුණන් දැක ඇති අතර, ඔවුහු පසුකලෙක ගිහිවත් හැඳගෙන මැනවින් සැරසි පස්කම් සැප විඳිමින් ඉඳුරන් පිනවන බවත්, සම්බුදු සසුනෙහි මෙන් ප්‍රාණ පරිත්‍යාගයෙන් පිරිපුන් බඹසර රකින ශ්‍රාවකයන් වෙනත් සසුනක දැක නොමැති බවත්, රජවරු රජවරු සමඟත්, සිටුවරු සිටුවරු සමඟත්, මවුපියන් දරුවන් අතරත් ආදී වශයෙන් සමාජයේ සැම පිරිසක් අතරම විවාද ඇති කර ගන්නා බවත් එහෙත් භික්ෂූහු අවිවාදිතව සමගියෙන් කිරි හා දිය සේ එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් ක්‍රියා කරන බවත්, අරමින් අරමට ගමන් කරන, කෘශ වූ, රළු දුර්වර්ණ පඬු පැහැති නහර ඉලිප්පුණු ශරීර ඇති නෙත් සිත් අපහදවන ශ්‍රමණයන් දැක ඇති බවත්, එහෙත් භික්ෂූන් සතුටින් පිනාගිය ඉඳුරන්ගෙන් සමන්විතව මනහර සිරුරින් යුතුව වාසය කරන බවත්, තමන් අධිකරණ ශාලාවෙහි අධිකරණ විනිශ්චයාසනයෙහි සිටියදී පවා දඬුවම් ලැබිය හැකි බව දැන ගෙනම රැස්ව සිටින්නන් අතුරු කතා උපදවන් බවත්, එහෙත් බුදුන් වහන්සේ ධර්මාසනයෙහි වැඩ හිඳිමින් සිය ගණනක් භික්ෂූන් පිරිවරා ධර්මය දේශනා කරන කල්හි නිහඬව ශ්‍රවණය කරන බවත්, දණ්ඩකින් ආයුධයකින් තොරව භික්ෂූන් වහන්සේ තුළ විශ්මයජනක හික්මීමක් ඇති බවත් ,බුදුන් වහන්සේ හා වාද කිරීමට පැමිණෙන අය අනතුරුව බුද්ධ ශ්‍රාවකයෝ ම වන බවත්, ඉසදත්ත පුරාණ යන දෙවඩුවෝ තමාගෙන් යැපෙද්දී තමා හා එක වාසස්ථානයක සිටිය අවස්ථාවක තමා දෙසට පා හරවා බුදුන් දෙසට හිස හරවා නිදා ගත් බවත් බුදුන් වහන්සේ තුළ පවතින උතුම් ගුණාංග පිළිබඳ ශ්‍රාවකයන් දක්වන ගෞරවණීයත්වය ඒ තුළින් ප්‍රකටවන බවත් එවන් ගුණ සමුදායකින් හෙබි බුදුන් වහන්සේට තමාගේ අප්‍රමාණ ගෞරවය මෙසේ දක්වන බවත් රජු සඳහන් කළේය.

විශේෂයෙන් මෙහිලා අපගේ අවධානයට යොමු විය යුතු ප්‍රධාන කරුණ වන්නේ රජු බුදුන් වහන්සේට දැක්වූ අප්‍රමාණ ගෞරවයට හේතු වී ඇත්තේ උන්වහන්සේ ඇති කළ භික්ෂු සමාජය තුළ දක්නට ලැබෙන සුවිශේෂි ගුණාංග බවයි.

නිවන මූලික පරමාර්ථය කර ගනිමින් පැවිදි දිවියට පත් වන භික්ෂුව හැකියාවන්ගෙන් සමන්විත (සක්කෝ), ඍජු ගුණ ඇති (උජු), මනාව ඍජු ( සුජු), අවවාද පිළිගනු ලබන කීකරු (සුවචෝ), ගොරෝසු බව දුරු කළ (මුදු), අධික මානයෙන් තොර (අනතිමානි), ලද දෙයින් සතුටුවන (සන්තුස්සක), අනුන්ට පහසුවෙන් පෝෂණය කළ හැකි (සුභරෝ), හැකි පමණින් කටයුතු අඩු කර ගත් (අප්පකිච්චෝ), චාම් දිවිපෙවෙතකින් යුක්ත (සල්ලහුකවුත්ති), පසිඳුරන් දමනයෙන් යුතු (සන්තින්ද්‍රියෝ), දියුණු කළ නුවණක් ඇති (නිපකො), කපටිකම්වලින් යුක්ත නොවූ (අප්පගබ්භෝ), කුලයන්හි නොඇලුන (කුලෙසු අනනුගිද්ධෝ), නුවණැත්තන්ගේ ගර්හාවට ලක්වන, වැරැදි නොකරන (නච ඛුද්ධං සමාචරේ කිංචි යෙන විඤ්ඤු පරේ උපවදෙය්යු) යන ගුණාංගයන්ගෙන් පෝෂිතවීම සවිමත් ආධ්‍යාත්මික භික්ෂු ප්‍රතිපදාවකට මඟ පාදා ඇත.

බුද්ධ පරිනිර්වාණයෙන් සමීප අවදියක වරක් වස්සකාර ඇමැතියා ආනන්ද තෙරුන්ගෙන් සංඝයාට පිළිසරණ විය හැකි නායකත්වයට සුදුසු භික්ෂුවක් බුදුන් වහන්සේ පත් කර ඇද්දැයි විමසී ය. එහිදී ආනන්ද තෙරුන් එවන් භික්ෂුවක් පත් කර නැති බව පැවසුවිට සංඝ සමාජයේ යහ පැවැත්ම හා සමඟිය පවත්වා ගන්නේ කෙසේදැයි විමසී ය. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයත් විනය ශික්ෂාවනුත් භික්ෂූන් වහන්සේගේ සමගිය හා ආරක්ෂාවට ඉවහල් වන බව මෙහිදී ආනන්ද තෙරුන් පෙන්වා දුන් අතර, බුදුරජාණන් වහන්සේ ද තමන් වහන්සේගෙන් අනතුරුව ධර්මය හා විනය භික්ෂූන්ගේ ශාස්තෘ වන බව දේශනා කර ඇත.