Print this Article


සන්තානගත ගිනි නිවෙන තුරු නොනිවෙන ලෝකයේ ගිනි

සන්තානගත ගිනි නිවෙන තුරු නොනිවෙන ලෝකයේ ගිනි

තුරුණු අවධියේ මහල්ලෙක්, ලෙඩෙක්, මළමිනියක් හා තවුසකු යන සතර පෙරනිමිති දැක මහ බෝසතාණන් වහන්සේ අබිනික්මන් කළ බව බෞද්ධ සාහිත්‍යයේ ඉතා ප්‍රකට ය.

මහලුවීම යනු දිනෙන් දින වියපත් වීම ය. ළමා අවධියේ සිට වයස මුහුකුරා යාම දක්වා ජීවිත ගමනේ දී මිනිසාට විවිධ කෝළාහල, වාදවිවාද හා ගැටුම්වලට මුහුණදීමට සිදුවේ.

එහි අවසානය වන්නේ අනුක්‍රමයෙන් මහල්ලකු බවට පත්වීමයි. මේ අතරතුර කායික වශයෙන් මෙන්ම මානසික වශයෙන් ද අප්‍රමාණ රෝගාබාධයන්ට මුහුණ දෙන මිනිසුන් බෝසත්හු දුටහ. ඉන් අනතුරුව සිදුවන්නේ ලැබූ ජීවිතයේ ආවසානික ගැටුමයි. එනම් මරණයයි. බුද්ධත්වය යනු ගැටුමට විසඳුම සෙවීමේ ප්‍රතිඵලයයි. එසේම බුදුන් වහන්සේ තම ධර්මය ලෙස ඉදිරිපත් කළේ ගැටුම කුමක්ද යන්න හා එය නවතා ගන්නා ආකාරයයි.

බුදුරජාණන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව වන ධම්මචක්කප්පවත්තන සූත්‍රය බලන්න. එහි අප මුහුණ දෙන ප්‍රමුඛ ගැටලුව විනිවිද දැකිය යුතු ආකාරය පෙන්වා දී ඇත. ගැටුම, ගැටුම ඇතිවීමට හේතුව, ගැටුම නැවැත්වීම හා එය නැවැත්වීමේ ක්‍රමෝපාය එම සූත්‍රයේ පෙන්වා දී ඇත.

එහි දුක හෙවත් දුක්ඛ යන්නෙන් අදහස් වන්නේ ජීවිත අත්දැකීම හෙවත් ගැටුමේ ඵලයයි. එහෙයින් අප අත්විඳීන ගැටුම් දෙස බැලිය යුත්තේ එම ක්‍රමයට මිස අන් ක්‍රමයකින් නොවේ.

බුදුන් වහන්සේ ජීවත් වන කාලයේ දී සුන්දරී පරිබ‍්‍රාජිකාව වැනි අය යොදවා ඒ සමඟම විහාර භූමියෙහි ඝාතනයක් ද සිදුකොට ගැටුම් නිර්මාණය කිරීමට ඇතැම්හු ක්‍රියා කළහ.

දෙව්දත් හා අජාසත් සුසංයෝගයෙන් මෙන්ම, අක්‍රෝශ භාරද්වාජ වැන්නන්ගේ ක්‍රියාවලින් මතු වූ ගැටුම් අපමණ වේ.මිථ්‍යාදෘෂ්ටික දෙවිවරුන් හා බ්‍රහ්මයන් පමණක් නොව දසමරුන්ගෙන් ද විවිධ අභියෝග විවාද එල්ල කළහ. ගැටුමක ස්වභාවය හා එය විසඳීය යුතු ආකාරය මැනවින් දත් බුදුපියාණන් වහන්සේට ඒවා ගැටලු නොවූ බැවින් බුද්ධ චරිතය ආශ්‍රයෙන් ඇතිවූ ගැටුමක් ශාසන ඉතිහාසය තුළ සොයාගත නොහැක.

එබැවින්ම තම රෝමකූපයකුදු සෙලවීමට සමත් කිසිවෙක් දෙවියන් මරුන් බඹුන් සහිත ලෝකයේ නොමැති යැයි උන්වහන්සේ සිංහනාද කළහ.

ගැටුමක් ඇතිවූ කල්හි ගැටුමකින් පිළිතුරු දීම බෞද්ධ පිළිවෙත නොවේ. ඉවසීම, එතෙක් පැවති මානසික සමබරතාව අඛණ්ඩව පවත්වාගෙන යාම හා බුද්ධිය භාවිතයට යොදා ගැනීම ගැටුම් කලමනාකරණයේ දී අත්‍යවශ්‍ය වේ.

සුත්තනිපාත නම් ග්‍රන්ථයේ අට්ඨක වර්ගයේ සඳහන් වන පරිදි දිනක් බාවාරි නම් බමුණෙක් ගැටුම් පිළිබඳ මෙම ප්‍රශ්නයේ අගමුල බුදුරදුන්ගෙන් වීමසීය.

ඔහුගේ ප්‍රශ්නය වූයේ විවිධ කෝළාහල, විවාද, වැළපීම්, දුක්වීම්, මසුරුකම්, මානය අතිමානය හා කේළාම්කීම ආදී ගැටුම් ආශ්‍රිත මනෝභාවයන් කෙසේ ඇතිවේද යන්නයි. එයට බුදුන් වහන්සේගේ පිළිතුර වූයේ ඉහත කී සියලු තත්වයන් තෘෂ්ණාව නිසා හටගන්නා බවයි.

තණ්හාව, ලෝභය, අපේකම, මගේකම ප්‍රේමය ඇලීම යනාදී මේ සියල්ලම තෘෂ්ණාවට පර්යාය නාම වේ. එම සියලු මානසික තත්වයන් ඇතිවන්නේ ඡන්දය හෙවත් කැමැත්ත නැතහොත් රුචිකත්වය පදනම් කොටගෙන ය. සරල බසින් කිවහොත් ආශාව නිසා ය.

බුදුරජාණන් වහන්සේ මිනිස් ප්‍රජාව විසින් ගොඩනඟා ගනු ලබන විවිධ ගැටුම් නිරාකරණය කළ ආකාරය නොයෙක් සූත්‍රවල දක්නා ලැබේ. එම ගැටුම් අප මුහුණ දෙන ආර්ථික, දේශපාලනික ආදී ලෞකික ප්‍රපංච කරණකොටගන ඇතිවන්නා වූ ගැටලුවලට වඩා අතිශයින් සංකීර්ණ වූ ඒවා ය. චින්තන මායාව පදනම් කොට දෙවියන්, මිනිසුන්, මරුන්, බඹුන්, ශ්‍රමණයන් බ්‍රාහ්මණයන් දාර්ශනිකයන් වැනි විවිධ ස්ථරවල සත්තවයන් විසින් ගොඩනඟන ලද ගැටුම් ඒ අතර වේ. විශේෂයෙන් සංයුත්ත නිකායේ දේවතා සංයුත්තය, දේවපුත්තසංයුත්තය, මාර සංයුත්තය වැනි කොටස්වල ඒවා විද්‍යමාන වේ.

දේවදත්ත විසින් නිර්මාණය කළ ගැටුම්, අංගුලිමාල විසින් ඇතිකළ ජනපීඩක ත්‍රස්තවාදය සමාජමය හා දේශපාලන ගැටුමක් බවට පත්වීම, කොසඹෑනුවර භික්ෂු දෙපිරිසක් අතර ඇති වූ ගැටුම යනාදිය සැලකූවිට බුදුන් වහන්සේ ඊට ප්‍රතිචාර දැක්වූ ක්‍රමය බුද්ධිමය ප්‍රතික්‍රියා වශයෙන් සැලකිය හැකි ය.

එනම් එම අවස්ථාවට ගතහැකි සුදුසුම ක්‍රමය අනුගමනය කිරීමයි.

අංගුලිමාල දමනය කළේ ගැටුම් උපදවන තැනැත්තා අවබෝධවත් කිරීමේ උපාය මාර්ගයෙනි. දේවදත්තගේ ක්‍රියාදාමයන් විශ්ලේෂණය කොට ඔහු එවැන්නක් කිරීමට භවගත වශයෙන් සැඟවුණු හේතුව සහ වර්තමාන ප්‍රස්තුත විශ්ලේෂණය කොට එය සමාජගත කිරීමෙන් එම ගැටුම නිරාකරණය කළහ.

කොසඹෑනුවර භික්ෂූන් ගැටුම් ඇතිකර ගත් අවස්ථාවේ දී ප්‍රතිචාර දැක්වූයේ ඉහත ක්‍රමවලට වඩා වෙනස් ක්‍රමයකිනි. එනම් එම භික්ෂූන්ගේ ඇසුරෙන් ඉවත්වී ඈත පෙදෙසක වනයකට ගොස් කල් ගෙවීමෙනි. එයින් උන්වහන්සේ පෙන්වා දුන්නේ ගැටුම් කෝළාහල වැනි අප්‍රසන්න තත්වයන් සඳහා තමන් වහන්සේගේ ඉගැන්වීම තුළ කිසිසේත් ඉඩක් නැති බවයි. එය දැඩි සේ පිළිකුල් කරන බවයි. ගැටුම් සමථකරණයේ දී පහරදීම්, හිංසාකිරීම, බැනවැදීම් ආදී අශිෂ්ටවත් ක්‍රමවේද කිසිවක් බෞද්ධ භූමිකාව තුළ ඇත්තේ ම නැත. සංයමය, ඉවසීම, මෛත්‍රිය පදනම් කොට ගත් බුද්ධිමය ශික්ෂණයකින් ගැටුම් දහස් ගණනක් සමථයට පත් කළ ලොව්තුරා තථාගතයන් වහන්සේ නිසා අස්වැසිල්ල ලද සත්ව ප්‍රමාණයේ සංඛ්‍යා නියමයක් නැත.

බුදුරජාණන් වහන්සේ බිහිවන විට භාරතයේ දාර්ශනික වශයෙන් පැවැති ගැටුම් අතිශය විශාල සංඛ්‍යාවක් විය. ආත්මය සදාකාලිකය යනුවෙන් ඇතැමෙක් වාද විවාද හා තර්ක ගොඩනැඟූහ. ඇතැමෙක් මරණයෙන් පසු ආත්මය සහමුලින්ම අභාවයට පත්වේ යැයි තර්ක කළහ. මෙබඳු පසුබිමක් තුළ ආත්මය යැයි ගත හැකි දෙයක් නැත යැයි බුදුන් වහන්සේ අමුතුම අදහසක් පළකළහ. වාදයට ගැටුමට ප්‍රස්තුත වන තේමාව ම වැරැදි බව බුදුන් වහන්සේ පෙන්වා දුන් නිසා ආගමික හා දාර්ශනික ක්ෂේත්‍රය තුළ ප්‍රබල කතිකාවක් ගොඩනැඟුණි. පටිච්චසමුප්පාද න්‍යාය වැනි විශිෂ්ට ඉගැන්වීම් බිහිවූයේ එකී අවශ්‍යතාව නිසා ය.

යමක සත්‍යය දැකීමට සාමාන්‍ය ලෝකයා එක්කෝ වාද විවාද කරයි. නැතහොත් තර්ක කරයි. එහෙත් බුදුදහම අනුව තර්කයෙන් හෝ වාදයෙන් සත්‍යය විනිවිද දැකිය නො හැකි ය. බුදුදහම අතක්කාවචර යැයි පැවසෙනුයේ එහෙයිනි. අනෙක් අතින් දෘෂ්ටිවාද පවතින්නේ යමක් පිළිබඳ හරි හැටි නොදන්නා මිනිසුන් තුළ ය. බුදුන් වහන්සේට විශ්වය දැකීමේ ඇසක් තිබුණි. සර්වඥ හෙයින් සියල්ල අවබෝධ කර ගැනීමේ ශක්තියක් තිබුණි. එනිසා උන්වහන්සේට වාදකිරීමට දෙයක් නැත, එහෙයින්ම ඍජුවම උන්වහන්සේ මෙසේ පැවසූහ.

“ලෝකයා මා සමඟ වාද කරයි. එහෙත් මම ලෝකයා සමඟ වාද නොකරමි.” (ලොකො මයා සද්ධිං විවදති. අහං න ලොකෙන විවදාමි).

මිනිසුන් භෞතික වස්තූන්ගේ යථාර්ථය නොදන්නා තාක් ලෝකයේ ගැටුම් පවතී. අප ආශා කරන, බැඳී සිටින, උපාදානය කරන සියලු වස්තූන් පඨවි ආපෝ තේජෝ වායෝ යන මහාභූත කොටස් හතරෙන් සෑදී ඇත. මායාවෙන් වැසී ඇති අපට මෙම භූත කොටස් භූතමය හෙවත් වරින්වර නොයෙක් වෙසින් පෙනී සිටින බව තේරුම් ගැනීමට ශක්තියක් නොමැත.

අප විසින් ස්ථිරසාර ලෙස සිතා ගැටුමෙන් අත්පත් කර ගැනීමට වෑයම් කරන මෙකී කුඩා සහ විශාල වස්තු බුදුන් වහන්සේ විසින් මීට වර්ෂ දෙදහස් පන්සිය හැට ගණනකට පෙරත්, සුනිශිත බුද්ධිමත් මහ තෙරවරුන් විසින් වර්ෂ දහසකට පෙරත් විද්‍යාත්මක විශ්ලේෂණයකට බඳුන් කළහ. එනම් පරමාණුව දක්වා භෞතික ද්‍රව්‍ය බෙදමින් එකී ක්ෂුද්‍රතම ඒකකයේවත් අපට ගතහැකි දෙයක් නැති බව තහවුරු කළහ. ඒනිසා භෞතික වස්තූන් අත්පත් කර ගැනීමට අප විසින් කරනු ලබන වාද විවාද, කෝළාහල, ගැටුම් සියල්ල මිථ්‍යාවකි. වරදකි. නොදන්නාකමේ ඵලයකි. මෙය පසක් කරගන්නා තුරු මිදීමක් නැත. යම් ගිහියෙක් හෝ පැවිද්දෙක් මෙය අවබෝධ නොකර ගන්නා තෙක් නිවන් පසක් කිරීම තබා සෝවාන් ඵලයටවත් පැමිණිය නො හැකි ය. සිල් සමාදන් වුවත්, බණ දහම් ඇසුවත්, දෙසුවත් ඔවුහු අමු පෘථග්ජනයෝ ම ය. බුදුන් වහන්සේ දෙසූ මෙම දහම තේරුම් ගත් අසංඛ්‍ය ප්‍රමාණ සත්ත්වයෝ තම සන්තානගත අභ්‍යන්තර ගැටුම නවතා ගත්හ. රාගය, ද්වේෂය හා මෝහය නිසා ඇතිවන අභ්‍යන්තර ගැටුම් සංසිඳවාගත් ඔවුහු කිසිවිටෙකත් බාහිර පුද්ගලයන් ඇතුළු ලෝකය සමඟ ගැටුමකට නො පිවිසියහ.

මෙසේ ලේකයේ ගැටුම් නිරාකරණය පිළිබඳ අතිවිශිෂ්ට දහමක් ලොවට විවරණය කළ එකම උතුමන් වහන්සේ නම් ලොව්තුරා තථාගත අමාමෑණී වූ බුදුරජාණන් වහන්සේ ම ය. උන්වහන්සේ දෙසූ දහම අනුව යන අපි පළමුව අපගේ සන්තානගත ගැටුම නවතා ගැනීමට උත්සාහ කරමු. එවිට අපට බාහිර ගැටුම්වලින් වියුක්තව ජීවත්වීමේ අවබෝධය ලැබේ.