Print this Article


ප්‍රායෝගික දහම් මඟක් දේශනා කළ උත්තරීතර ශාන්ති නායකයාණන් වහන්සේ

ප්‍රායෝගික දහම් මඟක් දේශනා කළ උත්තරීතර ශාන්ති නායකයාණන් වහන්සේ

භාග්‍යවතුන් වහන්සේ මනුෂ්‍යයෙකි. එනමුත් උත්තරීතර මනුෂ්‍යයෙකි. රාග, දෝෂ, මෝහ නම් වූ කෙලෙසුන්ගෙන් පිරි සාමාන්‍ය මනුෂ්‍යයන් අතර, එම රාගාදී කෙලෙසුන් මුළුමනින් ම නසා නිකෙලෙස්ව වැඩ සිටි ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නයයි.

ද්‍රෝණ නම් බමුණා භාග්‍යවතුන් වහන්සේ කවරෙක් දැයි ප්‍රශ්න කළේ ය.

එනම් දෙවියෙක් ද? යක්ෂයෙක් ද? යනුවෙනි. මේ සියල්ලටම “නැත” යනුවෙන් පිළිතුරු දුන් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ මනුෂ්‍යයෙක් බවත්, එනමුත් අච්ඡරිය පුග්ගල හෙවත් ආශ්චර්යවත් මනුෂ්‍යයෙක් බවත් වදාළහ.

යම් හෙළ පියුමක්, නෙළුම්, මානෙල් මලක් මඩින් පිරී ජලාශයේ හටගෙන මඩත් නොතැවැරී, ජලයෙහිත් නොතැවැරී මතුපිටට පැමිණ බබළන්නා සේ අශ්‍රැතවත් පෘථග්ජන ලෝකයේ සාමාන්‍ය මනුෂ්‍යයන් ගන්නා ආහාරම වළඳා, සාමාන්‍ය මනුෂ්‍යයන් සේ ම ශීත, උෂ්ණ, මැසි මදුරුවන්ගෙන් වැළකීම පිණිසත්, ශරීරය ආවරණය කර ගැනීම පිණිසත්, වස්ත්‍රයෙන් පොරෝනාවක් කර ගැනීමත් සිදු කරන ඔබ වැනිම මනුෂ්‍යයෙකි. ලෝකයේ යථාර්ථය අවබෝධ කර ගත් බැවින් ‘බුද්ධ’ නම් වේ ම ය.

‘අජ්ජේව කිච්චං ආතප්පං

අක්ඛාතාරො තථාගතා”

තථාගතයාණන් වහන්සේ මඟ පෙන්වා දෙන්නෙක් පමණෙකි. තමා විසින් ම අදම කෙලෙස් සංසිඳවීම පිණිස මග අනුගමනය කළ යුතු වන්නේ ය. කෙලෙස්වලින් පිරිසුදුවීම හෝ අපිරිසුදුවීම නම් වූ දෙකම රඳා පවතින්නේ තමා කෙරේ ම ය.

පිරිසුදු කරන්නට හෝ, අපිරිසිදු කරන්නට හෝ තවත් අයකුට නොහැකි වන්නේ ය. අයෙකුගේ කෙලෙස් පිරිසුදු කරන්නට හෝ අපිරිසුදු කරන්නට භාග්‍යවතුන් වහන්සේට ද නොහැකි බව උන්වහන්සේ ම වදාළහ.

ප්‍රායෝගික දැනුමක් දේශනා කළ බුදුරජාණන් වහන්සේ තමා කෙරෙන් ම දුකින් නිදහස්වීමේ මඟ අවබෝධ කර ගන්නා ලෙස පෙන්වා දුන්හ.

මේ සැනසිල්ලේ මඟෙහි මූලික දහම වන්නේ දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග නම් වූ චතුරාර්ය සත්‍යයයි. දුක්ඛ නම් විවරණයෙන් පෙන්වා දෙන්නේ සාමාන්‍ය ලෝකයා සිතන, රිදෙන, හඬන, අඳුරු, කඳුළ වැනි අවස්ථාවන්ට පත්කිරීමක් නොව, එම අවස්ථාවන්ගෙන් මුළුමනින් ම නිදහස්වීමට යථාර්ථය පෙන්වා දීමකි.

එනම් තමා නම් වූ ස්කන්ධ පඤ්චක ලෝකයත්, බාහිර වූ භෞතික ලෝකයත් හේතුන් ප්‍රත්‍ය කරගෙන හටගෙන, හේතුන්ගේ ම විසිර යාමෙන් නැතිව යන්නේ ය. මේ නිසා සම්මුතිය හෙවත් පැවැත්මෙහි මම, මගේ නම් වූ අදහසින් සිතිවිලි වචන සහ කායික ක්‍රියා පැවති වුවත් පරම සත්‍යයට අනුව පණ ඇති හෝ පණ නැති කිසිවෙක් හෝ කිසිවක් “මම” “මගේ” නොවන්නේ ය.

මේ අවබෝධය සතිපට්ඨානයට අනුව ඔබ ම උපාදානායන්ගෙන් බැහැර කරවන්නේ ය. “මම ය, මගේ ය” නම් වූ දෘෂ්ටියෙන් දැඩිව නොගන්නේ ය.

හටගෙන බිඳී, නැසී යන ලෝකයේ සංඛත වස්තුන් සිතින් දැඩිව ගැනීම නිසා විෂම ලෝභය හටගන්නේ ය.

පිපිණු මල පරවී යන්නා සේ ජීවිතයේ යථාර්ථය අනුක්‍රමයෙන් අවබෝධ කර ගන්නා විට කායිකවත්, වාචසිකවත් හික්මීමක් ඇතිවන්නේ ය. මෙය සීලය නම් වෙයි.

ප්‍රාණඝාත, සොරකම් , කාමමිථ්‍යාචාර, බොරුකීම්, මත්වතුර , මත්ද්‍රව්‍ය ආදී පස්පව්, දස අකුසල් ආදී මෙලොව මනුෂ්‍යත්වයේ සොඳුරු බවට බාධා කරන ක්‍රියාවන්ගෙන් බැහැර විය යුතු වන්නේ ය.

අනන්ත සංසාර ගමනේ අපමණ කාලයක් නරක, තිරිසන්, පේ‍්‍රත, අසුර නම් වූ සතර අපායේ ම ඉපිද දුක්විඳ, දුර්ලභව ලැබූ මේ මනුෂ්‍ය ජීවිතය ද දුකට පත්කර ගැනීමකින් තොරව විමුක්තිය තමා කෙරෙන් ම මතු කර ගැනීමට උත්සුක විය යුතු වන්නේ ය.

අනිච්ච, දුක්ඛ, අනන්ත නම් වූ තිලක්ඛණයට යටත්ව ප්‍රායෝගිකව තමා කෙරන් ම මාර්ගය වැටහෙන විට ජරා,මරණ, සෝක පරිදේව, දුක්ඛ, දෝමනස්ස උපායාස (බලවත් සිත් තැවුල්) ආදියෙන් නිදහස් වන්නේ ය.

තුන්ලොවක් සැනසූ ශාන්ති නායකයාණන් වහන්සේ විසින් මනුෂ්‍යයන් කෙරේ මහා කරුණාවෙන්, මෙලොව ජීවිතයේ දියුණුව පිණිස දෙසූ දහම් මඟ ද සරලව සිහිපත් කළ යුතු ය.

ප්‍රධාන වශයෙන්, මංගල, පරාභව, වසල, සිඟාලෝවාද, ව්‍යග්ඝපජ්ජ ආදී සූත්‍ර දේශනාවල දී බියෙන් නිදහස්ව සුවදායකව පී‍්‍රතිමත් ගමනක් යාමට මඟ පෙන්වා දී තිබේ. සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ ඇති සදිසා නමස්කාරයෙන් මනුෂ්‍ය ලෝකයම ප්‍රභාවත් කරන පවුල් ජීවිත, සමාජ පැවැත්ම, ආගමික සබැඳියාව, පෙන්නුම් කොට ඇත.

ධනය ඉපයීම, පරිහරණය පිළිබඳ ව්‍යග්ඝපජ්ජ ආදී සූත්‍ර දේශනාවලදී මඟ පෙන්වීම් කරයි.

භාග්‍යවතුන් වහන්සේගේ දේශනා මඟ මෙසේ දැකිය හැකි ය. ධම්මියා කථාය සන්දස්සේසි, සමාදපේසි, සමුත්තේජේසි සම්පහංසේසි“ දැහැමි කථාවක් පවත්වන්නේ ය. එහි සමාදන් කරවන්නේ ය. උනන්දු කරවන්නේ ය. දහමින් ලබන නිරාමිෂ සතුටක් හෙවත් ප්‍රහර්ෂයක් ඇති කරවන්නේ ය.”

මෙහිදී “කල්ල චිත්ත” නම් වූ කුසල් සිත පහළ වන්නේ ය. “මුදු චිත්ත” නම් අකුසලයෙන් බැහැරවූ කුසල් සිත පහළ වන්නේ ය. “විනීවරණ චිත්ත නම් පඤ්ච නීවරණයන්ගෙන් බැහැරවූ සමාධිමය චිත්ත ඒකාග්‍රතාවට පැමිණෙන්නේ ය. “උදග්ග චිත්ත නම් නිරාමිෂ පී‍්‍රතියෙන් ඔදවැඩුණු සිතක් වන්නේ ය. “පසන්න චිත්ත නම් රාගාදී කෙලෙස් සන්සිඳෙන පිරිසුදු සිතක්ම හටගන්නේ ය.

භාග්‍යවතුන් වහන්සේ හමුවන සෑම කෙනෙක් ම නිවෙන්නේ ය. සුනීත,සෝපාකට පුතෙකුට සේ ද, පටාචාරා, කිසාගෝතමියට නැඟණියන්ට සේ ද නකුලමාතා, පින්වන්ත මවුපියන්ට සේ ද ආමන්ත්‍රණය කළහ.

සසරේ පටන් තමන් වහන්සේට අපමණ කරදර පීඩා කළ දෙව්දත් තෙරුන්ට ද මහා කරුණාව පැතිරූහ. තමන් වහන්සේට සිදුකරන ඉහළම ගෞරවය සහ පූජාව නම් ධර්මය හෙවත් පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කර ගැනීම බව වදාළහ.

භාග්‍යවතුන් වහන්සේගේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් යුතු දහම් අවවාදයක් සිහිපත් කරමි.

“මහණෙනි කුසලය වඩන්න. කුසලය වඩන්නට හැකි ය. ඉදින් කුසලය වැඩිය නොහැකි නම් කුසලය වඩවයි මම නොකියමි. කුසලය වැඩිය හැකි නිසා කුසලය වඩන්නට කියමි. මහණෙනි, කුසලය වඩනා ලද්දේ අහිත පිණිස, දුක් පිණිස පවත්නේ නම් කුසලය වඩවයි මම නොකියමි. දුර්ලභ වූ ලැබූ මේ මනුෂ්‍ය ජීවිත, අවිද්‍යාවට හසුවී දුකක්ම කර නොගෙන, විද්‍යාවෙන්, සැනසිල්ල සොයා ගැනීමට, ලද අවස්ථාවට වටිනාකමක් දෙන්න.

සිව්සස් දහම් අවබෝධය පිණිස වීර්යය දරමු.