Print this Article


ආර්ය විමුක්ති මාර්ගයේ පරමාදර්ශී නායකත්වය

ආර්ය විමුක්ති මාර්ගයේ පරමාදර්ශී නායකත්වය

ලොව අනෙකුත් ශාස්තෘවරයන් අතර බුදුරජාණන් වහන්සේ සුවිශේෂී ශාස්තෘවරයාණ කෙනෙකි. ඒ, උන් වහන්සේ මනුෂ්‍යයාගේ මෙලොව දියුණුව සහ පරලොව දියුණුව මනාව පෙන්වා දීම හැරුණු කොට, සාංසාරික දුකින් සදහටම නිදහස් වීමේ මාර්ගය තමන් වහන්සේ ද අවබෝධ කරගෙන, එය ස්වාක්ඛාත ලෙසින් දේශනා කළ නිසාවෙනි.

බුදුරදුන් පෙන්වා වදාළ විමුක්ති මාර්ගය අනුගමනය කොට මාර්ග-ඵල සාක්ෂාත් කරන පුද්ගලයා ‘ආර්ය’ තත්ත්වයට පත්වෙයි. උත්තරීතර මාර්ගය වන බැවින් එම මාර්ගය ම ‘ආර්ය’ නම් වෙයි.

එය මුලින් ම අවබෝධ කර ගත් බුදුරජාණන් වහන්සේ ද ‘ආර්ය’ නම් වන සේක. මේ හේතූන් නිසා යථොක්ත විමුක්ති මාර්ගය ‘ආර්ය විමුක්ති මාර්ගයකි’.

බුදුරජාණන් වහන්සේ එහි පරමාදර්ශී ශාස්තෘවරයාණන් වන්නේ, එම මාර්ගය හුදෙක් දේශනා කිරීමට වඩා, තමන් වහන්සේ ද එය අනුගමනය කොට, එහි උත්තරීතර ඵලය වන නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීමෙන් පසුව ම එය ලෝකයාට දේශනා කළ නිසා ය.

“ඉදං දුක්ඛනිරෝධගාමිනීපටිපදා-අරියසච්චන්ති මේ භික්ඛවේ පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඤාණං උදපාදි...” -

“මහණෙනි, මේ දුකින් මිදීමේ ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය යැ යි මා හට පෙර නො ඇසූ දහම් පිළිබඳ ඇස පහළ විය, නුවණ පහළ විය...” (ධම්මචක්කප්පවත්තන සුත්ත).

වසර දෙදහස් හයසියයකට පෙර දඹදිව විමුක්තිය පිළිබඳ මහත් ආන්දෝලනයක් පැවැතුණේ ය. හැම ශාස්තෘවරයෙක් ම පාහේ පැවැසූයේ විමුක්තියට නියම මඟ පෙන්වන්නේ තමන් බව යි.

සිදුහත් කුමාරයාණන් කොතරම් සැප සම්පත් විඳීමින් කල් ගත කළත්, නගරයෙහි අනිකුත් මිනිසුන් විඳීනා දුක, වේදනාව එතුමන්ට දකින්නට ලැබුණි. එම මිනිසුන් පිළිබඳ මහත් කරුණාවක් ඇති ව, ඔවුන් කෙසේ හෝ එම දුකින් මුදවිය යුතු ය යන අදහස එතුමන්ට ඇති විය.

ඒ අරමුණින් අභිනිෂ්ක්‍රමණය කළ එතුමන්, සය අවුරුද්දක දුෂ්කර ක්‍රියාවෙන් පසු තේරුම් ගත් සත්‍යය වූයේ, සිරුරට අන්ත ලෙස දුක් දීම හෝ සැප දීම යන අන්ත දෙක ම විමුක්තිය ලැබීමේ මාර්ගය නොවන බව යි. ඒ අනුව සිද්ධාර්ථයන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව හෙවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන්නට පටන් ගත්හ. එහි ප්‍රතිඵල වශයෙන් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයෙහි දී උන් වහන්සේට සර්වඥතා ඥානය අවබෝධ කිරීමෙන් පරම විමුක්තිය සාක්ෂාත් කර ගන්නට හැකි විය.

බුදුරජාණන් වහන්සේ ගේ ජීවිතය ම විමුක්තිය පිළිබඳ පරමාදර්ශයකි. උන් වහන්සේ හිමිදිරි උදෑසන සිට රෑ මැදියම දක්වා දවස ගත කළ ආකාරය, උන් වහන්සේ අනුන්ගේ යහපත උදෙසා කැප වුණු ආකාරය, දුකට පත් පුද්ගලයන් ඉන් මුදවාලීමට ක්‍රියා කළ අයුරු, ඉතා සරල චාම් දිවි පැවැත්ම, ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය - විසඳූ ආකාරය, ශ්‍රාවකයන් උන්වහන්සේ අනුගමනය කරමින් විමුක්තියට පත් වූ ආකාරය යන මේ සියල්ලමත් විමුක්තිය පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ පරමාදර්ශීත්වය විදහාපාන කරුණු වේ.

තුරුණු අවධියේ පටන් ම සිදුහත් කුමරාණන්ගේ අභිලාෂය වූයේ එවක සමාජයෙහි අපමණ දුක් විඳීමින් කල්ගත කරන මිනිසුන් දුකින් මුදවා ගැනීම යි.

එතුමන් ගිහිගෙය අතහැර අභිනිෂ්ක්‍රමණය කළේ ද සත්ත්වයා දුකින් නිදහස් කරවීම උදෙසා යි. බුදුබවට පත් ව පළමු දම් දෙසුම සිදු කළ දා පටන් ම උන් වහන්සේ, තමන් වහන්සේගේ සුව පහසුව ගැන බිඳකුදු නොතකා, හමුවන හැම දෙනකු වෙත ම පාහේ සද්ධර්මය බෙදා දෙමින්, වසරකට මාස නවයක් පමණ ගම් දනව් සිසාරා පා ගමනින් වැඩම කරමින් පරාර්ථ චර්යාවෙහි යෙදුණේ ඒ හැම දෙනා වෙත විමුක්තිය ළඟා කර දීමේ අරමුණෙනි.

තමන් වහන්සේ ම පිහිට ඇවැසි අය සොයා යමින් ඔවුනට පිහිට වූ සේක. ඒ අතර සුනීත, සෝපාක, අංගුලිමාල වැනි අය සිටිති. ඒ හැම දෙන අනන්ත වූ සසර දුක් නිමවා විමුත්සුව පත් වූ හ. තම ජීවිතය සදාකාලික යැයි මෝහයට පත් ව සිටි බක බ්‍රහ්මාදීන්ට ද, බොහෝ ඍද්ධිබල සම්පන්න වූ - එහෙත් විමුක්තියක් නොලබා සිටි උරුවෙල් කාශ්‍යපාදීන්ට ද බුදු කරුණා ඇස යොමු වූයේ ඔවුන් සැම දෙන විමුක්තියට පත්කරවාලමිනි.

දිනකට පැය දෙකක් පමණක් සැතපුණේ, මුළු දවස ම අන්‍යයන් උදෙසා කැප කිරීමේ අරමුණෙන් ය. සුව සේ වැඩ වසන්නට විහාරාරාම නොසොයා, මහ වනාන්තර, රුක් මුල්, අම්බලම්වල රාත්‍රිය ගත කරමින්, ඒ හැම තැන හමු වන හැම හට සෙත සැදු සේක.

සියලු ප්‍රශ්නවලින් නිදහස් වීමට සිතන කෙනකුට, බුදුරජාණන් වහන්සේ ජීවිතය ගත කළ ආකාරය ම මෙනෙහි කරයි නම් එයින් ඉහළ ම ආදර්ශයක් ගත හැකි ය. උන් වහන්සේ කිසිදු අභියෝගයක් හමුවේ නොසැලුණු උතුමෙකි. මාරයා තර්ජනය කළ ද උන් වහන්සේ නොසැලුණු සේක. දේවදත්තගේ ජීවිත තර්ජන හිරිහැර හමුවේ නොසැලුණ හ.

‘පරාක්‍රමය’ උන් වහන්සේ සතු වූ පසළොස් චරණ ගුණයන්ගෙන් එකකි. එය ශ්‍රාවකයකුට ද යම් පමණකින් හෝ ඇති කරගත හැකි ය. අටලෝ දහමින් නොසැලීමට පුරුදු විය යුතු ය. බුදුරජාණන් වහන්සේට අපමණ නින්දා අපහාස එල්ල විය. බේලුව ගමෙහි දී තුන් මසක් වැළඳීමට ලැබුණේ අශ්වයන්ට දෙන යව ධාන්‍යය. කුකුත්ථා නදිය අසබඩ දී පිපාසයට පැන් ලබා ගැනීම පවා උගහට විය. එහෙත් ඒ කිසිවක් හමුවේ උන් වහන්සේ තමන් වහන්සේ ගේ සේවය අතපසු නොකළ සේක. ඒ සියලු අභියෝග ජීවිතයට ආදර්ශයක් කර ගැනීමට ශ්‍රාවකයන්ට කියා දුන් සේක.

රතන සූත්‍රයෙහි “යථා-ඉන්දඛීලෝ පඨවිංසිතෝ සියා - චතුබ්භි වාතේභි අසම්පකම්පියෝ” යි කී පරිදි

“සිව් දිගින් හමන සුළඟ හමුවේ නොසැලෙන, පොළොවෙහි ශක්තිමත් ව පිහිටවූ ඉන්ද්‍රඛීලයක් සේ” ප්‍රශ්න - අභියෝග - දුක් හමුවේ නොසැළී සිටීමට අප පුහුණු විය යුතු ය.

විමුක්තිය සාධනය කරන්නට යන තැනැත්තා ඉතා හොඳ අධිෂ්ඨාන ශක්තියකින් යුක්ත විය යුතු ය. විවිධ බලපෑම් බාහිරින් සහ සිතේ ඇතුළතින් එල්ල වෙද්දී, තම ආධ්‍යාත්මික ගමන නොනවත්වා කරගෙන යාමට සිත සවිමත් කර ගත යුතු වෙයි.

“මායූපමං ච විඤ්ඤාණං” යි කී පරිදි සිත මායාවක් වැනි ය. ඒ නිසා ආධ්‍යාත්මික පුහුණුවෙහි දී විවිධ මුළාවන්ට පත් විය හැකි ය. යථාර්ථය නොවන විවිධ අරමුණු මනස විසින් පෙන්විය හැකි ය. ඒ අවස්ථාවන්හි දී කල්‍යාණමිත්‍ර ගුරුවරයකුගෙන් විමසා හරි පාර සොයාගත යුතු ය.

විමුක්ති සාධනය උදෙසා කැප වන්නකුට බුදුරජාණන් වහන්සේගේ ජීවිතය තරම් ඒ උදෙසා ආදර්ශයට ගත හැකි වෙනත් ජීවිතයක් නොමැත්තේ ය. උන්වහන්සේ ගේ ජීවිතයෙහි ගෙවුණු සෑම තත්පරයක් ම ප්‍රයෝජනවත් අයුරින් ගත විය. උන් වහන්සේ කාලයෙන් ප්‍රයෝජන ගත් අයුරු දෙස බලා ශ්‍රාවකයකුට තම කාලය කළමනාකරණය කර ගත හැක.

නිකරුණේ නාස්ති වන්නට නො දී ප්‍රයෝජනවත් දෙයකට කාලය යොමු කරන්නේ නම්, අපේ ජීවිතය වඩාත් අර්ථවත් එකක් බවට පත් වන්නේ ය. බොහෝ දෙනකු නඟන මැසිවිල්ලක් වන්නේ, “බණ අසන්නට - භාවනා කරන්නට - පන්සල් යන්නට - සිල් ගන්නට අපට කාලය නැහැ” යන්න යි. නමුත් ඔබේ දවස තුළ නිස්කාරණයේ කොතරම් විනාඩි සංඛ්‍යාවක් ගෙවී යද්දැ යි සොයා බැලුව හොත් ධර්මය වැඩීම සඳහා කාලය සොයා ගැනීම අපහසු නොවනු ඇත.

ජීවිතයට මතුවන අප්‍රමාණ ප්‍රශ්න හමුවේ පුහුදුන් පුද්ගලයා කම්පාවට පත් වෙයි, සැලෙයි. එබඳු කෙනකුට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙත පැමිණෙන ප්‍රශ්නවලට මුහුණ දුන් ආකාරය ඉතා වටිනා මඟ පෙන්වීමක් කර ගත හැකි ය.

ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක ශාස්තෘන් වහන්සේ හැටියට, ඒ පිරිසේ විවිධ ප්‍රශ්න, ගැටලු කළමනාකරණය කරන්නට සිදු වෙයි. ඇතැම් විට දේවදත්ත වැන්නවුන් පිරිසේ නායකත්වය ඉල්ලයි. ඇතැම් කලෙක භික්ෂුණීන් පිළිබඳ ප්‍රශ්න මතු වෙයි.. ඇතැම් අසංවර භික්ෂූන් උදෙසා විනය ප්‍රඥප්ති පනවන්නට සිදු වෙයි. මේ සියලු කටයුතු හමුවේ සිව්වණක් පිරිස වෙත ධර්මයෙන් අනුශාසනා කිරීම ද නොපිරිහෙළා සිදු කළ සේක.

අපගේ ජීවිතවල මතු වන ප්‍රශ්න, ගැටලු නිසි ලෙස හඳුනාගෙන, නිර්භය ව ඒවාට නිසි විසඳුම් සපයා ගැනීමට බුදුරජාණන් වහන්සේගේ ‘පරාක්‍රම’ ගුණය සහ ඤාණය අප ආදර්ශයට ගත යුතු ය.