Print this Article


සසරට උරුමය පින් පව් පමණයි

සසරට උරුමය පින් පව් පමණයි

හිරු කිරණ වැදී දිදුලන සුදු පිනිකැට
මොහොතින් වියැකී යනවා
සුසුම් පොදක් ඉහළට පහළට
හෙළනට පෙර කය නිසසල වනවා

දිවිය පුරා පොදි බැඳී සැම සම්පත්
අතහැර යන්නට සිදුවනවා
ගිනිගත් හිස නිවුමට කලබල වී
සිසිල සොයා ගෙන වෙහෙසෙනවා

මියැදුණු පසු අප නම ගම රට නැත
කිසිදා අපහට හිමිවන්නේ
පණ සේ රැක ගත් සුතඹුන් හැර දා
තනිවම භවයෙන් නික්මෙන්නේ

නොතිර සසර පොඳී බැඳගෙන යන්නේ
පින් පව් පමණක් වන්නේ
දන්සිල් සමගින් බවුන් වඩන අය
රුවන් නිවන්පුර පිවිසෙන්නේ