Print this Article


ගැටුම් නිරාකරණයෙහිලා මඟ පෙන්වූ උත්තරීතර ශාස්තෘවරයාණෝ

ගැටුම් නිරාකරණයෙහිලා මඟ පෙන්වූ උත්තරීතර ශාස්තෘවරයාණෝ

බුදුරජාණන් වහන්සේගේ දර්ශනයේ විශිෂ්ට ලක්ෂණය වූයේ හේතුඵලවාදය පාදක කොට ගෙන සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කිරීමයි. ඒ අනුව ඉගැන්වීම යි. අප ජිවත් වන සමාජයේ ඇතිවන විවිධ විෂම ගැටුම් හෝ ගැටලු සියල්ලටම විසඳුම සෙවිය යුත්තේ මෙම දර්ශනය මත පිහිටා යන්න බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම බවට පත් වෙනවා.

යම් හේතුවක් හෝ හේතු සමුදායක් එක්වීමෙන් ඕනෑම සමාජ ප්‍රශ්නයක් හෝ ගැටුමක් නිර්මාණය වන බවත්, ඒ හේතුව බිඳී යාමෙන් ඒ ගැටුම හෝ ගැටලු විසඳෙන ආකාරයත් බුදුදහමෙන් පැහැදිලිව පෙන්වා දෙනවා. ඕනෑම ගැටුමක් නිර්මාණය වන්නේ යම් යම් පාරිසරික කාරණා මත පමණක් පාදක නොවී, මිනිස් සන්තානය මුල් වීමෙන් බව යි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.

එදා ඈත අතීතයේ අපේ ආදිතමයින් දවස අපේ සමාජ රටාව තුළ පැවති ගැටුම්, අරගල හෝ ගැටලු අද තරම් සංකිර්ණ බවක් පෙනුණේ නැහැ. ඒ වුණත් අද වෙන කොට 21 වැනි සියවසේ දසක දෙකක් ඉක්ම ගොස් ඇති මේ නූතන ලෝකයේ හට ගෙන ඇති ගැටලු දෙස බලන විට ඒවා කෙතරම් සංකිර්ණ දැයි වැටහෙන්නේ 20 වැනි සියවසේ අග භාගයේ ජිවත් වූ අයට යි. මිනිස් සිත හා සම්බන්ධව බලනවිට එදා පැවැති යුද ගැටුම්වල තත්වය හා ජිවිත විනාශය වුව ද එදත් අදත් යන අවදි දෙකෙහි වෙනසක් අපට පෙනෙන්නේ නැහැ.

කෙලෙස්වලින් පිරි මිනිස් සිතෙහි එදා හා අද වශයෙන් වෙනසක් දකින්ට හැකියාවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැටුම් නිරාකරණය දෙස බලා ඇත්තේ එවැනි පදනමක පිහිටා ය.

ගැටුම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ මත දෙකක් අතර ඇතිවන අසමතුලිතභාවය යි කිවහොත් එය වඩාත් නිවැරැදි යි සිතනවා.

ගැටුම් නිරාකරණය කියන්නේ මේ මත දෙක දෙපක්ෂයට ම හිතකර එක මතයකට ගෙන ඒමයි.

බුදුදහමට අනුව එසේ එක මතයකට ගෙන ඒමේ දී එයින් ඇතිවන ප්‍රතිඵලය එම දෙපක්ෂයට පමණක් නොව බාහිර සමාජයට ද හිතවාදි විය යුතු වෙනවා.

අද වනවිට ලෝකයේ අවධානයට යොමු වී ඇති යුද්ධමය තත්ත්වය වන්නේ යුක්රේන් හා රුසියා ගැටුමයි. මේ වනවිට දෙපාර්ශ්වයට ම මහත් හානියක් සිදු වී ඇති අතර ජීවිත හා දේපොළ වශයෙන් ගත්විට එය ගිණිය නොහැකි තරම් වී තිබෙනවා. මේ නිසා දෙපාර්ශ්වයට අද ලෝක බලවතුන්ගේ බෙදීමක් ද සිදු වී තිබෙනවා. එහි අහිතකර තත්වය වන්නේ මේ හේතුවෙන් ලෝකයේ දිළිඳු රටවල් රාශියකට ම එහි බලපෑමෙන් ආහාර, ගමනාගමන, ඉන්ධන වැනි මූලික අවශ්‍යතාවන් සපුරා ගැනීමට යාමේ දී බරපතළ ගැටලු රැසකට මුහුණ දීමට සිදුවීම යි. ලොව ප්‍රබල ජාතීන් මේ දෙපිළට එක්වීමෙන් නුදුරු අනාගතයේ දී එක මොහොතකින් මුළුමහත් විශ්වයම අලු වී යන්නට තරම් හේතුවන න්‍යෂ්ටික අවි ආයුධ භවිත කර ඔවුනොවුන් විනාශයට පත්වන තරමට බලවත් වූවොත් කිසිදු ආකාරයකින් මෙම යුද්ධයට සම්බන්ධයක් නොමැතිව විවිධ දරිද්‍රතාවන්ගෙන් පීඩනයට පත්ව සිටින සෙසු දුප්පත් රටවල් අන්ත අසරණ තත්ත්වයට පත් වීමෙ හැකියාව පවතිනවා.

එසේ නම් බුදුරජාණන් වහන්ස්ගේ දහම මෙහි දී කෙතරම් දුරට ප්‍රයෝගික වන්නේ දැයි අප විසින් සොයා බැලිය යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ මේ කාරණය දෙස බලන්නේ හේතුඵලවාදී පදනමක සිට යි.

මූලික වශයෙන් එක් ජාතියක් තවත් ජාතියකට එරෙහිව අවි ඔසවන්නේ හිතේ බලපවත්නා වෛරී සිතිවිලි නිසා ය. ඇයි මේ දෙපක්ෂය අතර වෛරී සිතිවලි ඇති වූයේ කියා සොයා බැලිය යුතු වෙනවා. එහිදී දෙපාර්ශ්වය මතවාදි වශයෙන් එක් කිරීම පසෙක තබා අතරමැදි පිරිසක් දෙපාර්ශ්වයට හිතවාදි බවක් පෙන්වා ඔවුනොවුන් බිඳුවන ආකාරයෙන් කේලාම් කියමින් මෙම දෙපාර්ශවය විරුද්ධ මතවාදීන් වශයෙන් තවතවත් උත්සන්න වන තත්වයට පත් කරනවා.

තවත් පැත්තකින් මේ අවස්ථාවේ දී අවි නිෂ්පාදකයෝ තමන්ට ලැබෙන මූල්‍ය වාසි පතා දෙපාර්ශ්වයට අවි විකුණා ලාභ ලැබීමේ තෘෂ්ණාවෙන් වෙළී ක්‍රියාත්මක වෙනවා. මෙහිදි භෞතික වශයෙන් වස්තු තණ්හාව මුල් වන අතර මිනිස්කම පිළිබඳ අගය කිරීම් පහතට ගොස් ධනය මිනිසාගේ අගය මැනීමේ නිර්ණායකය බවට පත් කර ගෙන ක්‍රියා කරනවා.

මේ නිසා මිනිස් ගති ඉවත් වී තිරිසන් සතුන් වැනි තත්වයට පත් වී හිරි ඔත්තප්ප යන ලෝකපාලක ධර්මවලට පිටුපා ක්‍රියා කිරීම මෙම සියලුම ගැටුම්වල හේතුව ලෙස යි බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ.

එය විසඳා ගෙන සාමය පිරි සමාජයක් ගොඩනැඟීමට නම් බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන මාර්ගය හඳුනා ගැනීමට, හොඳම විසඳුම ලබා ගැනීමට චතුරාර්ය සත්‍ය ධර්මය මහෝපාකාරි වෙනවා.

ඒ අනුව බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ මේ ලෝකය පිහිටා ඇත්තේ දුක මත බවයි. දෙපිරිසක් හෝ රටවල් දෙකක් අතර වුව ද ඇති වන යුදමය තත්ත්වයක් ගතහොත් එහි යම් අවසානයක් දැක ජයපැන් බිව්ව ද එය තාවකාලික තත්ත්වයක්. ලෝකයෙන් පමණක් නොව අප ජිවත් වන මේ කුඩා රටේ වසර 30ක් තිස්සේ ඇති වූ ජාතිවාදි යුද්ධය එහි අවසානයක් සේ දැක ලක්වැසි ජනතාව යම් සහනයක් ලැබුවා. කැවුම් කිරිබත් කෑවා. එය තාවකාලික සමථයක් විය නො හැකි කියා කිව හැක්කේ කාට ද?

මෙහි දී කිව හැක්කේ මේ ගැටුමට හේතුව සොයා එයට විසඳුම් නොසෙවීම යි.

බුදුරජාණන් වහන්සේ මෙය දුකක් ලෙස අපට පෙන්වා දෙන විට උන්වහන්සේ එයට හේතුව තෘෂ්ණාව බවත් පෙන්වා දෙනවා. ඒ විතරක් නොවෙයි එම තෘෂ්ණාව සපුරා විනාශ කොට දැමීමෙන් පමණක් මෙය විසඳාගත යුතු බව ද පෙනෙනවා.

ඒ වගේම භෞතික වශයෙන් මේ ගැටුමට හේතු වූ කරුණු කෙරෙහි ද අවධානය යොමු කර ඊට විසඳුම ලබා දිය යුතු වන්නේ එම දෙපක්ෂයට ම වගේම බාහිර ලෝකයට ද හිතවාදී ලෙස යි.

මෙහිදී මේ ජාතිවාදි සංකල්පයේ නිසරු බව පෙන්වා පොදුවේ මිනිසා විසින් බෝ කර ගත යුතු සාරධර්ම පිළිබඳ ආකල්පමය වශයෙන් වෙනසක් ඇති කර ගත යුතු වෙනවා.

බුදුරජාණන් වහන්සේ දවස රෝහිණී නදියෙහි ජලය තම තමන්ට ලබා ගැනීමේ දී ඒ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ මවුපස ඥාතීන් වූ කෝලිය රජදරුවන් හා වූ පියපස ඥාතීන් වූ ශාක්‍ය රජදරුවන් විසූ කිඹුල්වත් පුර ඥාතින් අතරත් සුළුවෙන් ඇති වූ ආරවුල මහත් වූ කලහයක් දක්වා වැඩි වෙන්නට පටන් ගත්තා. මහත් වූ මිනිස් ඝාතනයක පෙරනිමිති ඇති වුණා.

මේ මහා බරපතළ තත්ත්වය සමහන් කිරිම පිණිසම බුදුරජාණන් වහන්සේ, වෛරී සිතිවිලිවලින් තෙරපෙමින් යුදමය තත්ත්වයකට සූදානම් වීමේ ආදීනව පෙන්වා දිමට ඒ ගඟ වෙත වැඩම කළා. උන්වහන්සේ එහි දී ප්‍රකාශ කළේ කලහ ඇති කර ගැනුමට හේතු වන මුළා වූ සිතිවිලිවල තිබෙන භයානක කමයි.

වෛරය හෙවත් ක්‍රෝධ සිතිවිල්ල තමන්ගේ සිතෙහි පවත්නා ගුණදහම් අලුබවට පත් කරන ගින්නකට උපමා කරමින් කරුණු දැක්වූවා. උන්වහන්සේ ප්‍රකාශ කළා වෛරී සිතිවිලිවලින් තෙරපෙමින් කල් ගෙවන අය නිතරම මෙලොව වශයෙන් නින්දාවට පත් වෙනවා වගේ ම නොයෙක් වධ බන්ධනයන්ට ගොදුරු වී අවසානයේ පරලොවත් අපරිමිත දුක් කන්දරාවකට පත් වී සසරත් දිගු කර ගන්නා බව.

ඉතින් ඊට හාත්පසින් එරෙහිව ක්‍රියා කරන, කුළුණු ගුණ ඇතිව මෙත් සිතින් ක්‍රියා කරන අය හැමදාමත් සුව සේ දිවි ගෙවන බව ප්‍රකාශ කර කරුණු පැහැදිලි කළා. මෙහි දී බුදුරජාණන් වහන්සේ ක්‍රියා කර ඇත්තේ විරුද්ධ මත දරන දෙපක්ෂය අතර ආකල්පමය වශයෙන් වෙනසකට පත් කිරීම පිණිස සුව සේ ජිවත්වීමේ කලාව හඳුන්වා දීමත්, එහි සුවදයක ප්‍රතිඵල පෙන්වාදීමත් පමණ යි.

සියලු යුදමය තත්වයන් ඇතිවන්නේ මුලින් මනස තුළ යන්නයි බුදුදහමෙන් උගන්වන්නේ. මනසේ අහිතකර පැවැත්ම වෙනස් කිරීම කළ යුතු වෙනවා. හේතු සොයා ඊට පිළියම් යෙදීමෙන් සියල්ල විසඳාගත හැකි බවයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙන්නේ. ජට සුත්‍රයේ දී ජටාගොත්ත බමුණාට බුදුරජාණන් වහන්සේ වදාළේත් සෑම ගැටලුවක් ම විසඳා ගැනීමට නම් තැන්පත් නුවණකින් යුක්තව, මනා ශික්ෂණයෙන් යුක්තව වූ බුද්ධිමත් ව ක්‍රියා කළ යුතු බවයි.