Print this Article


දුක ශෝකය දුරු කළ හැකි මඟ

දුක ශෝකය දුරු කළ හැකි මඟ

අප සියලු දෙනාම කැමැති ශෝක පීඩා නැති, මානසික පීඩා නැති සැනසිලිදායක ජීවිතයත් ගත කිරීමටයි. ඒ සඳහා බුදු දහම තුළින් ලබා දෙන මඟ පෙන්වීම ඉතාම අගනේ ය.

ජීවත් වෙන කාලය තුළ යම් යම් පුද්ගලයන් කෙරෙහි ඇති කර ගන්නා බැදීම් සමඟ මුහුණ දීමට සිදුවෙන දුක් සහගත දෑ බොහෝමයි. ඒ සිදුවීම්වල කෙළවරක් පෙනෙන්නට නැත. නිවන් දක්වා බවයෙන් බවයට ඒ දුක්වලට මුහුණ දීමට සිදුවෙනු ඇත.

නමුත් යම් නුවණැත්තෙක් අවබෝධ කර ගත්තොත් සියලු සත්වයන්ගේ ජීවිතයන්හි තිබෙන අස්ථිර බව, අනිත්‍ය බව ඔහු,ඇය සැනසිලිදායක ජීවිතයකට උරුමකම් කියයි.

බුදුරදුන් දවස සිදු වූ මෙම සිදුවීමත් ජීවිතයේ සැබෑ තතු අවබෝධ කර ගැනීම පිණිස ප්‍රමාණවත් ය.

අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩ සිටි සේක. සම්බුද්ධ ශාසනයේ අග්‍ර දායිකාව වූ විශාකා උපාසිකාව වෙනදා මෙන් බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට ජේතවනාරාමයට පැමිණෙන්නට වූවා ය. ඉන්පසු සැදැහැ සිතින් යුතුව වන්දනා කොට එකත්පස්ව උන්නා ය.

වෙනදා මෙන් නොව මෙදින ඇය ඉතාම ශෝකයෙන් සිටින බව මුහුණේ ස්වභාවයෙන් භාග්‍යවතුන් වහන්සේ දුටුවහ. මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේ විමසූහ. " විශාකා සිටු දේවිය, අද දින ඔබගේ මුහුණ වෙනදා මෙන් නොව දැඩි ශෝකයෙන් මුසපත් වී මලානික වී ඇති බව පෙනේ. හේතුව කුමක්ද?

විශාඛා සිටු දේවියන් කදුළු සළමින් ශෝකයෙන් මෙලෙස එයට හේතු දැක්වූවා ය.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස මගේ ගෘහයේ විසූ, මට ඉතා හිතවත්, එසේම මා බෙහෙවින් ආදරය කළ මගේ දන්තා නම් මිනිබිරිය හදිසියේම මිය ගියා. ඒ ශෝකයෙන් දැඩි සේ පෙළෙමි. මට ඉතාම ලෙන්ගතුව සියලු කටයුතු කළ ඇය සිටු මාලිගයේ සියලු වැඩ කටයුතු සංවිධානය කරමින් ඉතාම හොඳින් ඉටු කළා. ඉතා ගුණ යහපත්කම් ඇති සුවිනීත තරුණියක වූ ඇයගේ හදිසි අභාවය මට දරා ගන්නට බැරි තරම් දුකක්" යැයි කීවා ය.

බුදුරජාණන් වහන්සේ දන්තා නම් මිනිබිරියගේ අභාවය නිසා ඉතාම දුකට පත් වී සිටින විශාඛාවගේ දුක, ශෝකය, සන්තාපය තුනී කරන්නට ප්‍රශ්න අසමින් මරණය පොදු ධර්මතාවක් බව ඔප්පු කිරීම සඳහා විශේෂ දේශනා ශෛලියක් භාවිත කරමින් ධර්ම දේශනා කළ සේක.

“පින්වත් විශාඛාවනි, මේ සැවැත් නුවර කොතෙක් ජනී ජනයා වාසය කරත් ද?”

“ස්වාමීනි. හරියටම ගණන කියන්න පුළුවන් කමක් නැහැ. සාමාන්‍යයෙන් පස් කෙළක් පමණ ජනතාවක් වසන බව කිව හැකි යි".

“සිටු දේවිය ඔබ මේ ජනතාවට දක්වන ආකල්පය කවරාකාර ද?”

“ස්වාමීනි බුදුරජාණන් වහන්ස, ඒ හැම කෙරෙහිම ඉතා මහත් කරුණා ඇතිව මගේම දූ දරුවන්, නෑදෑයන් සේ සලකමි. ආදරයෙන් සලකමි.”

“මේ සැවැත් නුවර දිනකට මිය යන සංඛ්‍යාව කෙතෙක් ද?”

“ස්වාමීනි, තුන් හාරසියයක් දෙනා දිනපතා මිය යන බව මගෙ විශ්වාසයයි ““ මේ නුවර දිනපතා මිය යන ඒ නෑදෑයන් හා දූ දරුවන් ගැන ඔබ ශෝක කරන්නට වුණොත්, ඔබට ජීවිතයේ වෙන යම් කටයුත්තක යෙදෙන්නට කාලයක් ඉතිරි වේ ද ? “

“නැත ස්වාමීනි ..”

“විශාඛාවනි, යමකුට යම් පමණ ප්‍රිය වේ ද, ඒ තරම්ම ඔහුට ඇයට දුක් වේදනා ශෝක ගිනි ඇති වේ. යමකුට ප්‍රිය සහගත බව අඩු ද, ඒ තරමට ඔහුට ඇයට දුක් වේදනා අඩු වේ. යම් කෙනකුට ලොව කිසිම තැනක ප්‍රියයකු නැත් ද, ඔහු ඇය සුවැත්තෙකි. එහෙයින් ශෝක නැතිව සිටීමට කැමැති අය ලොව කිසිවකුට දැඩි සේ ප්‍රිය නොකරන්නාහු ය. එවැනි පුද්ගලයන් හට “පියේහි විප්පයෝගෝ දුක්ඛෝ” යන මමත්වයෙන් බැඳී ඇති ප්‍රියජනක පුද්ගලයන්ගේ වෙන්ව යෑම නිසා ඇති වෙන දුක හිමි නොවේ. සුව සේ ජීවත් වේ. ශාන්ත සුවයට පත් වේ.

“පේමතෝ ජායති සෝකෝ
පේමතෝ ජායති භයං
පේමතෝ විප්පමුත්තස්ස
නත්ථි සෝකෝ කුතෝ භයං”

ප්‍රේමයෙන් ශෝකය හට ගන්නේ ය. භය හට ගන්නේ ය. ඒ දෙකෙන් මිදුණහු හට ශෝකයක් නැත. බියක් නැත.

විශාකාව

“ස්වාමීනි, බුදුරජාණන් වහන්ස, ඔබ වහන්සේ මට සත්‍යය අවබෝධ කරවූ සේක. මරණයට පත් වීම මගේ මිනිබිරියට පමණක් වෙන් වූ දෙයක් නොවේ. සියලු සත්වයන්ට මුහුණ දෙන්නට සිදුවෙන පොදු වූ ධර්මතාවක් බව මට වැටහේ. එම නිසා මම මගේ මිය ගිය මිනිබිරිය ගැන තවත් දුක් නොවෙමි. හඬා නොවැටෙමි. ශෝක නොකරමි. හඬා කදුළු නොසලමි. පසුතැවිලි නොවෙමි " ඇය සත්‍ය තේරුම් ගත්තාය. මේ ධර්මතාවට පොදුවේ අප සැමට විවිධ ලෙස මුහුණ දෙන්නට සිදුවේ. එහෙත් ජීවිතයේ යතාර්ථය තේරුම් ගන්නවා නම් කවර ප්‍රශ්නයක දී වුව දුක ශෝකය තුනී කර ධෛර්යයෙන් ජීවිතයට මුහුණ දීමට ශක්තිය උදාවේ.