Print this Article


සිත පිරිසුදු කර ගැනීමට නම්...

සිත පිරිසුදු කර ගැනීමට නම්...

ප්‍රාණඝාතය, අදත්තාදානය, කාමමිථ්‍යාචාරය, මුසාවාදය යන වැරැදි සතර කර්ම ක්ලේශයෝ ය. ආර්ය ශ්‍රාවක තෙමේ මේ අපිරිසුදු ක්‍රියාවන් පහ කරන ලද්දේ වෙයි.

කතමස්ස චත්තාරො කම්මකිලේසා පහීණා හොන්ති පාණාතිපාතෝ ඛො ගහපතිපුත්ත කම්මකිලේසෝ අදින්නාදානං කම්මකිලෙසො කාමේසුමිච්ඡාචාරෝ කම්ම කිලෙසෝ, මුසාවාදෝ කම්මකිලෙසො ඉමස්ස චත්තාරො කම්මකිලෙසා පාහීණා හොන්තී ති. ඉදමවොච භගවා.

සතර කර්ම ක්ලේශයනට අයත් සතුන් මැරීම, සොරකම් කිරීම, කාමයෙහි වැරැදි හැසිරීම, බොරුකීම යන කරුණු පණ්ඩිතයන්ගේ ප්‍රශංසාවට බඳුන් නොවන බව ද බුදුපියාණන් වහන්සේ වරක් සිඟාල කුලපුත්‍රයාට පෙන්වා දුන්හ.

මෙම කෙලෙස් හතරින් වැළකී පිරිසුදුවන තැනැත්තා, පුද්ගලයා වරදෙහි පොලඹවන තවත් කරුණු හතරකින් ද වෙන්වෙයි.

එනම් කෙනකුට හෝ වස්තුවකට ඇති ඇල්ම නැතහොත් කැමැත්ත (ඡන්දය) නිසා කරන පව්කම්වලින් වැළකෙයි.

ඇල්මෙන් අගතියට ගොස් පව්කම් නො කරයි.

තරහින් (ද්වේෂය) රත්ව කෝපයෙන් බරව සිදුකරන පව්වලින් ද වෙන් වෙයි.

අනුන්ගෙන් වන බිය නිසා ද (භය) නො දැනීම නැතහොත් මෝඩකමින් ද (මෝහය) සිදුවන පව්කම් ඔහු නො කරයි.

සතර අගතියට නොවැටී පාපයෙන් දුරුවීම, ආර්ය ශ්‍රාවකයාගේ ලක්ෂණය යි. මෙසේ වදාළ තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ යමෙක් සතර අගතියට වැටී පව්කම් කරමින් ධර්මය ඉක්මවා කටයුතු කරයි නම්, අවපස සඳ සේ ඔහු යසසින් පිරිහෙන බැව් ද පෙන්වා දුන්හ.

ඡන්දා දෝසා භයා මොහා - යෝ ධම්මං අතිවත්තතී

නිභීයති තස්ස යසෝ -

කාලපක්ඛේව චන්දිමා

එසේම ඡන්දයෙන්, ද්වේෂයෙන්, බියෙන්, මෝහයෙන් අගතියට නොවැටී යමෙක් පව්කම් නොකරයි නම් ඔහුගේ යසස පුරපස සඳ සේ වැඩෙන බව ද බුදුරජාණන් වහන්සේ වැඩිදුරටත් දේශනා කොට වදාළහ.