Print this Article


සතුට සැනසීමක් වන්නට ...

සතුට සැනසීමක් වන්නට ...

අත්‍රිච්ඡතා, මහිච්ඡතාදි පාප ධර්මයන්ගෙන් තොරව තමාට ඇති දෙයින් සතුටුවිය යුතුයි. ලාභාදියෙහි සම සිතින් සතුටුවීම “සන්තුට්ඨිතා” නම් වූ උතුම් ගුණය යි. එනම් ලද දෙයින් සතුටු වීම යි. මෙම කරුණ සියලු සැපයට හේතුවන බැවින් උතුම් වූ මංගල කරුණක් වේ.

කෙනෙක් තමාට ඇති දේ, තමාට උරුම වූ දේ ගැන නොමනා කොට සලකති. අනුන්ට අයත් දේ ගැන ලෝභ කරති. එය ‘අත්‍රිච්ඡතා” නම් වේ. එය ලැබූ දෙය පිරිහීමට පමණක් නොව නොලැබූ දෙය නොලැබීමට ද හේතුවේ. එතැනින් ද නොනවතී. විවිධ විපත්වලට ද, මරණින් මතු අපායට යෑමට ද හේතු වේ. අත්‍රිච්ඡතාව හට ගන්නා වූ තැනැත්තාට, තමාට අයත් දෙය කොපමණ වටිනා දෙයක් වුවත් එය හොඳ යැයි නො හැඟේ.

හරියට එක බත් හැලියේ ඉදුණු බත් පතින් තමාට බෙදූ කොටසට වඩා අන් තැනැත්තාට බෙදූ කොටස යහපත් යැයි සිතෙන ලෙස ය. මේ හේතුවෙන් ඇතැම් විට අන් අයගේ දේ ලබන්නට යෑමෙන් තමන්ට තිබූ දෙයත් නැති කර ගන්නේ ය.

ඇතමකුට කොපමණ වස්තුව තිබුණත් ඇතිවීමක් නොවන්නේ ය. එය මහිච්ඡතාව යි. මෙසේ අධික ලෝභයෙන් යුක්ත තැනැත්තාට කොපමණ වස්තුවක් ලැබෙන්නේ ද, මෙලොව සැපතක් නම් නොවේ. ලද දෙයින් සෑහීමකට පත් නොවී තව තව වස්තු ව ම සොයන්නේ ය. එහෙයින් තමා ද ඉන් ප්‍රයෝජනයක් නො ලබන්නේ ය. පරලොව සැප පිණිස පිනක් ද නොකරන්නේ ය. නිරතුරුවම නො ලැබූ සම්පත් ලැබීමේ ආශාවෙන් ම තිබෙන දේ මද බව සිතමින් ශෝකයෙන් ම තැවෙන්නේ ය. එසේ හෙයින් මෙලොව ද, තැවී, මරණින් මතු ද අපාය උරුම කර ගන්නේ ය. මෙසේ එක් රැස් කරන්නා වූ ධනය හරියට යක්ෂාධිගෘහිත පොකුණක් සේ කිසිවකුටත් ඵලක් නොවන්නේ ය.