Print this Article


පහන් සිතක කවි

අඹගහපිටිය යෝගාශ්‍රම විහාරය

බලපිටි පුරවරේ අපගේ පිනට පහළ වූ බෝධිය
උදේ සවස දෙනෝ දහක් වඳිනා පුදනා බෝධිය
විමල වාස සමිඳුන්ගේ සුරතින් රෝපිත බෝධිය
දොහොත් මුදුන් දී වඳිනෙමු සිරස නමා අපෙ බෝධිය

අඹගහ පිටි ‘යෝගාශ්‍රම’ පින් බිම තුළ වැජඹෙන්නේ
සිරිලක තුළ සැදැහැති දන දිනපතාම මෙහි එන්නේ
හැම දෙනාගෙ සිතුම් පැතුම් එලෙසම ඉටුකර දෙන්නේ
චිරාත් කාලයක් වැජඹෙනු මැන අප බෝ සමිඳුන්නේ


මිලින

පරවූ මල්වල රුව
පරවෙන නෙත් තුළ රඳවා
ක්ෂණයෙන් ක්ෂණයට පරවෙන
ලොව දෙස බැලුවා


සිතන්නට යමක් ...

දහම අදහම හොඳින් වෙන් වෙන්ව හඳුනා ගෙන
දැහැමි දිවියක් ගෙවන්නට හොඳින් හිතට ගෙන
වැඩ කළොත් අප රටේ ගිහි පැවිදි සියලු දෙන
සම්බුදු සසුන බැබළෙයි ඒ ගැන ද සිතනු මැන

ඇසූ පමණින් දෙයක් හරියි පිළිගනු එපා
මෙයයි හරි දහම යැයි හනික පිළිගනු එපා
බොරුව හරි කරන්නට කරයි සමහරු උපා
කිසිදෙයක් එකවර හරියි පිළිගනු එපා

පිළිගන්න එපා අනුමානයට කිසි දෙයක්
බුදු දමට නොගැළපෙන්නට තිබිය හැක ඉඩක්
එම කරුණ බුදු දමට ගැලපේවි නම් හොඳින්
පිළිගන්න විනයානුකූල වන හොඳ මඟත්


මාවත

ගංගාවක් ලෙසින් එන ගමනෙකි සසර
සසරින් ගොඩ වෙන්න තරණය කර කතර
කතරින් වෙර දරා යා යුතු මග අතර
වෙන මාවතක් නැත නිවනේ සුව විතර