Print this Article


ආර්ය ලාභයට මඟ සදන පාරමී ධර්ම

ආර්ය ලාභයට මඟ සදන පාරමී ධර්ම

බුදු, පසේ බුදු, මහරහත් යන උත්තරීතර පදවි ලැබීමට සම්පූර්ණ කළ යුතු පාරමිතා දහයක් තිබේ. එම පාරමිතා, දස පාරමී, දස උපපාරමී, දස පරමත්ථ පාරමී වශයෙන් තිහකට බෙදේ. එම පාරමිතා නම් දාන පාරමිතාව, සීල පාරමිතාව, නෙක්ඛම්ම පාරමිතාව, ප්‍රඥා පාරමිතාව, වීර්යය පාරමිතාව, ක්ෂාන්ති පාරමිතාව, සත්‍ය පාරමිතාව, අධිෂ්ඨාන පාරමිතාව, මෛත්‍රී පාරමිතාව, උපේක්ඛා පාරමිතාව වේ.

භෞතික සාමාන්‍ය වස්තු කැප කරමින් කටයුතු කිරීම පාරමිතා වන අතර ශරීර අවයව පවා කැප කරමින් කටයුතු කිරීම උප පාරමිතා නම් වේ.

තම ජීවිතය, දූ දරුවන්ගේ ජීවිත පවා පරදුවට තබා ගුණ දහම් ප්‍රගුණ කිරීම පරමත්ථ පාරමී නම් වේ.

මහා බෝධි පාරමී, පචෙචක බෝධී පාරමී, ශ්‍රාවක බෝධි පාරමී වශයෙන් පාරමිතාවෝ තුන් ආකාර වේ. සම්මා සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, මහරහත් ලෙස තුන්තරා බෝධියට පත්වීම විෂයෙහි සිදු කරනු ලබන පාරමී ධර්මවල පරිමාව වෙනස් වේ.

හොඳ යැයි සම්මත ක්‍රියාවක් නැවත නැවත සිදුකිරීම පාරමී නම් වේ. “පාර” යනු එගොඩ ඉවුරට නමකි. නිර්වාණය සසර පරතෙරයි. ඊට හේතුවන ධර්ම පාරමී නම් වේ.

“පරම” යනු උත්තම යන අර්ථ දෙයි. දාන ශීලාදී ගුණයන් නිසා බෝසතුන් අන්‍යයන්ට වඩා උසස් වේ. “පරම” යන්න බෝසත් ක්‍රියාවෝ බැවින් ද එය නිවනට හේතුවන බැවින් ද එම ක්‍රියා පාරමී නම් වේ.

චරියා පිටක අටුවාව මෙම පාරමිතා ධර්ම පිළිබඳ ඉතා දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරයි. නිවන අරමුණු කරගෙන ම කරන ක්‍රියා පමණක් පාරමිතා ගණයට වැටෙන අතර කීර්ති ලාභාපේක්ෂාවෙන් කෙරෙන ක්‍රියා මේ ගණයට නොවැටේ.

එසේම අන්‍යයන් පැරදවීමට, මුළා කිරීමට, තම උසස් බව, ධනවත් බව, බලවත් බව ප්‍රදර්ශනය කිරීමට, යටත් කර ගැනීමේ අදහසින් කරන පින්කම් පාරමී ගණයට නොවැටේ. පින සහ කුසලය අවබෝධ කොට ගනිමින් යහපත් ක්‍රියාවන්වල යෙදීම තුළින් මෙම මාර්ගය හඳුනාගත හැකි ය.

ලෞකික අරමුණු, සසර සැප විපාක බලාපොරොත්තුවෙන් ලෝභාදී චෛතසික සහිතව කරන ක්‍රියා පින් වන අතර නිවන අරමුණු කර ගනිමින් භෞතික සැප සම්පත් බලාපොරොත්තු නොවී සිදු කරන ක්‍රියා කුසල් වේ.

සෑම කුසලයක් ම පිනක් වන අතර, සෑම පිනක්ම කුසලයක් නොවේ. පින භවයේ හට ගැනීම සඳහා හේතුවන අතර කුසලය භව නිරෝධයට හේතු වේ. පාරමී ගණයට වැටෙනුයේ මෙම කුසල ක්‍රියාවන් ය. බුදු කෙනකු අඩුවක් නැතිව දාන ශීලා දී පාරමිතා තිහ සම්පූර්ණ කළ යුතු අතර අනෙක් බෝධීන් සඳහා එය වෙනස් වේ.

පාරමී ධර්ම පිරීමේ දී බුදු බව පතන බෝධිසත්වයන් අෂ්ටාංග සමෝධානයෙන් යුතුව බුදුබව පැතිය යුතු ය. එසේ නොමැති මහා පුරුෂයින්ට බුදුවරු නියත විවරණ ලබා නොදෙති.

අෂ්ට ධර්ම සමෝධානයෙන් යුතුව බුදුබව පැතිය යුතු ය. එසේ නොමැති මහා පුරුෂයින්ට බුදුවරු නියත විවරණ ලබා නොදෙති. අෂ්ටධර්ම සමෝධානයෙන් බුදුබව පතන තැනැත්තාගේ බුදුවීමේ බලාපොරොත්තුව බුදුවන තුරුම නැති නොවේ. එම කුසල් සිතින් යුක්ත වූ විට එම උත්තමයෝ නොනැවතී සම්බෝධිය පිණිසම පියවර තබති. එම අෂ්ටධර්ම සමෝධානය නම්,

මිනිස් භවයක් ලබා තිබීම

බුදුවන්නේ මිනිසෙකුය. අන්‍ය සත්ත්ව කෙනෙකුට එය කළ නොහැකි ය. දෙවියන් බ්‍රහ්මයන් බුදු නොවේ.

පිරිමි භවයක් ලබා තිබීම

බුදුවන්නේ පිරිමියෙකි. ස්ත්‍රී හෝ නපුංසක සත්ත්වයෝ බුදුබව නොලබති. බුදු බව පතන ස්ත්‍රීන් පවා පිරිමි භවයක් පතා පින්කොට පිරිමියෙකුව සිට බුදුබව ප්‍රාර්ථනා කළ යුතු ය.

රහත් විය හැකි තරමට පින දියුණු වී තිබීම

සුමේධ තාපසයන්ට ඒ ජාතියේ දී ම රහත්ව දීපංකර සාසනයෙහි දී ම නිවන් අවබෝධ කර ගැනීමට තරම් පින දියුණු වී තිබුණි.

ලොව්තුරා බුදු කෙනෙකු මුණ ගැසීම

ලොව්තුරා බුදුවරයෙකු හමුවෙහි ම බුදු බව ප්‍රාර්ථනා කළ යුතු ය. සුමේධ තාපසතුමා දීපංකර බුදුරදුන් හමුවෙහි බුදු බව පැතූහ.

පැවිදිව සිටීම

බුදු බව පතන්නා පින් පව්, කුසල් අකුසල් පිළිගන්නා බුදු සසුනෙහි ම හෝ තාපස නිකායක පැවිදිව සිටිය යුතු ය.

ධ්‍යානාදී ගුණ ඇති බව.

ගුණ සම්පත්තියෙන් තොරව බුදු බව ප්‍රාර්ථනා නොකළ යුතු ය.

අධිකව පරිත්‍යාග කළ යුතු ය.

භෞතික දේ මෙන් ම ජීවිතය ද පරිත්‍යාග කිරීමට හැකියාව තිබීම.

බුදුවීම පිළිබඳ මහත් ඕනෑකමක් තිබීම.

ඡන්දය හෙවත් කැමැත්තක් සසර හැම භවයක දී ම තිබිය යුතු ය.

මෙම කරුණුවලින් යුතුව දස පාරමිතා, උප පාරමිතා හා පරමත්ථ පාරමිතා පුරන බෝසතුන් බුද්ධත්වයට පැමිණේ. මෙම බුද්ධංකුර ධර්මයෝ ආර්ය ලාභයට මඟ වේ.