Print this Article


තිසරණය ලොව පවතින්නේ ත්‍රිවිධ රත්නය ලොව පහළ වූ කල පමණි

තිසරණය ලොව පවතින්නේ ත්‍රිවිධ රත්නය ලොව පහළ වූ කල පමණි

සරණාගමනයෙහි අනුසස්

යෙ කෙචි බුද්ධං සරණං ගතාසෙ - න තෙ ගමිස්සන්ති අපායං

පහාය මානුසං දෙහං - දෙවකායං පරිපූරෙස්සන්ති

ඡත්ත මානවක බුදුරජාණන් වහන්සේ විසින් සරණ ගන්වන ලදුව, ‘ යො වදතං පවරො මනුජෙසු’ යනුවෙන් තෙරුවන් සරණ ගිය ආකාරයත්, සොර මුළකට හසු ව මරණයට පත් ව දෙව්ලොව උපන් ආකාරයත් ප්‍රකට ය.

තෙරුවන් සරණ ගිය පුද්ගලයා මරණින් මතු දෙව්ලොව උපන් කල්හි සෙසු දෙවියන්ට වඩා ආයුෂ වර්ණ ආදියෙන් බබළයි. සැප විඳීයි. මනුෂ්‍ය ලෝකයෙහි උපන් කල්හි මහත් වූ භවභෝග සම්පත් හා රූප සම්පත් ලබයි. උපනුපන් ජාතියෙහි මහ නුවණ ඇත්තේ වෙයි.

මෙසේ සැකෙවින් සරණාගමනයෙහි ලෞකික ඵල හෝ ආනිශංස දක්වන ලදී. ත්‍රිහේතුක ප්‍රතිසන්ධිය ඇති, මෙලොව දී ම නිවන් ප්‍රත්‍යක්‍ෂ කිරීමට තරම් ඤාණය සම්පූර්ණ වූ යම්කිසි කෙනෙක් තිසරණයෙහි පිහිටා නිවැරැදි ප්‍රතිපත්ති අනුගමනය කෙළේ නම් ඔහු නොවරදවා ම සමථයානික හෝ විපස්සනායානික ව මාර්‍ග ඵලාධිගම ලබන්නේ ය.

එයින් ආර්‍ය පුද්ගල භාවයට පත් වීමෙන් තමා අතින් මත්තෙහි ආනන්තරී‍ය කර්මයන් සිදුවීම ද, ලොවුතුරා බුදුන් හැර අන්‍ය ශාස්තෘවරයකුගේ පිහිට සෙවීම ද අවුරන්නේ ය. එ මෙන් ම සෝවාන් වූවහුගේ සතර අපායෝත්පත්තියෙන් මිදීම හා අටවන භවයෙන් එපිට සසර භව සිඳලීමත් , සකෘදාගාමී වූවහුගේ කාම භුමියෙහි එක් වරක් පමණක් ඉපදීමත්, අනාගාමී වූවහුගේ කාම භවයට නැවත නො ඒමත් ලෝකෝත්තර සරණාගමනයෙහි විපාක ඵල වෙයි.

සරණ බිඳීම

ලෝකෝත්තර සරණාගමනය ආර්‍ය පුද්ගලයන්ගේ සන්තානයෙහි ඇතිවන්නක් බැවින් එහි බිඳීමක් නැත්තේ ය. ලෝකෝත්තර සරණාගමනය ස්ථිර බැවිනි. එහෙත් සරණාගමනය පෘථග්ජනයන්ගේ සන්තානයෙහි ස්ථිර ව නොපිහිටයි. එබැවින් ඒ ලෞකික සරණාගමනයෙහි බිඳීම් දෙකක් ඇත්තේ ය. වැරැදි සහිත සරණ බිඳීම හා නිවැරැදි සරණ බිඳීම යනුවෙනි. කලින් තෙරුවන් සරණ ගොස් බෞද්ධයකු ව සිටි කෙනෙක් තිසරණය හැර අන් කිසි මිථ්‍යා දෘෂ්ටියක් ගත්තේ නම් හෝ වෙනත් ශාස්තෘවරයකු සරණ ගියේ නම් එවිට ඔහුගේ සරණාගමනය වැරැදි සහිත ව බිඳෙයි. අපායගාමී අකුසලයක් ද සිද්ධ වෙයි.

සරණගත පුද්ගලයාගේ මරණයෙන් පසු ඔහු තිසරණයෙන් වෙන්වීම නිවැරැදි සරණ බිඳීිම යි. පෘථග්ජනයාගේ සරණාගමනය මරණින් මතු බිඳෙන බැවින් මෙකල ඇතැම් කෙනෙක් ‘ බුද්ධං ජීවිතං යාව නිබ්බාණං සරණං ගච්ඡාමි’ යනුවෙන් ගන්නා සරණාගමනය සාවද්‍ය බව කිව යුතු ය. ‘නිවන් දක්නා ජාති තෙක් බුදුන් සරණ යමි’ යන්න එම පාළි පාඨයෙහි තේරුම වෙයි. නිවන් දක්නා ජාති තෙක් තෙරුවන් සරණ යාම ප්‍රාර්‍ථනාවක් මිස සරණාගමනයක් නොවේ. ප්‍රාර්‍ථනාවන් ඉෂ්ඨ නොවීමට ද හැකි ය. එසේ ප්‍රාර්‍ථනා කළ පුද්ගලයා අබුද්ධෝත්පාදයෙහි උපන්නොත් එසේ නැතහොත් දුගතියෙහි හෝ මිථ්‍යා දෘෂ්ටික ව උපනහොත් එම ප්‍රාර්‍ථනාව සම්පූර්ණ වන්නේ නැත.

ලොවුතුරා සම්බුද්ධත්‍වය පිණිස බුදුවරයන් වහන්සේ විසිතුන් නමකගෙන් නියත විවරණ ලද්දා වූ මහබෝසතාණන් වහන්සේ පවා කාශ්‍යප බුදුන් කල ජෝතිපාල නම් මානවක ව තාවකාලිකව මුත් මිථ්‍යා දෘෂ්ටික ව උපන් කල හුදු පෘථග්ජනයන් මිථ්‍යා දෘෂ්ටික වී ඉපදීම ගැන කවර කථා ද ? එ නමුත් එසේ ප්‍රාර්‍ථනා කිරීමෙන් සසර දී නියත මිථ්‍යා දෘෂ්ටික ව ඉපදීම වැළැක්වීමට හැකි බව ද කියනු ලැබේ.

ගිහියකු මහණ ව සාමණේර බවට පැමිණෙන කල්හි ඔහුගේ ගිහි සරණාගමනය බිඳෙයි. සාමණේරයකු ද සිවුරු හැර උපැවිදි වන කල්හි ඔහුගේ සාමණේර සරණාගමනය බිඳෙයි. උපසම්පන්න භික්‍ෂුවක් ‘මම ගිහි වෙමි’ ආදීන් කියා ශික්‍ෂාව ප්‍රතික්‍ෂේප කොට ගිහි වීමේ දී ඔහුගේ සරණාගමනය ද නිවැරැදි ලෙස බිඳෙයි. යම් උපසම්පන්න භික්‍ෂුවක් පාරාජිකා වීමෙන් පසු සාමණේරභාවයට ද නොපැමිණ, උපසපන් භික්‍ෂුවක් ලෙසින් ම පෙනී සිටී නම්, පාරාජිකා වූ බැවින් ඔහුට උපසපන් තිසරණය නැත. සාමණේර නොවූ බැවින් සාමණේර තිසරණය ද නැත. ගිහි නොවූ බැවින් ගිහි තිසරණය ද නැත. ඔහු තිසරණය වත් නැති මහා පව් කඳකි. එබැවින් පාරාජිකා ඇවතකට පත් භික්‍ෂුවක් වහා ම සාමණේර විය යුතු ය. ගිහි බවට හෝ පැමිණිය යුතු ය.

උපසම්පන්න භික්‍ෂුවක් මිථ්‍යා දෘෂ්ටි ගැනීමෙන් ඔහුගේ සරණාගමනය නැති නොවේ. ඔහුගේ උපසම්පදාවට හානි නොවූ බැවිනි. එහෙත් සාමණේරයකු මිථ්‍යා දෘෂ්ටි ගත්තේ නම් ඔහුගේ සරණාගමනය වැරදි සහිතව ම බිඳේ. සාමණේරයා පාරාජිකා වීමෙන් ඔහුගේ තිසරණය වැරැදි සහිතව ම බිඳේ.

තෙරුවන් සරණ ගිය පුද්ගලයෙක් තෙරුවන් කෙරෙහි සැක උපදවන්නේ නම් එසේත් නැතහොත් වෙනත් දේවාල හෝ කෝවිල් ආදී අන්‍ය ලබ්ධික මිථ්‍යා දෘෂ්ටීන්ගේ කටයුතු දැක ‘ බෞද්ධ ප්‍රතිපත්තිවලට වඩා ඔවුන්ගේ ප්‍රතිපත්ති හොඳ ය’යනාදීන් සිතන්නේ ද, කියන්නේ ද, එවිට ඔහුගේ සරණාගමනය කිලිටි වේ. ලාභ ප්‍රයෝජන, නම්බුනාම තනතුරු ආදිය තකා තිසරණය සමාදන් වන්නේ ද ඔහුගේ ද තිසරණය කිලිටි වේ. වෙනත් ශාසනයක වූ මිථ්‍යා දෘෂ්ටික ඉගැන්වීම් පිළිගන්නේ ද, තිසරණයට වඩා ඒ දේවතාදීන් බලවත් යැ යි සිතන්නේ ද, ඔහුගේත් තිසරණය කිලිටි වේ.

තිසරණයෙහි ශ්‍රේෂ්ඨ බව අසංඛ්‍ය ගණනින් මහාකල්ප ඉක්ම ගිය ද ත්‍රිවිධ රත්නය ලෝකයෙහි පහළ වීම පරම දුර්ලභ ය. ත්‍රිවිධ රත්නය ලොව පහළ වූ කල්හි පමණක් ම තිසරණය ද ලොව පහළ වන්නේ ය. බුද්ධ ශාසනය අතුරුදන් වීමෙන් තිසරණය ද අතුරුදන් වන්නේ ය. මේ තිසරණයෙහි පිහිටා කරනු ලබන සියලු කුසලයන් මහත් වූ ආනිශංස උපදවන අතර, එසේ නොපිහිටා කරන්නා වූ කුසලයන් අල්පානිශංස උපදවන්නේ ය. එ බැවින් අබුද්ධෝත්පාද කාලයෙහි කරන්නා වූ කුසලයන්ට වඩා බුද්ධෝත්පාද කාලයෙහි කරන්නා වූ කුසලයන් ආනිශංසයෙන් අධික ය.

සරණාගමනය වූ කලි දස කුසල ධර්‍මයන් අතුරෙහි දිට්ඨුජුකම්ම කුසලයට අයත් වේ. දස පාරමී අතුරෙහි ප්‍රඥා පාරමිතාවට ද, ත්‍රිවිධ ශික්‍ෂාවෙන් ප්‍රඥා ශික්‍ෂාවට ද, ත්‍රිවිධ කුසලයෙන් භාවනා කුසලයට ද, ත්‍රිවිධ ශාසනයෙන් ප්‍රතිපත්ති ශාසනයට ද, ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයාගෙන් සම්මාදිට්ඨි මාර්‍ගාංගයට ද ඇතුළත් වන්නේ ය.

එසේ හෙයින් පින්වත්නි, සියලු සංසාර දුක් නිවීමට මාර්ගය වූ ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය අවබෝධ කර ගැනීම පිණිස මහා දොරටුව වූ මේ තිසරණය නිවැරැදි ලෙස ම සමාදන් ව රක්‍ෂා කොට උතුම් නිවන් මඟට පිවිසීමට සෑම කෙනකු විසින් ම අධිෂ්ඨාන කර ගත යුතු ව ඇත්තේ ය.