Print this Article


රෝහණපුරට අභිමානයක් වූ පුවක්දණ්ඩාව පන්ථාරාම මහා වෙහෙර බිම

රෝහණපුරට අභිමානයක් වූ පුවක්දණ්ඩාව පන්ථාරාම මහා වෙහෙර බිම

බෙලිඅත්ත පුවක්දණ්ඩාව නැඟෙනහිර ග්‍රාමසේවා වසමෙහි පිහිටි මෙම විහාරස්ථානය ක්‍රි.ව. 1775 දී පමණ ආරම්භ විය. පැරණි සීමා මාලකය 1815 පිහිටු වූ බවට ගල් කුලුනක සටහන් කර ඇත. එම යුගයේ තල්පත්ඉරු ලිපි ලේඛන ආදිය තවමත් විහාරස්ථානයේ සුරක්ෂිතව පවතී.

මෙම විහාරස්ථානය සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයට අයත් ස්ථානයකි.

වේහැල්ලේ ධම්මදින්න හිමිගේ පළමු ශිෂ්‍යයා කදුරුපොකුණේ ස්වර්ණජෝති හිමියෝ ය.

බද්දේගම ගුණරතන නම් මාහිමියන් වහන්සේ තමන්ගේ ශිෂ්‍ය හිමිවරු කිහිප පොලක් සමඟ ක්‍රි.ව. 1775 දී පමණ පුවක්දණ්ඩාව පන්ථාරාමය පිහිටා තිබෙන ස්ථානයේ වස් වසා ඇත. වස් කාලය නිම වීමෙන් පසුව උන්වහන්සේගේ පළමු ශිෂ්‍ය උඩයාලේ ධම්මපාල හිමි එම ස්ථානයේ නතර කර ඇත. උඩයාලේ හිමියන් විසින් පුවක්දණ්ඩාව පාර අද්දර විහාරස්ථානයට අවශ්‍ය සංඝාරාම, සීමා මාලකය ආදිය පිහිටුවා ස්ථානය දියුණු කිරීමට කටයුතු කළේ ය.

උඩයාල හිමිගේ පළමු ශිෂ්‍යයා ගාල්ලේ සුනන්ද හිමියන් ඉන්පසු විහාරාධිපති පදවියට පත් විය. උන්වහන්සේගේ පළමු ශිෂ්‍යයා දබරැල්ලේ සරණංකර හිමියෝ ය.

මූලගිරියේ නන්දාරාම හිමි, කදුරුපොකුණේ විපස්සි නා හිමි යන හිමිවරු ද පුවක්දණ්ඩාව පන්ථාරාමයේ විහාරාධිපති ධුරය දැරූහ. වර්තමාන විහාරාධිපති දෙහිගහහේනේ ඥානවිමල හිමියන් ය. විහාරස්ථ භූමියේ ධම්මපාල මහා විද්‍යාලය ආරම්භ කිරීම, පේෂකර්ම මධ්‍යස්ථානය ආරම්භ කිරීම, ප්‍රජාශාලා ආදිය සකස් කර රජයට පැවරීම, සෞඛ්‍ය මධ්‍යස්ථානය, ගම් සභා කාර්යාලය ආදිය සඳහා ඉඩම් ලබා දීම ආදී භෞතික සංවර්ධනයට දායක වී ඇත. 1947දී වර්ෂයේ දී ශ්‍රී ධර්මෝදය දහම් පාසල ආරම්භ කිරීම මෙන් ම ආධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යයන් ඉටු කරමින් පවතී.