Print this Article


තරාතිරම කුමක් වුව ද විළිබිය නොවන පුද්ගලයා සමාජයටම අනර්ථයකි

තරාතිරම කුමක් වුව ද විළිබිය නොවන පුද්ගලයා සමාජයටම අනර්ථයකි

ශිෂ්ට සම්මත ගිහි සමාජය තුළ වුව ද කිසියම් රාමුවක් තුළ එහි සමාජිකත්වය දරන උදවිය හික්මිය යුතු වෙනවා.

සැබෑ ගිහි සමාජය බෞද්ධ වත පිළිවෙත ගරු කරන්නේ නම්, පන්සිල් රකින පොදුවේ තමන්ගේත් අනුන්ගේත් යහපත උදාවන ආකාරයෙන් ක්‍රියා කරන අයෙක් වෙනවා. ගිහි සමාජය විසින් ආගම් භේදයකින් තොරව පිළිගත් සම්මත ආචාරධර්ම පිළිවෙතක් අනුගමනය කළ යුතු වෙනවා. ඒවා ඕනැම සමාජයකට අදාළ වන පොදු ධර්මතා සමූහයක්.

ඉතින් ඒවා කඩවන ආකාරයකට යම් ගිහි අයෙක් ක්‍රියා කරනවා නම් ඔහු කයින් හෝ වචනයෙන් හෝ මනසින් හෝ ඒ තුනෙන් ම හෝ ඒ රාමුව බිඳ හෙළා තනි මතයට අනුව ක්‍රියා කරන අයෙක් විය හැකියි. ඒ ක්‍රමය පොදුවේ බාහිර සමාජය පිළිගන්නේ නැහැ. බාහිර සමාජය පිළිගන්නේ යම් කෙනකුගේ ජිවන පැවැත්ම මතින් තවත් අයකුට මොනයම්ම හෝ මානසික පීඩාවක්, ශාරිරි අපහසුතාවක්, වාචසික හිංසනයක් නොවෙන ආකාරයෙන් ජීවත් විය යුතු බවයි. එහෙම වුණත් අපි ජිවත්වන සමාජය තුළ මොනතරම් නම් ඇතැම් අය තමන්ගේ වගකීම් පැහැර හරිමින් ගමට , රටට, පමණක් නොව තමා විවාහ ගිවිස ගත් ස්වාමිපුරුෂයාට, භාර්යාවට පමණක් නොව ඒ දෙදෙනා නිසා මෙලොව බිහි වූ දරුවන්ට පවා අසහනයක් වන ලෙස ජිවත් වෙනවා ද යන්නට කොතෙකුත් නිදර්ශන අප ජිවත්වන සමාජයේ දෛනිකව අසන්නට ලැබෙන තොරතුරු මගින් අනාවරණය වෙනවා කියන මේ කාරණය හරිම සරල කරුණක් බවට පත්ව තිබෙනවා.

අඹුසැමි ආරවුල් නිසා දරුවන් මහමඟට දමා, තවත් විටෙක වැසිකිළියක දමා, බස්නැවතුම්පොළක දමා අතරුදහන් වන ස්ත්‍රී පුරුෂයෝ නැති නම් අම්මලා තාත්තලා කොතරම් නම් මේ සමාජයේ ඉන්නවාද කියන එක පැහැදිලි කරුණක්. මේ තත්වයන්ට හේතු වන්නේ ඒ සමාජ සංවිධානය තුළ ඔවුන් එහි විධිමත් සමාජ රාමුවේ සියලු ආගමික හෝ අනාගමික ආචාරධර්ම අමුඅමුවේ බිඳ හෙළා ක්‍රියා කරන ආකාරය තුළිනුයි.

මේ තත්ත්වය අද පාසල් යන වියේ දරුවන් තුළ ද බහුලව ව්‍යාප්ත වෙමින් පවතිනවා. එක පැත්තකින් දෙමාපියන්ගේ වැරැදි ආදර්ශයන් වගේ ම මුහුණු පොත, අන්තර්ජාලය, රුපවාහිනි දර්ශන ආදිය නිසා ඇතැම් ආචාරධර්ම විරෝධි විළිබිය විරහිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සමාජයට විවෘත වන තොරතුරු නිසා ළමා වයසේ සිටින දරුවන් ද අද කායික. වාචසික හා මානසික වශයෙන් ප්‍රගල්භ වී සිටිනවා

පාසලේ දී වුවත් පොදු ඩෙස්පුටු හෝ පොදු දේපළ පරිහරණයේ දී පවා දඩබ්බර ලෙස ක්‍රියා කරන සිසුන් සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මල්ගස්වල පිපෙන මල් කඩා දමමින්, දොර ජනෙල් පියන් විනාශ වෙන ආකාරයෙන් ඒවා පරිහරණය කරමින්, රජයෙන් පිරිනමන පොත්පත් ගැන සැලකිල්ලක් නැතිව ඒවා ඉරා දමමින් ගෙදරදොර වුවත් තියෙන ඇඳපුටු මෙස ආදිය පවා විනාශ වන ආකාරයෙන් ඒවා පරිහරණය කරමින් ඒ සම්බන්ධව අවවාද උපදෙස් දෙන කවර තරතිරමේ කෙනකුට වුවද නිගා කරමින් නොසන්සුන් ඉරියව් පවත්වමින්, තමන්ටත් අනුන්ටත් පීඩාවන ලෙස ක්‍රියා කරන ළමා වියේ පසුවන්නන්ගෙන් සමාජය වෙළාගෙන යන තත්වයක් දක්නට ලැබෙනවා.

මේ සියල්ලම ප්‍රගල්භ තත්ත්වයන් ලෙසයි සලකන්නට සිදු වන්නේ. ඒ නිසා අප කුමන තරා තිරමේ කෙනෙක් වුවත් ප්‍රගල්භ බවෙන් මිදී ක්‍රියා කරනවා නම් පමණක් සැබෑ බෞද්ධ පිළිවෙත පුරන අයෙකු බවටත් පත්වන බවයි මේ කරණිය මෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ.