Print this Article


අඳුරෙන් ආලෝකයට එන්න: මෙලොව පිරිහුණොත් පරලොවත් පිරිහෙනවා

අඳුරෙන් ආලෝකයට එන්න

මෙලොව පිරිහුණොත් පරලොවත් පිරිහෙනවා

අපගේ ශාන්තිනායක අමාමෑණි බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් පාරමී දම් පුරා සොයාගත්තා වූ සැබෑ දහම සසර කතරේ අතරමංව දුක් විඳින හුදී ජනයා වෙත පතළ මහා කරුණාවෙන් දේශනා කළහ.

උන්වහන්සේගේ දහමට අභියෝග කළ හැකි කිසිවෙක් අදටත් නොමැත. උන්වහන්සේගේ දහමට අභියෝග කිරීමට විද්‍යාව ද සමත් වී නොමැත. තුන් කල් දක්නා නුවණින් උන්වහන්සේ දෙසූ දහම සැබෑවට ම තුන් කාලයට ම වලංගු වන ආකාරය හරිම අපූරුයි.

වරෙක බුදුන් වහන්සේ වදාළා අඳුරෙන් අඳුරට, අඳුරෙන් ආලෝකයට, ආලෝකයෙන් අඳුරට, ආලෝකයෙන් ආලෝකයට යන මිනිසුන් වර්ග හතරක් මේ ලෝකයේ ජීවත් වන බව.

අඳුර යනු අපාය පමණක් ම නොවේ. මනුෂ්‍ය ආත්මයක් ලැබුව ද අන්ධකාරයේ සිටින මිනිසුන් ඕනෑ තරම් ඇත. ලෞකික වශයෙන් මෙන්ම ලෝකෝත්තර වශයෙන් ද අන්ධකාරයේ ගමන් කරන පිරිස බොහෝම යි.

ලෞකික සැපය සොයන ඇතැම් මිනිසුන් තමන්ගේ කටයුතු කර ගන්නේ දීර්ඝ කාලීන නොවන කෙටි කාලීන ක්‍රමවලිනි. වංචනික ලෙස සිදු කරන ක්‍රියාවන්වල ප්‍රතිඵලය ලෙස තමන්ගේ දියුණුව අතරමඟ නැසේ.

අද සමාජයේ දරුවන් විසින් මවුපියන්ට සලකන ආකාරය ද අප විමසා බැලිය යුතු ය. තම මහලු මවුපියන් මහ මඟ දමා යන්නේ අකාරුණික සිතිනි. තමාගේ නිවසේ සිටිය ද බලු කූඩුවක, හෝ ගේ පසුපසට වෙන්න සකසන ලද ලෑලි කාමාරයක දමා සතුන්ට මෙන් සලකයි. දරුවන්ට ආදරය, කරුණාව, සෙනෙහස, සාරධර්ම, සිරිත් විරිත්, වැඩිහිටියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, පිදිය යුත්තන් පිදීම ආදි කරුණු වෙනුවට අනෙකා පරයමින් තරගකාරිව ඉදිරියට යන ආකාරය කියාදීමේ ප්‍රතිඵල එසේ වීමට හේතුවයි. අද දහම් දෙසුමේ මාතෘකාව තමෝ ජෝති පරායනෝ වේ.

“තමෝ” නම් අන්ධකාරයයි “ජෝති” නම් ආලෝකයයි. මිනිසත්භාවය ලැබීම ද ආලෝකයකි. එහෙත් ඒ බව දැන හෝ නොදැන මිනිසුන් තමන් ලැබූ ජීවිතයේ වටිනාකම අඩු තක්සේරු කරයි. මේ උතුම් ආත්මය තුළින් අන්ධකාරය කරා ගමන් කරයි.

අප කළ යුතු වන්නේ ලැබුණා වූ මනුෂ්‍ය ආත්මයේ වටිනාකම තේරුම් ගෙන මෙලොව හා පරලොව තුළදී ආලෝකය කරා ගමන් කිරීමයි. මෙලොව දී ලෞකික වශයෙන් දියුණූු වීමට නම් සාධාරණ වෙළෙඳාම මෙන්ම සාරධර්ම, සදාචාර, සිරිත් විරිත්, ගුණ ධර්ම රකිමින් වැඩිහිටියන්ට ගරු කරමින් කටයුතු කළ යුතු ය. මවුපියන් දරුවන් අතර යහපත් සබඳතාව, ගුරුවරයා ශිෂ්‍යයා අතර යහපත් සබඳතාව ස්වාමියා බිරිඳ අතර යහපත් සබඳතාව, ස්වාමියා සේවකයා අතර යහපත් සබඳතාව තිබිය යුතු ය.

අනික් පසින් වංචනිකභාවය අයත් වන්නේ අදින්නාදානා නම් ශික්ෂා පදයටයි. මෙලොව දී මිනිසුන් වශයෙන් ලැබුවා වූ පිරිහීම පරලොව දී ද එලෙසින් ම ඔහුත් ලබයි. කර්ම විපාක දීම නිසා ඊළඟ භවයත් දුගීව උපදින්නට සිදුවී ආර්ථික වශයෙන් විශාල ගැටලු රාශියකට මුහුණ දීමට සිදු වේ. ඒ අන්ධකාරයේ එක පැත්තකි. බුදුන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ යුතුකම් කොටසේ දී මවුපියන් විසින් දරුවන්ට හා දරුවන් විසින් මවුපියන්ට කළ යුතු යුතුකම් පැහැදිලිව දේශනා කොට ඇත.

මවුපිය දරු සබඳතාව ගිලිහී යන අද සමාජයේ මහ මඟ සිටින දරුවන්ට උරුම වන්නේ දුක්බර ජීවිතයකි. සුරාවට, සොරකමට පවා පුරුදු වී සමාජයම මහා විනාශයක් කරන දරුවන් බවට ඔවුන් පත්වේ. නීතියේ රැහැනට හසුවී සිරගෙවල්වල දඬුවම් විඳීමට සිදු වේ. එය මෙලොව වශයෙන්ම අන්ධකාරයට යාමක් නොවේද? මෙවැනි වූ ක්‍රියාවන් නිසා පරලොව ජීවිතය ද අපාගාමී වන්නේ ය.

රට, ජාතිය වෙනුවෙන්, අනුන් වෙනුවෙන් යුතුකම් සිදු කරන්නේ නම් තමාගේ මෙලොව ජීවිතය සහ පරලොව ජීවිතය ආලෝකවත් කරගත හැකි ය. ඒ වාගේම දාන, සීල, භාවනා ආදි පුණ්‍ය ක්‍රියා සිදු කර පරලොව භවගාමී ජීවිතය ද නිවන නම් සුන්දර ආලෝකය කරා ගමන් කළ හැකි ය. කළ යුතු වන්නේ මිනිසත් භවයේ ඉපිද මනසෙන් උසස් වූ මනුෂ්‍යකු ලෙස ජීවත් වීම ය.

අද බොහෝ දෙනා මිනිසත් ආත්මයේ ඉපදුණ ද එය අමතක කර අමනුෂ්‍යයන් ලෙස කටයුතු කරයි. මනුසත් ආත්මයේ වටිනාකම තේරුම් ගෙන මනසෙන් උසස් වූ මිනිසුන් ලෙස ගෙවා මෙලොව පරලොව ආලෝකවත් කරගෙන ජාතියක්, ජරාවක්, මරණයක් නැත්තා වූ උතුම් වූ නිවන කරා ගමන් කිරීමට අපි උත්සුක වෙමු.