Print this Article


පුංචි දේටත් හිත රිදවා ගන්නේ හිතේ හයිය නැති අය යි

පුංචි දේටත් හිත රිදවා ගන්නේ හිතේ හයිය නැති අය යි

සමාජයක් ලෙස එකට යන ගමනේ දී අපට හුදකලා විය නොහැකි යි. විවිධ විදියේ ගනුදෙනු කළයුතු වෙනවා. එවැනි අවස්ථාවක ඇතැම් විට අපට අකැමැති වචන, සිත රිදෙන වචන, පරුෂ වචන අහන්න ලැබෙනවා .

මේ වගේ අවස්ථාවක සිතට ඇතිවන්නේ දුකක්. එතැනින් නවතින්නේ නෑ. අපට හිතෙනවා ඇයි මේ අය මට මෙහෙම සලකන්නේ? මම මොන වරදක් කළාට ද? කියලා. එනිසා විටෙක යහපත වගේම තවත් විටෙක අයහපත ළඟා කරන වචනය නිවැරැදිව පරිහරණය කළ යුත්තේ කෙසේද කියා කළ සාකච්ඡාවකි මේ.

පින්වත් ස්වාමින් වහන්ස, බුදුදහම පුරාම විහිදී යන්නේ සත්‍ය වචනය යි. සත්‍ය වචනය අපගේ ජීවිතයට ආලෝකයක් වන්නේ කොහොම ද?

භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ අපේ ජීවිතයේ තිබෙන සැබෑ තත්ත්වය යි. සැබෑ ස්වභාවය යි. සැබෑ කතාව යි. බුදුදහමේ අන්තර්ගත වන්නේ මේ ලෝකයේ තිබෙන පරම සත්‍යය යි. එය වෙනස්වන්නේ නැහැ. උන්වහන්සේ වදාළා ඉපදුණ සත්ත්වයාට දුක උරුම වූ දෙයක්. ඉපදුන සත්වයා ලෙඩ වෙනවා. වයසට යනවා. මරණයට පත්වෙනවා. අපි‍්‍රය අය හා එක් වෙනවා. පි‍්‍රයයන්ගෙන් වෙන්වෙනවා. ඒ අතර, කාලයේ දී බොහෝ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙන්නට වෙනවා. එය ලෝක ස්වභාවය යි. හැම දෙනාට ම එය පොදුයි. මේ පොදු ධර්මතාව තමා භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළේ.

ඇතැම් අය මේ සත්‍යයට මුහුණ දෙන්න කැමැති නෑ. ඇත්ත මඟ හැරලා පැනලා යන්නයි බලන්නේ. එහෙත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයනට දේශනා කොට වදාළේ මේ සත්‍ය කියන දේට මුහුණ දෙන්න කියල යි. එය මේ ලෝකයේ වෙනස්වන්නේ නැති දෙයක්. වෙනස් කිරීමට බැරි දෙයක්. මම මේ සත්‍ය ඉක්මවා ගියේ නැති කෙනෙක් කියලා හොඳින් නුවණින් විමසන්න ඕනෑ. එවිටයි අපට සත්‍යයට මුහුණ දෙමින් ජීවිතයේ සැබෑ ස්වභාවය හඳුනාගෙන අවබෝධයෙන් ජීවත්වෙන්න පුළුවන් සිතක් හදාගන්න ශක්තිය ලැබෙන්නේ. එ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මම වයසට යන කෙනෙක්, මම වයසට යාම ඉක්මවා ගිය කෙනකු නොවේ. මම වයසට යාමෙන් නිදහස් වූ කෙනෙක් නොවේ. මේක තමා ලෝකයේ ස්වභාවය ලෙස නිතර නිතර සිතන්න කියලා.

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ වදාළා ශ්‍රාවකයා නිතර සිහි කළ යුතුයි, තමා ලෙඩ වෙන කෙනෙක් බව, ලෙඩ වෙන ස්වභාවය ඉක්මවා ගොස් නැති බව, තමා මරණයට පත්වෙන කෙනෙක්, පි‍්‍රයයන්ගෙන් වෙන්වෙන්නට සිදු වෙන කෙනෙක්. තමන් කර්මය දායාද කරගෙන ඉන්නේ කියා නිතරම සිහි කරන විට අපේ සිත සූදානම් වෙනවා සත්‍යයට මුහුණ දෙන්න. ඇත්ත තේරුම් ගන්න. අවබෝධ කර ගන්න. කෙනකු ජීවිතයේ සැබෑ ස්වභාවය තේරුම්ගත් විට ඒ සත්‍යයට මුහුණ දෙන්න ඔහුගේ සිත ශක්තිමත් වෙනවා. හඬා වැළපීමෙන් තොරව, ශෝක කරන්නේ නැතිව ජීවිතයට මුහුණ දෙනවා . එවිටයි කෙනකුගේ ජීවිතය වගේම සිතත් ශක්තිමත් වෙන්නේ.

අද සමාජයේ බොහෝ දෙනාගේ සිත ශක්තිමත් නැහැ. පොඩි දෙයටත් කඩා වැටෙනවා. හැම දේටම මුල් වන්නේ මේ ලෝකයේ සත්‍ය කියන දෙය පිළිගන්නට බැරිකමයි. ඒ නිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ සත්‍ය කියන දේ පිළිගෙන එයට මුහුණ දෙන්න උත්සාහ කරන්න කියලා .ඒ උපදේශය කෙනෙක් පිළිපැද්දොත් ඔහුගේ ජීවිතය ආලෝකවත් වෙනවා. අඳුර ජීවිතයෙන් පලා යනවා.


මහමෙව්නා භාවනා අසපුවාසී පොතුහැර මහින්දසිරි හිමි

අප අතර ඇතැම් අය සිටිනවා, ප්‍රශ්නවලින් මිරිකිලා, ඒ තුළම කිඳා බැසගෙන සිතිනුත් දුක් විඳිමින් මානසික ප්‍රශ්න ඇති කරගෙන, තමාගේ ගුණ ධර්ම තිබුණා නම් ඒවාත් නසාගෙන ජීවත් වෙනවා. එවිට ඔහුගේ ජීවිතය අඳුරු ස්වභාවයක් ගන්නවා. අඳුරු දෙයට එකතු වෙන්නේ අඳුරු දෙයක් ම යි. තමා ජීවත්වන රටාව අඳුරු කර ගත්තාට පස්සේ තමා වටේට එකතු වෙන්නෙත් අඳුරු දේ ම යි. තරහා යන දේ ම යි. අයහපත් දේ ම යි. එහෙත් භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දුන්නේ ප්‍රශ්න කියන දේ අපට නවත්වන්නට බැහැ. සත්‍ය කියන දේ පිළිනොගෙන ඉන්නත් බැහැ. හැබැයි අපට ඒ සියල්ලම පාලනය කරන්නට පුළුවන්. ඒ අපි ඒවාට මුහුණ දෙන ආකාරය, අවබෝධ කරගෙන තේරුම් ගන්නා ආකාරය අනුව යි. එය තමා සතු දෙයක්.

බාහිර ලෝකයා කතා කරන වචනයෙන් අපේ සිතට සතුටක් ඉපදෙනවා. දුකත් ඉපදෙනවා. මේ අවස්ථාවට අපි මුහුණ දෙන ආකාරය පහදා දෙන්න ස්වාමින් වහන්ස

මේ වගේ ප්‍රශ්නයක දී අපි තේරුම් ගත යුතු පළමු දේ නම් ලෝකයේ මිනිසුන් අපට කියන දේ හෝ අපි ගැන හිතන දේ අපට පාලනය කරන්නට බැහැ. මිනිසුන් හිතන්නේ ඔවුන්ට වුවමනා දේ යි. අපට ඕන දේ මිනිසුන් හිතන්නේ නැහැ. මිනිසුන් කතා කරන්නේ ඔවුන්ට කතා කරන්න වුවමනා වචන. එහෙම නැතුව අපි අහන්න කැමැති වචන හැමවෙලාවක ම ලෝකයාගෙන් අහන්න ලැබෙන්නේ නැහැ.

එහෙමනම් බාහිර පුද්ගලයන් කතා කරන වචන අපේ පාලනයෙන් තොරයි. බුදුරජාණන් වහන්සේ එය තේරුම් ගැනීමට මෙසේ වදාළා. ඔබට අන් අය කියන වචන ක්‍රම කීපයකට හඳුන්වා දෙනවා. ඒ සුදුසු කාලයෙත් ලෝකයාගෙන් වචන අහන්න සිදුවෙනවා. නුසුදුසු කාලයේදීත් වචන අහන්න සිදු වෙනවා. ඒ වගේම මෘදු වචනත්, රළු වචනත් අහන්නට ලැබෙනවා. යහපත වගේම අයහපත ඇතිකරන වචනත් අහන්න ලැබෙනවා. සිත නිවෙන වචන වගේම සිත ඇවිස්සී යන වචනත් අහන්න ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ මේ හැම පරියායට ම දේශනා කරන්නේ ලෝකයා අපට කියන දේ, කතා කරන දේ අපට පාලනය කරන්න බැහැ කියන්න යි. අපි කැමැතිම වචන මේ ලෝකයේ අහන්න ලැබෙන්නේ නැහැ. ඒක තමා මේ ලෝකයේ තිබෙන ස්වභාවය. ඒක තමා සත්‍ය ය. ඒක තේරුම් ගත් දවසට අපට හිත හදාගන්න පුළුවන්. මට මේ වචන පාලනය කරන්න බැහැ. මට පාලනය කරන්න බැරි මේ වචන ඉදිරියේ මම ක්‍රියා කරන්නේ කොහොමද කියන දේ යි. කෙනෙක් කියන මිහිරි වචනය තුළින් අපි ඒ වචනයට බැඳිලා ඒ සමඟ එකතු වෙලා යනවා. ඒ වගේම තරහෙන් කෙනෙක් කතා කළොත් ඒ සමඟ ගැටී ඒ පිරිස සමඟ තරහ ගෙන කටයුතු කරනවා. මේ දෙ ආකාරය ම සුදුසු නැහැ.

භාග්‍යවතුන් වහ්නසේ පෙන්වා දුන්නේ සතුටක් හිතෙන වචන කතා කළොත් ඒ සමඟ අනවශ්‍ය ලෙස බැඳෙන්නට එපා. රළු වචන කතා කළොත් ඒ වචන සමඟ අනවශ්‍ය ලෙස ගැටෙන්නත් එපා. මේ හැම දෙයක් ම අපේ කනට ඇසුන සැණින් වෙනස් වෙනවා. එහෙත් අපේ සිත නැවත නැවත ඒ වචන සිහිපත් කරමින් මට බැන්නා, මට නින්දා කළා, මගේ හිත රිද්දුවා කියා වෛර බැඳ ගන්නවා. ඇත්තටම වචන කියන්නේ ඒ මොහොතේ ඇසී ඒ මොහොතේ ම නැතිවෙන දෙයක්. එනිසා කිසිදු වචනයකට අපි කලබල විය යුතු නැහැ.

ස්වාමින් වහන්ස, ඇතැම් අය සුළු කරුණකදීත් හිත් රිදවා ගන්නවා. එවැනි තත්ත්වයක් පාලනය කර ගන්නේ කොහොම ද?

අපේ සිතේ ස්වභාවය අනුවයි පොඩි පොඩි දේට අපේ සිත රිදෙන්නේ. අපි කැමැතියි යහපත් ව, සතුටින් ඉන්න. අපි හිතනවා අපට ලැබිලා තිබෙන සතුට, සැනසුම හැමදාම තියෙන්න ඕන කියලා. එහෙත් සතුට කියන දේ වෙනස්වන ස්වභාවයට අයිතියි. හේතුන්ගෙන් හට ගෙන හේතු නැතිවීම නිසා නැතිවෙන දෙයක්. ඒක තේරුම් ගත්තොත් අපේ ජීවිතයට දුකක්, කරදරයක් එනකොට අපට කල්පනා කරන්න පුළුවන් මේක හටගත්තේ හේතුවක් නිසා. මට දැන් සතුටක් ඇතිවෙලා තිබෙන්නේ. නමුත් මේ හේතු නැතිවූ විට මේ සතුට නැතිවෙනවා කියා. දුකක් ආවොත්? ඒත් කල්පනා කරන්න තිබෙන්නේ මේ දුක කියන දේ හට ගන්නේ හේතුවක් නිසා. හේතුව නැතිවන විට මේ දුකත් නැතිවෙලා යනවා. එහෙම තේරුම් ගත්තොත් අපේ සිත රිදෙන වෙලාවට මේ හට ගත් දේ වෙනස් වෙලා යනවා කියලා. අපේ හිත හදාගන්න, හිත රැක ගන්න ලෙහෙසියි. නැත්නම් පොඩි දෙයටත් අපට දුකක් ඇති වුණොත් ඊළඟට එන අකුසලය ද්වේෂය, ගැටීම, පටිඝය කියන දේ යි. ද්වේෂය ආවම අපි ඒ සමඟ ක්‍රියාත්මක වෙනවා. ඒ තුළින් බොහෝ අකුසල් වෙන්න පුළුවන්. අපි තේරුම් ගන්න ඕන පොඩි දෙයටත් ගැටෙනවා නම් අපේ සිත ශක්තිමත් නැහැ. ඒ හිත ගොඩාක් දුර්වල යි. ශක්තිමත් සිතක් ඇති කෙනා ඉවසනවා.