Print this Article


දරණාගම කුසලධම්ම නා හිමි ගුණානුස්මරණ පින්කමෙන් ...

දරණාගම කුසලධම්ම නා හිමි ගුණානුස්මරණ පින්කමෙන් ...

2007 වර්ෂයේ ජූනි 29 වැනි දින ලොව ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව කොළඹ 7 ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගෞරව ශාස්ත්‍රවේදී පරම පූජනීය බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ විසින් ආරම්භ කරනු ලැබූහ.

එතැන් සිට පැය විසි හතර මුළුල්ලෙහිම බුදු බණපදයක් අසන්නට ලෝ වැසි බොදු දනන්හට හැකි විය.

තව තවත් බෞද්ධ සන්නිවේදන ආයතන බෞද්ධයා රූපවාහිනී නාලිකාව ආදර්ශ කොට ගනිමින් ආරම්භ විය. එසේ සමාජීය පරිවර්තනයක් සිදු කෙරුණේ දරණාගම කුසලධම්ම මහා යතිවරයන් වහන්සේට පින් සිදු වෙන්නටයි.

උන්වහන්සේගේ ගුණ අනුස්මරණය කරමින් මාර්තු 03 වැනි දින ඓතිහාසික ගැටඹේ රාජෝපවනාරාමයේ දී අභිනව බෞද්ධයා රූපවාහිනී ප්‍රාදේශීය මධ්‍යස්ථානය ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක ධූරන්දර කැප්පෙටියාගොඩ සිරිවිමල අනුනායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් සහ මහා විහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශවයේ අනුනායක, අතිපූජනීය වේඬරුවේ උපාලි අනුනාහිමිපාණන් වහන්සෙගේ වැඩමවීමෙන් විවෘත කෙරුණි.

මෙම පින්කම් මාලාව ඖෂධ පූජාවෙන් ආරම්භ වූ අතර ධර්ම දේශනා පිරිත් සජ්ඣායනාවලින් සමන්විත වීය. මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ හැට නමක් විෂයයෙහි සංඝගත දක්ෂිණාවක්, අඩු ආදායම්ලාභී පවුල් 500 ක් සඳහා වියළි ආහාර සලාක ලබා දීම ද, ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍යය භාණ්ඩ සහ වියළි ආහාර සලාක ද, ආබාධිත අය සඳහා රෝදපුටු අත්වාරු සහ පාසල් දරුවන් සඳහා පාසල් උපකරණ යනාදිය ද බෙදා දීම සිදු කෙරිණි.

තලාව කිරිමැටියාව හිඳෝගම ග්‍රාමයේ හා තලාව කොරකහ වැව 402 තුලාන යන ග්‍රාමයන් හි ජල පෙරණ යන්ත්‍ර දෙකක් සවි කොට දිළිඳු ජනතාව වෙනුවෙන් වියළි ආහාර ද්‍රව්‍ය ද බෙදා දීම සිදු කෙරිණ.

මෙම පින්කම් සංවිධාන කරනු ලැබුවේ බෞද්ධයා නාලිකාවේ වත්මන් සභාපති පූජනීය බොරලන්දේ වජිරඥාන නාහිමිපාණන් වහන්සේගේ අනුශාසකත්වයෙන් ය.