Print this Article


පහන් සිතක කවි

ස්ථිර සැපය

අටලෝ දහම හමුවේ නොසැලෙන මනසක්
සවිමත් කළ විට දි දැක ගත හැකි වෙනසක්
උදෙසා නිතර ගත යුතු වෙනවා වෙහෙසක්
අවසන ලැබේ නොවෙනස් ස්ථිර සැපතක්

****

බුදු සමිඳු

දෙව්ලොව තුසිත පුර දෙව්සැප විඳ නේක
නිම් නැති සුපින්බර දිවියක අවිවේක
ගතකොට කෙලෙස් සිඳ වෙසඟෙහි පෝ දාක
මනුලොව ඉපිද සම්බුදු බව ලැබු සේක

****

බක්මහ වරුණ

මල් පල බරව තුªරුලිය හිනැහෙන්නේ ය
සියොතුන් ගීත රැව් පිළිරැව් දෙන්නේ ය
මිහිකත තණ නිල්ල තව බැබළෙන්නේ ය
අවුරුදු කුමරිය හැඩ වැඩ වෙන්නේ ය

මී මැසි බමර පතුරයි ගුමු ගුමු නාදේ
මීදුම් පටල සේලේ තාලෙට වීදේ
සවනත ගැටේ පුදබිම ඝණ්ටා නාදේ
බොදු බැතියනගෙ හදවත පව් මළ සේදේ

බුදු හිමි දෙවැනි වර ලංකා ධරණි තලේ
මෙත් මල් කුසුම් වැසි වස්වා වැඩම කළේ
බක් මහ දිනෙක බව සනිටුහන් කළේ
සිත් සන්තොසින් නැහැවෙමි දම් අමා විලේ

චූලෝදර මහෝදර යුද බිමට පැන
සාමය සමාදානය කිරි උතුරවන
දිනයක් බවට පත් කළ බුදු සමිඳු ගුණ
ගඟුලේ වැතිර නමදින්නෙමි දෙදණ ඇන

****

බුදු සමිඳු වඩිනවා

මඟ දෙපස සුදුවතින්
විකසිතය මල් බෝම
පෙළ සැදී පුරුදු සේ
සාධු හඬ ගුවනැසේ

සියොතුන් රජතුන්
මුව උරඟ මලිත්තන්
සුදු මල් දෝතින්
සත්ව ගඟ ගලනවා

නිසල වන අරණෙ සැම
දිය දහර සැරසෙනා
සුගන්ධ වී බුදු කුටිය
මේ අරණෙ නිමවෙනා

මිහිරි හඬ ඇසෙනවා
තුරු ලතා වඳිනවා
මහ රහත් සමඟිනා
බුදු සමිඳු වඩිනවා
සිත් නිවී සැනසෙනා
දම් රසය දැනෙනවා

සසරෙ ගිනි දුරලනා
සත්ව සැම මුදවනා
මිහිරි දම් දෙසුමට
දහම් මඟ ගලනවා
සාධු නද මැද අපේ
බුදු සමිඳු වඩිනවා

****

රන්වැලි සෑරදුන් වඳිමි

දුටුගැමුණු මහරජ
කරවූ ලොව සුප තළ
බොදු දනගේ පින්කෙත
ස්වර්ණමාලි සෑ රද

රන්වැලි සෑ වඳිමි මෙමා
සුවඳැති මල් දමින් පුදා
පව් ඇති නම් වෙන්න සමා
රන්වැලි සෑ වැන්ද මෙමා

****

මෙතේ බුදුන් ළඟ ...

ලේ කිරි කර පොවා මගෙ කුසගිනි නිවු අම්මේ
උකුලේ හොවා නැළවිලි ගී කිවු අම්මේ
දහමක අගය මට වටහා දුන් අම්මේ
මෙතේ බුදුන් ළඟ නිවනට යනු අම්මේ

****

කියමු තුන් සරණේ

අවරගිය හිරු නැඟෙයි පෙරඹ’ර සමන්ගිර මුදුනේ
නිවී සනසා සිත් සදාලන උදා රිවි කිරණේ
නළල තබලා වඳිමු සිරිපා කමල හද බැතිනේ
පිහිට පතලා සමන් සුරිඳුගෙ කියමු තුන් සරණේ

****

මුනි සිරිපා පුදමු

නැඟ එන විටදි රන්හිරු රැස් කිරණ පබා
පේවී සිසිල් ජලයෙන් නා සිරුර ඔබා
තෙදබල සමන් දෙවිඳුගෙ නිති පිහිට ලබා
මුනි සිරිපා කමල නමදිමු! නළල තබා

බිඳහැර ජාති කුල මල සිත්සතන් තුළ
කරුණාවයි කියා හඬ දෙන සවන් තල
නමදින මුනිඳු සිරිපද ලස කලින් කල
එය මහ පිනකි මතු දැක්මට නිවන් ඵල

****

ආසිරි පතමි

ගුරු පියතුමකි මුල්තැන ගන්නා සඳය
තරු රැස බැබළෙනව ගුරුහිමි සඳ වටය
ඒ තරු රැසින් සුබ පතනවා මේ සමය
දිගුසිරි පතමි හැත්තෑ නවවැනි දිවිය

ජන්මය ලබා හැත්තෑ නව වැනි වසරක් ගත වූවා
කළ මහ මෙහෙවරත් රට ලෝකය ජාතිය ගාවා
දකිනා කෙනකුගේ සිත සතුටින් පිරවුවා
මාහරගම පියරතන නාහිමි වැජඹේවා

****

නිවුණු සිතකට

සැනහුණු නිවුණු සිතක් පහළ වන්නට
සියලු සත්වයන් හට පිළිපදින්නට
දහමක් දෙසා ඇත අප සැමට
අහුවෙන්න එපා වෙන අයගේ පටු අරමුණට