Print this Article


සසුන් කෙත පොබකළ පින්බර යතිරුවන ලීකොලපිටියේ ධම්මරතන නා හිමි

සසුන් කෙත පොබකළ පින්බර යතිරුවන ලීකොලපිටියේ ධම්මරතන නා හිමි

නිකවැරටිය වදුරැස්ස ශ්‍රි පොත්ගුල් විහාරය, අඹාලේ ශ්‍රී බෝධිරුක්ඛාරාමය, කළුතර දොඩන්ගොඩ ශ්‍රී සීලරතනාරාමය යන විහාරයන්හි අධිපති ලීකොලපිටියේ ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සද්ධර්ම කිර්ති ශ්‍රී ජිනරතන යන ගෞරව ශ්‍රී නාමය සහිතව වන්නි දෙමළ හත්පත්තු දෙකේ ද්විතීය සංඝනායක පදවියෙන් පිදුම් ලැබූහ.

නිකවැරටිය රස්නායකපුර ලීකොලපිටිය නම් වූ ස්වභාව සෞන්දර්යයෙන් පිරි ගමේ උපත ලැබුහ. ආර්.ඇම්. ඩිංගිරි බණ්ඩා පියාණන් වූ අතර ඩබ්ලිව්.බී සෝමාවති මෑණියන් විය.

1981 මැයි මස 18 වැනි දින මහනුවර මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දි අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශිලයෙහි පිහිටවූහ.

ධම්මරතන නාහිමි ශාසනික වශයෙන් ද, සාමාජිය වශයෙන් ද විශාල සේවාවක් සිදු කරන භික්ෂුන් වහන්සේ නමකි. ඒ අතර නිකවැරටිය කොටවෙහෙර රෝහලේ ප්‍රධාන අනුශාසක ධූරය දැරීම, නිකවැරටිය ශ්‍යාම නිකායික භික්ෂු සංගමයේ උප සභාපති ධූරය දැරීම, නිකවැරටිය කොට්ඨාශයේ සිවිල් ආරක්ෂක කමිටුවේ අනුශාසක ධුරය දැරිම. උන්වහන්සේ සිදු කරන සේවාවන් අතර කිහිපයක් වන්නාහ. නිකවැරටිය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති ධූරය ද දිගු කාලයක් හෙබවූ උන්වහන්සේ තපෝ වෘද්ධ, ශීල වෘද්ධ ගුණ වෘද්ධ සංඝ පීතෘ වරයාණන් වහන්සේ නමකි. උන්වහන්සේ උදෙසා පිරිනමන ලද නායක පදවියේ ශ්‍රී සන්නස්පත්‍ර ප්‍රදානොත්ස්වය 2023.04.21 වැනි සිකුරාදා දින ප:ව: 2.00 ට මල්වතු මහා විහාරයේ දී තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පින්බර දෝතින් පිරිනැමෙන්නාහ. අභිනව නායක ස්වාමිපාදයන් වහන්සේ පිළිගැනීමේ මහෝත්සවය 23 ඉරිදා ප:ව: 3.00 ට නිකවැරටිය නගර ශාලාවේ දී සිදු කෙරේ.

අභිනව නායක පදවිවෙන් පිදුම් ලබන ලීකොලපිටියේ ධම්මරතනාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තව බොහෝ කලක් ශාසනික සේවාවක් සිදු කිරිමට චිර ජිවනය ප්‍රාර්ථනා කර සිටිමි.