Print this Article


ව්‍යක්ත විශාරද ධර්ම විනයධර වංගියකුඹුරේ ඛේමානන්ද මහ නා හිමියෝ

ව්‍යක්ත විශාරද ධර්ම විනයධර වංගියකුඹුරේ ඛේමානන්ද මහ නා හිමියෝ

ව්‍යක්ත, විශාරද, ධර්මධර, විනයධර, සිල්වත් ගුණයෙන් පිරි, ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනය හෙබ වූ අතිසම්භාවනීය සංඝ පීතෘන් වහන්සේ නමක් ලෙස ඌව උඩුකිඳ අමරපුර මහා නිකායේ මහානායක ධුරය හෙබ වූ රාජකීය පණ්ඩිත වංගියකුඹුරේ ඛේමානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ මෙහි කතා නායකයා වෙති.

1920ක් වූ දෙසැම්බර් මස 28 වැනි දින උපත ලද කුල කුමරුවා මාපා මුදියන්සේලාගේ උක්කුබණ්ඩා නම් විය. පින්වත් කුල කුමරුවාණෝ වංගියකුඹුර ද්විභාෂා මිශ්‍ර පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලබා පූර්වකෘත පුණ්‍ය සම්පත්තියේ මහිමයේ බලයෙන් එවකට වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාමාධිපතිව වැඩවිසූ බොරලන්දේ ධම්මාලංකාර මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1934 ජනවාරි මස පළමුවන දින වංගියකුඹුරේ ඛේමානන්ද හිමි නමින් ප්‍රවෘජ්‍යාභූමියට පත් වූහ.

මාතර කෝට්ටගොඩ සෞගතෝදය පිරිවෙනට 1935 දී ඇතුළත් ව රාජකීය පණ්ඩිත කහදාමෝදර ශ්‍රී චන්ද්‍රකීර්ති පියරතන මහ නාහිමිපාණන් වහන්සේ ඇසුරෙන් සිංහල, පාලි, සංස්කෘත, ඉතිහාසය, පුරාවිද්‍යාව, ශිලාලිපි, ඡනෝලංකාර සහ තර්කන්‍යාය ආදී භාෂා ශාස්ත්‍ර මැනවින් හදාරා 1941 දී ප්‍රාචීන භාෂෝපකාර සමාගම මඟින් පවත්වන්නට යෙදුණු ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයට පෙනී සිට ඉන් විශිෂ්ට සාමාර්ථය ද, 1943 දී ප්‍රාචීන මධ්‍යම ද, 1945 දී ප්‍රාචීන අවසාන ආදී විභාගයන්ගෙන් ද ත්‍යාග සහිතව ගෞරව සාමාර්ථය හිමි කර ගත්හ.

1941 ජූනි මස 26 වෙනි දින වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථ විශුද්ධ බද්ධ සීමාමාලකයේ දී, ඌව අමරපුර නිකායේ මහානායක අතිපූජ්‍ය මාවුස්සාගොල්ලේ සිරි රතනපාලාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපාධ්‍යායව බොරලන්දේ ධම්මාලංකාර සහ උඩුකිඳ අමරපුර නිකායේ මහානායක ධුරන්ධර සිරිසද්ධම්මවංසපාල තුප්පිටියේ ධම්මජෝති යන දෙනම වහන්සේලාගේ ආචාර්යත්වයෙන් සුපරිශුද්ධ අධිශීල සංඛ්‍යාත උපසම්පදා භූමියට පත්වූහ. උඩුහාවල පියතිස්ස, බෝගහකුඹුරේ ධම්මාලෝක හා ඇකිරියේ පියරතන යන යතිවරයන් වහන්සේ වංගියකුඹුරේ ඛේමානන්ද හිමියන්ගේ කර්මාචාර්යයන් වහන්සේ වූහ.

පිරිවෙන් අධ්‍යාපනයෙන් සමුගෙන 1951 දී ස්වකීය විහාරස්ථානය වන වංගියකුඹුර ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයට වැඩම කොට විහාරාධිපතිත්වය භාරගෙන කටයුතු කරමින් සිටින අතරතුර, ගෞරවාර්හ රාජකීය පණ්ඩිත පහමුණුතොට සුධම්මානන්ද පරිවේණාධිපතීන් වහන්සේ යටතේ පන්නලවෙල බ/විද්‍යා ප්‍රදීප පිරිවෙන් ආචාර්ය ධුරය ද, පරිවේණාධිපති ධුරය ද, දරා ශාසනික පැවිදි අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට උත්සුකව කටයුතු සිදු කළහ.

එපමණක් ද නොව කන්දේපුහුල්පොල ගමට ශ්‍රී පුෂ්පාරාමය නමින් නව විහාරස්ථානයක් සහ සමූපකාර වෙළෙඳසැලක් ද, තැපැල් හලක් ද ලබාදීමට උන්වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කර ඇත. එසේම ඌව උඩුකිඳ අමරපුර මහා නිකායේ විනය සෝභනී කාරක සංඝ සභාවේ සභික ධුරයෙන් ද, 1974 මාර්තු 15 වන දින “සද්ධර්ම භාරතීෂ්වර සද්ධර්මාලංකාර වංසාවතංශ” යන ගෞරවෝපාධියෙන් හා තෙරසම්මුතියෙන් යුක්තව අනුනායක ධුරයෙන් ද පිදුම් ලැබූහ. තවද 1992 දෙසැම්බර් මස 27 වන දින දී ඌව පළාත් සභාව මඟින් පිරිනැමූ “ඌව විද්වත් සම්මානයෙන්” ද අප කතානායකයාණෝ පිදුම් ලැබූහ.

රාජකීය පණ්ඩිත බෝකන්ඔරුවේ ඥානානන්දාභිධාන උඩුකිඳ අමරපුර මහා නිකායේ මහානායක මා හිමියන් අපවත් වීමෙන් පසු 1988 පෙබරවාරි 02 දින තත් නිකායේ මහානායක ධුරයෙන් ගරු සම්භාවනාවට පාත්‍ර වූහ.

මෙලෙස ප්‍රදේශයට පමණක් නොව මුළු මහත් බෞද්ධ ලෝකයාගේ ම හිතසුව පිණිස උදාර සේවාවන් රැසක් සිදු කළ අප මහානායක මාහිමිපාණන් වහන්සේ සියලු සසර දම් අනියත බව ප්‍රකට කරමින් 2000 අප්‍රේල් මස 15 වන දින අපවත් වී වදාළේ සිය සිසු පිරිස ද, දායක ප්‍රජාව ද, ශෝකාර්ණවයෙහි නිමග්න කරවමිනි.

සිරි සුගතශාසනවංසපාල ධම්මාලංකාර රාජකීය පණ්ඩිත මහෝපාධ්‍යාය වංගියකුඹුරේ ශ්‍රී ඛේමානන්දාභිධාන අප මහනායක මා හිමිපාණන් වහන්සේට උතුම් නිවන්සුව ලැබේවා.