Print this Article


නිරෝගිමත් සඟ පරපුරක් සඳහා සෞඛ්‍යහිතකාමී දානයක් දෙන්න

නිරෝගිමත් සඟ පරපුරක් සඳහා සෞඛ්‍යහිතකාමී දානයක් දෙන්න

වාරියපොල, කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරි, නේපාලයේ ලුම්බිණි නුවර ශ්‍රී ලංකා මහා විහාරයේ විහාරාධිපති, විචිත්‍රභාණී ආචාර්ය ගල්ලැහැපිටියේ පේමරතන හිමි

බෞද්ධයන් ලෙස අපි දන්දීමට කැමැතියි. මරණයක් සිදු වූ විට හත් දවසේ, තුන්මාසේ දානය දෙන්නට කිසිවකු අතපසු කරන්නේ නැහැ. ඒ වගේම ඇතැමුන් අවුරුදු පතා දන් දෙනවා.මාසිකව ගමේ පන්සලේ වැඩ සිටින ස්වාමින් වහන්සේට දානය පූජා කරනවා.

වැඩිදෙනෙක් කරන්නන් වාලේ කළත් දානයක් පිරිනැමීමේ නියම අරුත සහ කුසල් සිදුවන අයුරින් දානයක් දෙන්නේ කෙසේද? ඒ සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වෙන්නේ කෙසේද? සෞඛ්‍යාරක්ෂිත දානයක් පිළියෙළ කරන්නේ කෙසේද? යන්න ගැන වර්තමානයේ බොහෝ දෙනකුට අවබෝධයක් නැහැ. ඒ පිළිබඳ කළ සාකච්ඡාවකි මේ.

ස්වාමීන් වහන්ස, කුසල් සිදුවන අයුරින් දානයක් පූජා කිරීමේ දී ඒ සඳහා ආධ්‍යාත්මිකව සූදානම් වීම අවශ්‍යයි නේද?

දානය යනු දීමයි. බෝධිසත්වවරුන් බුදුවීම සඳහා පාරමීදම් පිරීමේ දී පළමුව සම්පූර්ණ කරන්නේ දාන පාරමිතාවයි.

මෙයට ආහාරපාන, ඇඳුම් පැළඳුම්, පොත්පත්, ගෙවල් දොරවල් ආදී ඕනෑම දෙයක් අයත් වෙනවා. මෙවැනි දන්දීම් බුදුදහමේ දැක්වෙන්නේ ආමිස දානය ලෙසයි. මේ හැරුණු විට ධර්ම දානය, අභය දානය ලෙසින් ද දානයේ තවත් ප්‍රභේද දැක්වෙනවා. නමුත් අපි මෙහිදී සාංඝික දානය පිළිබඳ විමසා බලමු.

සාංඝික දානයක් කරන්නන් වාලේ කිරීමේන් ඵලක් නැහැ. ඒ සඳහා කරුණු තුනක් සම්පූර්ණ කරන්නට අවශ්‍යයි. ඒ ශ්‍රද්ධා සම්පත්තිය, චිත්ත සම්පත්තිය සහ දෙස්‍ය ධර්ම සම්පත්තියයි.

ශ්‍රද්ධා සම්පත්තිය – තෙරුවන් කෙරෙහි අතිශය පැහැදීමෙන් දානය පිරිනැමීම

චිත්ත සම්පත්තිය – සිත පහදාගෙන දන් දීමයි. එනම් ලෝභ,ද්වේෂ, මෝහ යන කරුණු දුරු කරගෙන දන් පිරිනැමීමයි.

දෙස්‍ය ධර්ම සම්පත්තිය – තමන් විසින් අනුන්ගේ දෙයක් කඩා වඩාගෙන හෝ පැහැර ගැනීමකින් තොරව දැහැමින් දහඩිය මහන්සියෙන් උපයාගත් දෙයකින් දන් දීමයි.

මේ අනුව අප දානයක් දෙනවා නම් ඒ සඳහා යම් ආධ්‍යාත්මික සූදානම්වීමක් අවශ්‍ය බව පැහැදිලි වෙනවා. එහෙම නම් දානය පිරිනැමීම කළ යුතු බවට නිවසේ සාමාජිකයන් සමඟ එක්ව තීරණය කළ අවස්ථාවේ සිට අඩුමගානේ පන්සිල් පද පහවත් ආරක්ෂා කර ගන්නට උත්සාහ ගන්නට ඕනේ.

දානයට ආරාධනා කිරීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙත් තිබෙනවා ද ?

සාංඝික දානයක් පිරිනැමීමේ දී දානය පිළිගැන්වීමට බලාපොරොත්තුවන පන්සලේ නායක හාමුදුරුවෝ, පණ්ඩිත හාමුදුරුවෝ මුණගැහිලා දැහැත් වට්ටියක් පූජාකර ආරාධනා කරන්නට ඕනෑ. එහිදී අපි ආරාධනා කරන්නේ අතීතයේ වැඩි සිටි, වර්තමානයේ වැඩ වෙසෙන, අනාගතයේ වැඩ සිටින තුන් කාලයට ම අයත් සංඝයාට වහන්සේටයි. එහෙම නොකර දුවගේ පන්තියේ හාමුදුරුවෝ, පුතාගේ පාසලේ හාමුදුරුවෝ, බබා ලැබෙන්න කලින් පිරිත් කියපු හාමුදුරුවෝ ආදී වශයෙන් පුද්ගලික අභිමතාර්ථයන් අනුව දානයට ආරාධනා කිරීම සුදුසු නැහැ.

මේ හැරුණු විට ප්‍රතිග්‍රාහක සම්පත්තිය එනම් දානය පිළිගන්නා සංඝරත්නය පිළිබඳ සැලකීමේ දී හත් නමකට හෝ දහ නමකට ආරාධනා කිරීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

අද ඇතැම් පිරිස් දානයට වැඩම කරන හාමුදුරුවරු පෙරහරකින් කිලෝමීටර් භාගයක් පමණ ගිනි අව්වේ පයින් වඩමවනවා. එහෙම අවශ්‍ය නැහැ. ගෙදර මිදුලට වැඩම කළ පසුව බොහොම ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ගෞරවයෙන් දෙපා සෝදන්න. ඒක ගෙදර අය කරන්න. මහන්සියෙන් වඩින හාමුදුරුවන්ගේ පා තෙමෙන්නට අත්දෙකෙන් වතුර දාල පිහදාලා හැකි නම් පාවඩයක් මත වඩමවන්න. ඉන්පසුව ආසනවල වඩා හිඳුවන්න. පුරාණ කාලයේ නම් බිම කොට්ටදාලා ඉඳගත්තේ. නමුත් දණහිස් අමාරු තියෙන වයසක ස්වාමීන් වහන්සේට ඉඳගත්තොත් නැඟිටින්න බැහැ. ඒ නිසා උස් ආසනයක වඩා හිඳුවන්න. එයයි උත්තරීතර පිළිගැනීම

දානය පිළිගැන්වීමේ දී භික්ෂූන් වහන්සේට ගෞරවය පිරිනැමෙන ලෙස එය සිදුකරන්නේ කෙසේ ද ?

දන්දීමේ දී සැලකිලිමත් විය යුතු තවත් කරුණු කිහිපයක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දී තිබෙනවා. මනා ලෙස සකස් කර දානය පූජා කිරීම, ගෞරව සම්ප්‍රයුක්තව දානය පූජා කිරීම, අහක නොදමන දෙයක් දන්දීම, කර්ම කර්මඵල විශ්වාසයෙන් යුතුව දන් දීම.

අද සිදුකෙරෙන දානමය පින්කම්වල මේ කරුණුූ සම්පූර්ණ ද කියන එක ගැටලුවක්. අද සමාජයේ දානය ප්‍රදර්ශනාත්මක දෙයක් බවට පත් වෙලා. එදා විශාඛා උපාසිකාව සේවිකාවන් සමඟ කරටකර වෙහෙසෙමින් දානය පිළියෙළ කළා. ලස්සනට, පිළිවෙලට, පිරිසුදුව සකසා දුන්නා. තමන්ගේ අතින්ම දානය පූජා කළා. නමුත් අද කරඬුව වැඩමවන්නේ දන් ගෙදරට පිටින් ආව කෙනෙක්. පා සෝදන්නේ පිට නිවසක ළමයි දෙන්නෙක්. දන් පිළිගන්වන්නේ දානය උයපු අය නොවෙයි. දානය උයපු අම්මලා පිලිකන්නට යවලා දන් පිළිගන්වන්නේ කවුද? එදා දන් ගෙදරට ආව අමුත්තෝ. නියපොතු පාට කරල, ඇහිබැම ඇඳල, බෝරිච්චි හැට්ට ඇඳල ආව නෝනලා සහ එයාලගේ මහත්වරු, “මොනවද මේ බෙදන්නේ කියලා ඇහුවම “ස්වාමීන් වහන්ස මේව හරි ගුණයි, බිම්මල් කියනවා. වළඳනකොට කරවිල බැදුම. මේ උදවිය දන්නේ නැහැ දානයට මොනවද පිළියෙල කළේ කියලවත්

ස්වාමීන් වහන්සේ සඳහා සෞඛ්‍ය සුරැකෙන දන්වේලක් පිරිනැමීමත් අත්‍යවශ්‍යයි නේ ද?

මහා සංඝරත්නයේ සෞඛ්‍ය ගැන හිතලා දන් පිරිනැමීම ඉතාම හොඳයි. ඒ මොකද ස්වාමීන් වහන්සේලා බහුතරයක් දැන් රෝගීන් බවට පත් වෙලා ඉන්නේ.

තෙල්, ලුණු, සීනි අධික ආහාර මෙන්ම පිටි සහිත ආහාර සීමාව ඉක්මවා ගැනීම වගේම ක්‍රියාශීලි නොවන ජීවන රටාවක් ගත කිරීම නිසා බෝ නොවන රෝග වැළඳීමේ ප්‍රවනතාව වැඩි බව වෛද්‍යවරු පවසනවා. අපේ ස්වාමින් වහන්සේ හීල් දානය සහ දහවල් දානය පමණයි වළඳන්නේ. අපේ දායකයෝ බොහොම රසවත්ව විවිධ කෑම වර්ග හදල පිළිගන්වනවා. ඒක බොහොම ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඒත් තෙල්, සීනි, සහ ලුණු වැඩිපුර යොදා රසගන්වන ලද ආහාර වැඩිපුර අනුභවය උන්වහන්සේගේ නීරෝගී භාවයට තර්ජනයක්. වැඩිහිටි මෙන්ම තරුණ භික්ෂූන් වහන්සේ දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනයට ගොදුරු වෙමින් පැවතීම මේ තත්ත්වයට හොඳම සාධකයක්.

මේ නිසා බුදුසරණ පුවත්පත මඟින් වටිනාම සංකල්පයක් හදන්න නිරෝගිමත් සඟ පරපුරක් වෙනුවෙන් දානය පිරිනැමීමට කාබනික පොහොර යෙදූ ගෙවත්තක් සාදා ගැනීමට. ගම් පළාත්වල මේ ක්‍රමය දැනටමත් ක්‍රියාත්මකයි. ස්වාමීන් වහන්සේට ගුණ අල වර්ග, බතල, මඤ්ඤොක්කා , පලා වර්ග, පලතුරු වර්ග මේ ගෙවත්තේ හදාගන්න පුළුවන්. මේ ආහාර ඉතාම ගුණදායකයි. නමුත් දැන් මේවා පූජා කිරීම මදිකමක් කියලා සිතනවා. ඒ වගේම පලතුරු පිළිගන්වන විට කැබලිවලට කපලා ඒ වෙලාවේ වළඳන්න පුළුවන් විදියට පූජා කරන්න. ප්ලාස්ටික් වට්ටියට දාල ඉටි කොළයෙන් වැසූ පලතුරු කූඩ පූජා කරන්න එපා. ඒක තායිලන්ත ක්‍රමය . අපට ඒවා ගැලපෙන්නේ නෑ. ඒ වගේම නිර්මාංශ දන්වේලක් යන සංකල්පයෙන් බැහැර වෙන්න. ස්වාමින් වහන්සේලා කැමති අය නිර්මාංශ වෙයි. අකැමැති අය මස් මාංශ වළඳයි.

වර්තමානයේ සාංඝික දානයේ මුවාවෙන් සිදුකෙරෙන ආහාර නාස්තිය ගැනත් කතා කළ යුතුමයි. බත් ඇටයක්වත් විසිකිරීම අවාසනාවක්, සාපයක්. ස්වාමින් වහන්සේගෙන් මම නමස්කාර පෙරටුව ඉල්ලන්නේ වළඳන්න පුළුවන් ප්‍රමාණය පිළිගන්න. ඒ වගේම දායක පින්වතුනුත් ස්වාමින් වහන්සේ අත වැහුවොත් පිළිගන්වන්න එපා.

පිරිකර පූජා කිරීමේ දී ඊට වටිනාකමක් දිය යුතුයි නේද?

අද ඇතැම් අටපිරිකරවල ප්‍රමිතියක් නැහැ. ඒ නිසා මම දායක පින්වතුන්ගෙන් ඉල්ලීමක් කරනවා, දානයට පෙර පන්සලට ගිහින් ස්වාමීන් වහන්සේගෙන් අහන්න පිරිකරවලට මේ වෙලාවේ ලොකු මුදලක් වියදම් කරන්න අමාරුයි. මේ වගේ මුදලක් නම් වියදම් කරන්න පුළුවන්. ඒ සඳහා සුදුසු මොනවාද? කියලා. එහෙම නැතිනම් කියන්න ස්වාමීන් වහන්ස, මම මුදල් දෙන්නම් ගැළපෙන පිරිකරක් ගෙනත් දෙන්න කියලා. මේ ආකාරයට සාම්ප්‍රදායිකව පුංචි පිරිකරක් පූජා කරලා උන්වහන්සේගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් මුදල් කවරයක් පූජා කරන්න.

පිරිසුදු චේතනා ඇතිව සංඝයා වහන්සේ උදෙසා ඉහතින් සඳහන් කළ ආකාරයෙන් දානය දුන්නොත් කල්ප සිය දහස් ගණනක් සැප විපාක ලැබෙනවා. දෙවියන් අතර, ශ්‍රේෂ්ඨ දෙවියකු වීමට, මිනිසුන් අතර, ශ්‍රේෂ්ඨ මිනිසකු වීමට, සමාජ සම්භාවනාවට ලක්වීමට, නිරෝගිමත් පූර්ණ ආයුෂයක් වින්දනය කිරීමට හැකි වෙනවා. ශ්‍රද්ධාවෙන් දන් දීපු අය කවදාවත් සතර අපායට වැටෙන්නේ නැහැ. සශ්‍රීක දිව්‍ය තලයක ම උප්පත්තිය ලබනවා.