Print this Article


අලුත් අවුරුද්ද සිල්වත් ව සමරමු

අලුත් අවුරුද්ද සිල්වත් ව සමරමු

බක් මාසය යනු දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ටත් සුවිශේෂී මාසයකි. සිංහල බෞද්ධයන්ට පමණක් නොව දමිළ හින්දු භක්තිකයන්ටත් සුවිශේෂී මාසයකි. සිංහල ජාතියත්, හින්දු ආගමත් එක් කොට “සිංහල හින්දු” අලුත් අවුරුද්ද යනුවෙන් අපි ව්‍යවහාර කරමු. ඒ අනුව සිංහල, දමිළ ජාතිභේදයකින්, ආගම් භේදයකින් තොරව සමරන එක ම උත්සවයත් මෙයයි.

අලුත් අවුරුදු චාරිත්‍ර අනුව කටයුතු කිරීමට ලංකාවාසීහු පුරුදුව සිටිති. දරුවෝ අලුත් අවුරුද්ද උදාවන තුරු බලා සිටින්නේ විනෝද වීමටයි. කොතරම් කම්කටොලු තිබුණත්, කොතරම් අසරණකම් තිබුණත් දරුවකුට අලුත් ඇඳුමක් අරන් දීමට මවුපියෝ අමතක නොකරති.

දරුවෝ අවුරුදු උත්සවවලට සහාභාගී වීමට, නෑදැයින් බැලීමට, සෙල්ලම් කිරීමට මෙන් ම අලුත් අවුරුද්දේ රස කැවිලි කෑමට ආසාවෙන් බලා සිටිති.

පාසල් නිවාඩුවේ දරුවන්ගේ එක ම බලාපොරොත්තුව සතුටින් විනෝදයෙන් සිටීමයි. එහෙත් අද මවුපියෝ දරුවන්ට විනෝදවීමට ඉඩදෙනවා ද යන්න ගැටලුවකි. මවුපියෝ දරුවන් උපකාරක පන්තිවලට යවමින් හෝ අන්තර් ජාලය ඔස්සේ පන්ති කරමින් දරුවන්ගේ ළමා කාලයේ සතුට අහිමි කරන බව පෙනේ.

අලුත් අවුරුද්දේ පුණ්‍ය කාලය යනු ආගමික වතාවත්වලට මුල්තැනක් දී කටයුතු කරන වේලාවයි. නැකතට ලිප ගිනි මොළවා ආහාර අනුභවයට ප්‍රථම තෙරුවන් වන්දනා කිරීම, ආගම සිහිකර හිසතෙල් ගෑම වැනි චාරිත්‍ර ඉටු කිරීම මෙන් ම තාමගේ ආදරණීය මවුපියන් වැඩිහිටියන් බැලීමට තෑගිබෝග රැගෙන යාම මෙන් ම පරණ අමනාපකම් ආදිය අමතක කිරීමත් අලුත් අවුරුද්දේ කරන කොතරම් වටිනා කටයුතු ද යන්න අමුතුවෙන් සිහිකළ යුතු නොවේ. එහෙත් සමහරු මේ වටිනා අවුරුද්ද මත්වතුරෙන්, සූදුවෙන් විනාශ කර ගන්නා බවක් ද පෙනෙන්නට ඇත. එසේ නොකර සිල්වත්ව මේ සිංහල හින්දු අලුත් අවුරුද්ද ගත කිරීමට අපි අදිටන් කර ගනිමු.