Print this Article


දාසියකගේ මෙත් සිත

දාසියකගේ මෙත් සිත

උරුවෙල් දනව්වෙහි ගයා ප්‍රදේශයේ බමුණු නිවසක එක්තරා දාසියක් වාසය කළා ය. බමුණාගේ ලේලිය එම දාසිය කෙරෙහි කිසිදු අනුකම්පාවක් නො දැක්වුවා ය. නැති වරද පවා ඇති කරගෙන එම දාසියගේ කෙස් වැටියෙන් අල්ලාගෙන නිතර පහර දුන්නා ය. එම තාඩන පීඩන ඉවසිය නොහැකි වූ දාසිය සිය කෙස් වැටිය කප්පවා දැමුවා ය. එයින් එම කාන්තාව දාසිය කෙරෙහි තවත් කිපුණා ය. එතැන් පටන් දාසියගේ ගෙලෙහි රැහැන් පටක් බැඳ එයින් අල්ලාගෙන පහර දෙන්නට පටන් ගත්තා ය. දාසියගේ ගෙලෙහි මාලයක් මෙන් රජ්ජුවක් බැඳ තිබුණ නිසා ඕ එතැන් පටන් රජ්ජුමාලා නමින් ප්‍රසිද්ධ විය. මෙම හේතුව නිසා ඇය මානසිකව ද දැඩිව පීඩා වින්ඳා ය.

ජීවිතය පවා එපා විය. දිනක් දිය ගෙන එන්නට යන්නා සේ ලණුවක් ද රැගෙන නිවසින් නික්ම, අසල වූ වන රොදට ගියා ය. ලණුව ගසක අත්තක බැඳ ගෙල වැළලාගෙන සියදිවි නසා ගැනීමට සූදානම් වූවා ය.

“රජ්ජුමාලා දුවණියනි, දිවි හානි කර නොගන්න

මාවෙතට එන්නැ” යි, කියනු ඇසිණි.

පුදුමයකි, මේ තරම් මිහිරි වදනින් කථා කරන්නේ කවුදැයි රජ්ජුමාලා වටපිට බැලුවා ය. අමුත්තකු ඒ අසල ගසක් මුල හිඳීනු ඕ දුටුවා ය. එම අමුත්තා නම් ඇය කෙරෙහි අනුකම්පාවෙන් එහි වැඩම කොට සිටි බුදුරජාණන් වහන්සේ ය. ඕ ගෞරවාදර පෙර දැරිව උන්වහන්සේ වෙත එළැඹ වැඳ එකත් පසෙක හිඳ ගත්තා ය. බුදුන් දෙසූ දහම් අසා ඕ සේවාන් වූවා ය.

රජ්ජුමාලාව තුළ මෛත්‍රී සහගත අදහස් පහළ වී ගියේ ය. තමාට තැළුම් පෙළුම් කළ ස්වාමි දුවට ද ඕ මෛත්‍රී කරන්නට වූවා ය. රජ්ජුමාලා කළයට පැන් පුරවා ගෙන නිවස බලා පිටත් වූවා ය. නිවසට පැමිණි ඇයගේ මුහුණ වෙනදා මෙන් නොව ඉතා ප්‍රසන්න ය. නිවසෙහි වැඩ පළ ද කඩිසරව කැමැත්තෙන් ම කරන්නට පටන් ගත්තා ය. ගෙදර ප්‍රධාන බමුණා එය දැක එබඳු වෙනසක් ඇති වීමට හේතුව ඇයගෙන් විචාළේ ය.

ස්වාමීනි, මම බුදුපියාණන් සරණ ගියෙමි. මින්පසු මට තැළුවත්, මා මැරුවත් මාගේ හිතේ කිසිදු අමනාපයක් උපදවා නො ගනිමි. මෛත්‍රී කරමි. මගෙන් සිදුවූ වරදක් ඇතොත් සමාව දෙනු මැනවැයි රජ්ජුමාලා කියා සිටියා ය. බමුණා ඇය කෙරෙහි පැහැදී ඉන් පසුව රජ්ජුමාලාට තලා පෙළා වැඩ නොගන්නා ලෙස තම බිරිඳට දැන්වීය. බමුණා රජ්ජුමාලාගෙන් බුදුරදුන්ගේ ගුණ අසා උන්වහන්සේ සිය නිවසට වැඩම කරවාගෙන දන් පිරිනැමීය. බුදුරජාණන් වහන්සේ දන් වළඳා දෙසූ දහම් අසා රජ්ජුමාලා ගැන සිතින්වත් අමනාපයක් උපදවා නො ගත්තා ය. බමුණා රජ්ජුමාලාව දාසි භාවයෙන් මුදවා දූ තනතුරෙහි තබා ගත්තා ය.