Print this Article


දරු සම්පත නිධානයක

දරු සම්පත නිධානයකි

දරුවන් පිළිබඳ ඉතා ශෝක ජනක පුවත් මේ දිනවල අසන්නට, දකින්නට ලැබෙයි. මෙවන් පුවත් අසන්නට අප පව් කළා යැයි සමහරු කියති.

මීනගයා දුම්රියෙහි වැසිකිළිය දින පහළොවක දරුවකුට වාසස්ථානය කළ දෙමව්පිය දෙපළකි.

කුඩම්මා දියණියට පරුෂ වචනයෙන් බණිමින් පහර දෙන දර්ශනයකි. මැද පෙරදිග සේවයේ නිරත තම අනියම් බිරිඳගෙන් මුදල් ගැනීමට ඇගේ කුඩා දරුවාට පහර දෙන පියෙකි. දරුවන් තුරුළු කරගෙන ළිඳට පැන්න මවකි. තම දරුවන් එල්ලා මරා තමනුත් එල්ලී මැරුණ පියෙකි. තම බිරිඳ දරුවන් එල්ලා මරා තමනුත් එල්ලී මැරුණ පියෙකි. මේ මාස කිහිපයක් තුළ අප ඇසු දුටු අමිහිරි පුවත් ය.

දරුවන්ට හිංසා පීඩා කිරීම, අපයෝජනයට ලක් කිරීම, දරුවන් මෙහෙකාර සේවයේ යෙදවීම, දරුවන් විවිධ අපරාධ ක්‍රියා සඳහා යොදා ගැනීම, දරුවන් මරා දැමීම අප රට පමණක් නොව ලෝකයේ සෑම රටකම සිදු වෙයි. නමුත් අප රට තුළ මෙය සුවිශේෂී වන්නේ අප බුදු දහම තුළින් සුපෝෂිත සංස්කෘතියකට හා සභ්‍යත්වයකට උරුමකම් කියන රටක් බැවිනි.

සම්බුදු දහම පුද්ගල වගකීම්, යුතුකම් මැනවින් ඉටු කළ දහමකි. ඒ දහමෙහි දර්ශනය තුළත්, ශාස්තෘ චරිතය තුළත්, ශ්‍රාවක චරිත තුළත් මේ සදහා සාක්ෂි එමට තිබේ.

සිද්ධාර්ථ කුමාරයා තම දරුවා දමා යාම සමහරු වරදවා තේරුම් ගනිති. “ රාහුලො ජාතො බන්ධනං ජාතං ” මෙය සමහරු වරදවා විවරණය කරති. රාහුලයෙක් උපන්නා බන්ධනයක් ඇති වුණා. එය අභිනිෂ්ක්‍රමණයට බාධාවක් ලෙස සමහරු සිතති. මෙය එවැන්නක් නොවේ. රාහුල කුමරු උපන් දා සිද්ධාර්ථ කුමරු වඩාත් සතුටු විය. එදින වෙනදාටත් වඩා උද්‍යානයෙහි දී විනෝද ක්‍රීඩාවන්හි යෙදිණි. ඊට හේතුව තමන්ට දාව දරුවකු උපන්නා වගේම අභිනිෂ්ක්‍රමණය නම් වූ තම ප්‍රාර්ථනාව ඉටු කර ගන්නටත් එය කදිම අවස්ථාවක් වීම ය.

සතර පෙර නිමිති දැක, නළඟනන්ගේ විප්‍රකාර දැක, නිබ්බුත පද අසා අභින්ෂ්ක්‍රමණය කරන්නට අවශ්‍යතාව තිබුණ ද තමා උපතින් ලද වගකීම එනම්, පිය රජතුමාගෙන් පසුව කිඹුල්වත් නුවර රජ වී ඒ පුරවැසියන් රඤ්ජනය කිරීම පැවතුණ නිසා අභිනිෂ්ක්‍රමණය සිදු නොවිණි. රාහුල කුමරා තුළින් ඒ සදහා බන්ධනයක් ගොඩනැඟිණි. තම පියා සුද්ධෝදන රජු තවම මහලු නැත. තම පියා මහලු වන කල රාහුල තරුණයෙකි. ඔහුට රාජ්‍ය ගෙන පාලනය කළ හැකි ය. එසේනම් තම වගකීම දැරීමට බන්ධනයක්, බැඳීමක් සිදු වීම සතුටකි. දැන් තමන්ට නිදහස් විය හැක. මේ හටගත් බන්ධනය එයයි.

උන්වහන්සේ මහාභිනිෂ්ක්‍රමණය කරනුයේ එක් රාහුලයකු කෙරෙහි කරුණාවෙන් නොව එවන් රාහුලලා සිය දහසකට කරුණා උල්පතක් වීම සඳහා ය.

උන්වහන්සේ බුදු බව ලබා ගැනීමෙන් අනතුරුව ඒ කටයුත්ත නිවැරැදිව ඉටු කළහ. සංයුක්ත නිකායේ දේවතා සංයුක්තයෙහි වත්තු සූත්‍රයේ දී උන්වහන්සේ හමුවට පැමිණෙන දෙවියකු ලොව මිනිසුනට වටිනාම වස්තුව කුමක් දැයි විමසයි.(කිංසු වත්තු මනුස්සානං) එවිට බුදු රජාණන් වහන්සේ ලබා දෙන පිළිතුර නම් “ පුත්තා වත්තු මනුස්සානං මිනිසුන්ට උදාර වස්තු වන්නේ පුත්‍රයන් බවයි. පුත්ත යන වචනය තුළින් අර්ථවත් වන්නේ දරුවන් යන්නයි. එම ප්‍රකාශය තුළ උන්වහන්සේ ලොවට ලබා දෙන පණිවුඩය නම් ලොව වෙසෙන මිනිසුන්ට අගනාම වස්තුව දරුවන් බවයි.

උන්වහන්සේ මංගල සූත්‍ර යේ දී දක්වන්නේ “ පුත්ත දාරස්ස සංගහො, අඹු දරුවන් පෝෂණය කිරීම, එතං මංගලමුත්තමං , උතුම් වූ මංගල කරුණකි.” මංගල කරුණු නම් ජීවිතයේ දියුණුව උදාකරන කරුණු වේ.

සිඟාලෝවාද සූත්‍රයෙහි දී උන්වහන්සේ අම්මා, තාත්තා බඹ ලොව වෙසෙන බඹුන් හා සමාන යැයි දක්වති. බඹුන් තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා යන උදාර ගුණ පවතී. ඔවුහු අසීමිතව එය ලොවට ප්‍රකාශ කරති. මව්පියන් ද තම දරුවන් කෙරෙහි මෙම ගුණ අසීමිතව ප්‍රකාශ කරන නිසා උන්වහන්සේ බඹුන්ට උපමා කරති. වරදින් මුදවා, හොද නරක කියා දී ඔවුන් යහපතෙහි යොමු කරවන නිසා ඔහුවු පුබ්බාචරියා - මුල්ම ගුරුවරු වෙති. අනෙක් සතුන් මෙන් නොව මිනිස් දරුවන් හැදිය යුතුයි. හැදෙන්නේ නැත. එය දෙමව්පියන්ගේ කාර්ය භාරයකි. වගකීමකි. යුතුකමකි.

වරදින් මිදවීම, යහපතෙහි යෙදවීම, ශිල්ප ශාස්ත්‍ර ලබා දීම, සුදුසු කල දේපළ පැවරීම, අවාහ විවාහ කටයුතු කර දීම මව්පියන්ගේ වගකීම බව උන්වහන්සේ දක්වති. අම්මා තාත්තා දරුවන් (ඛේමා) සුරක්ෂිත කිරීම, (අප්පටිභයා) නිර්භය කිරීම සිදු කළ යුතුයි. බුදු දහම පවුල දකින්නේ දරුවන් කේන්ද්‍ර කොට ගෙන ය. පවුලෙන් ඔවුන්ට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගුණ ලැබෙන නිසා පවුල “ සබ්‍රහ්ම කුල ” වේ. හොඳ, නරක කියා දෙන නිසා “ සපුබ්බාචරියක කුල” ලෙස ද, දරුවන් සුරක්ෂිත කරන නිසා “ සපුබ්බදෙව කුල” ලෙස ද, පෝෂණය කරන නිසා “ සාහුණෙය්‍යක කුල ” ලෙස ද පවුල හඳුන්වයි. මේ තත්ත්වය ගොඩ නැඟෙන්නට සද්ධා, ශිල, සුත, චාග, පඤ්ඤා යන ගුණයෙන් පවුල සුපෝෂිත විය යුතු බව දක්වයි.

දරු සෙනේ නැති අය යක්ෂණීන් ලෙසත්, දරු සෙනේ ඇති අය මව්පියන් ලෙසත් බුදු දහම දක්වයි. ධම්ම පදට්ඨ කථාවෙහි කාලි යක්ඛිණි කථා වස්තුවෙහි එක් කාන්තාවක් දරුවන් විනාශ කරයි. ඇය බවයෙන් බවයට විවිධ ආත්මයන් ලබා දරුවන් විනාශ කොට යක්ෂණියක්ව උපදී. දරුවන් විනාශ කරන අය යක්ෂණියන් වන බව මෙහි දක්වයි. උම්මග්ග ජාතකයෙහි ද දරු සෙනේ නැති අය යක්ෂණීන් බව පුත්‍ර ප්‍රශ්නයෙහි දී දක්වයි. මව්වරු දෙදෙනෙක් දරුවා තමන්ගේ යැයි රණ්ඩු කරති. මහෞෂධ පඩිතුමාට මෙම ගැටලුව විසඳා දරුවාගේ සැබෑ මව කවුරුන් දැයි සොයන්නට සිදුවිය. ඔහු මව්වරුන් දෙදෙනාට එක් අයකුට කකුල් දෙක ද, අනෙක් මවට අත් දෙක ද දී අදින්නට කියයි. ඇද ගත් අයට දරුවා දෙන බව කියයි. සැබෑ මව දරුවා අදින්නේ නැතිව අත හරී. අනෙක් මව තමා දෙසට ඇද ගනී. මේ පරික්ෂණයෙන් සැබෑ මව දරුවා අතහැරිය මව ලෙසත්, දරුවා ඇදගත් මව යක්ෂණියක ලෙසත් දක්වයි.

යක්ෂණියන් තුළ වුව ද දාරක ප්‍රේමය පවතින බව කියන කථාවකි පදමානවක ජාතකය. මව යක්ෂණියක් බවත්, පියා මනුෂ්‍යකු බවත් දැන ගන්නා පදමානවක කුමරු මව අතහැර යයි. එවිට මව වූ යක්ෂණිය තම පුතු කෙරෙහි අනුකම්පාවෙන් පියවර මැන සොරුන් ඇල්ලීමේ මන්ත්‍රයක් ඔහුට ලබා දෙයි.

බුදු රජාණන් වහන්සේ දරුවන්ට පිහිට වූ සේක. සද්ධර්මරත්නාවලියෙහි එන මට්ඨකුණ්ඩලි කථා වස්තුව තුළින් එය පැහැදිලි වෙයි. මසුරු අදින්න පුබ්බක නම් පියාගේ නොසැලකිල්ල නිසා පාණ්ඩු රෝගයෙන් මරණාසන්නව සිටි මට්ඨකුණ්ඩලීට තම රුව පෙනෙන්නට සලස්වා ඔහුට දිව්‍ය ලෝකයට යන්නට සැලැස් වීය. පෙර කර්මයක් විපාක දීම නිසා සොරුන්ගෙන් මැරුම් කන ඡත්ත මානවකට තෙරුවන් ගුණ උගන්වා එය ගායනා කරන මෙන් දැන්වීය. එහෙයින් ඔහු දෙව්ලොව උපන්නේ ය. සමාජ අසාධාරණය නිසා කුඩා අවදියේ දී ම වසුරු කද ඇද්ද සුනීතට ඔහු ළඟට ගොස් බණ කියා ඔහු පැවිදි කොට රහත් භාවය ලබන්නට සැලසීය. තම සුළු පියාගෙන් අතවර විඳ මළ මිනියක බැඳ සිටි සෝපාක එයින් මුදවා පැවිදි කොට ඔහුට රහත්භාවය ලබන්නට අවකාශ සැලසී ය.

සිය සොහොයුරා විසින් මහණකමින් එළවා දැමූ චුල්ලපන්ථක හාමුදුරුවන් කෙරෙහි කරුණාවෙන් ඔහු තම බුදු කුටියට රැගෙන විත් ඔහුට රෙදි කඩක් දී රජෝහරණං රජෝහරණං යැයි කියන්නට සලස්වා විමුක්තිය අත්පත් කර දුන්නාහ.

තම ලෙයින් මෙලොව බිහි වූ පුතු රාහුල කුමාරයා දයාද ඉල්ලා තමා පසු පසින් දිව එද්දි ඔහු විහාරයට රැගෙන ගොස් ශාසන දායාදය ලබා දී අර්හත්වයට පත් කළහ.

පැවිදි වීමට පෙර හටගත් දරු ගැබක් නිසා කුමාර කාශ්‍යප මෙලොව බිහි විණි. ඒ මෙහෙණියට ඒ දරුවා ප්‍රසූත කරන්නට අවස්ථාව දී ඔහු හදා වඩා ගන්නට රජුට පවරයි. ඔහු හැදී වැඩී ගිය පසු ඔහුට තම දිවි මඟ සරු කර ගන්නට බුදු මඟ පෙන්වයි. කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ නමින් ප්‍රකට වූයේ උන්වහන්සේ ය.

අලව් යකු දමනය කිරීම තුළින් ඔහුට බිලි වීමට සිටි දරුවකුට උන් වහන්සේ අභය දානය දුන් සේක. මේ අයුරින් දරුවන් කෙරෙහි කරුණාවෙන් බුදු රජාණන් වහන්සේ කටයුතු කළ අවස්ථා බොහෝ වෙයි.

බුදු දහම තුළ මෙවන් අගනාකම් රාශියක් දරුවන් සුරක්ෂිත කිරීමෙහි දී දක්නට ලැබෙයි. දරුවන් මේ ලොවට බිහි කරන්නේ අඹු සැමි දෙපළකි. ඔවුහු දරුවගේ මව්පියෝ වෙති. ජීව විද්‍යාත්මකව, මනෝ විද්‍යාත්මකව, සමාජ විද්‍යාත්මකව දරුවෝ දෙමාපියන්ට බැඳෙති. එය එසේ වුව ද කිසිම දරුවකුට හිංසා පීඩා කරන්නට, ඒ දරුවන් මරා දමන්නට කිසිම අම්මා කෙනකුට, තාත්තා කෙනකුට අයිතියක් නැත.

යම් රටක දරුවකු උපදී නම් ඔහු අයත් වන්නේ ඒ රටටයි. ඒ ජාතියටයි. ඒ නිසා ජාතියේ දරුවන් විනාශ කරන්නට කිසිවකුටත් අයිතියක් නැත. ජාතියේ දරුවන්, රටේ දරුවන් සුරක්ෂිත කිරීම ජාතියේ රටේ වගකීමයි. සෑම පුවැසියෙකුගේ ම වගකීමයි. මේ පිළිබද වටහා ගෙන අපි සැම දෙන අපේ දරුවන් සුරකිමු. ඒ අපේ අනාගතයයි.