[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

මැදින් අමාවක 2023-03-21

රැකවරණය තමන් සමීපයේ ම ය

බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වැඩ වෙසෙන සමයෙහි දුර බැහැර සිට උන්වහන්සේ දැක ගැනීමට භික්ෂූන් වහන්සේ වැඩමවති. ඒ භික්ෂූන් වහන්සේට අතර මඟ සැදැහැති නිවෙස්වලින් දානය පිළියෙළ වුණි. දිනක් භික්ෂුන් වහන්සේ එසේ වැඩම කරන අතර එක් නිවෙසක හදිසියේ ඇති වූ ගින්නකින් එහි පියස්සට ගිනි ඇවිළුණි. අහසට නැඟී ගිය ගිනි දැල්ලක් වැදී නිවෙසට ඉහළින් පියාසර කරමින් සිටි කපුටකු දැවී හළු වී ගියේ ය.

මේ සා දුර්ලභ දුක්ඛිත විපාකයට මුහුණ දෙන්නට මේ කපුටා පෙර බවයක බරපතළ අකුසල කර්මයක් කරන්නට ඇතැයි සිතූ භික්ෂුන් වහන්සේ මේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගෙන් විමසුහ. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පරිදි ඒ පාප කර්මය හා බැඳුණු කතාව මෙලෙස ය.

පෙර කලෙක ගොවියෙක් විය. දිනක් සිය කුඹුරේ සී සාමින් සිටින අතරේ එක් ගවයෙක් අලසව සිටිනු දුටුවේ ය. කොතෙක් උත්සාහ කළ ද ගවයා කඩිසර වන බවක් නොපෙනුණි. ගොවියා කෝපයට පත්විය. ගවයාට පහර දුන්නේ ය. එයින් ද නොනැවතී අසල කුඹුරකින් පිදුරු ගෙනැවිත් ගවයාගේ සිරුරෙහි ලා ගිනි තැබුවේ ය. ගවයා බොහෝ වේදනා විඳ මරණයට පත් වුණි. ගොවියා ද කලෙකින් මරණයට පත්වුණි. පාපයේ විපාකය බරපතළ ය. මරණින් මතු ඔහුට උරුම වුයේ නිරයයි. එහි බොහෝ කලක් අපමණ දුක්විඳ යළි කවුඩුව ඉපදී සියක් අත් බැව්හි ගින්නෙන් නැසුණි.

පාපයේ විපාකයට කවදා හෝ මුහුණ දිය යුතු ය. එයින් බේරිය හැකි කෙනෙක් නැත. පව් කම් කළ කෙනෙක් මෙලොව දීම, දිට්ඨ ධම්මවේදනීය ලෙස දුක්ඛිත විපාක ලබන අතර ම පරලොව දී ද එයින් ගැල වී ගත නොහී අපමණ වධ වේදනාවන්ට ලක් වන බව බෞද්ධයා හොඳින් දනී. විපාක එසේ බරපතළ වූවත් එය බරපතළ ලෙස හිතට නොගන්නා අය ද අපේ සමාජයේ දුර්ලභ නොවන බව නිරන්තරයෙන් ඇසෙන පෙනෙන සිදුවීම් සාක්ෂි දරයි. නොසැලකිල්ල හා මේ මොහොතේ පමණක් ලබන මායාකාරී සුවය හා සැපය ගැන පමණක් සිතීම ඊට හේතුවිය හැකි ය. එහෙත් අවසානය කඳුළ හා වේදනාව පමණ ය.

තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ යම් ක්‍රියාවක් කිරීමෙන් පසු එහි ඵලය කඳුළු පිරි මුහුණින් විඳින්නට සිදුවේ නම් එය නොකරන ලෙස ය. එහෙත් බොහෝ දෙනකුට ක්‍රියාවේ බරපතළකම හා තමන්ගේ අනුවණකම වැටහෙන්නේ විපාක ලැබෙන කල ය. එවිට ගිය නුවණ ඇතුන්ලවාවත් ඇද්ද විය නොහැකි ය. එහෙයිනි යමක් කියන්නට, කරන්නට පෙර හොඳින් සිතා බැලිය යුතු වන්නේ.

බෞද්ධයන් ලෙස අපි සම්බුදු රජාණන් වහන්සේ උදෙසා උදේ සවස නිවස තුළ බුදු පහන දල්වමු. තෙරුවන් සරණ යමින් පන්සිල් සමාදන් වෙමු. තමන්ට රැකවරණය දී අන්‍යයන් ද සුරකින පංච ශිලය ගිහියාගේ නිත්‍ය සීලයයි. ගැටුම් නිරාකරණයට, සාමකාමී ජීවන පැවැත්මට පදනම පංච ශිලයයි. බෞද්ධයන් අතර ඒ සිල්පද කටපාඩම් නොවන කුඩා දරුවකු හෝ නැත. ප්‍රශ්නය ජීවිතයට ප්‍රායෝගික කර නොගැනීම ය.

පෙර සඳහන් කළ ගොවියා ඒ සා දීර්ඝ කාලයක් නිරාදුක් වින්දේ. දුක්ඛිත මරණයන්ට මුහුණ දුන්නේ කෝපය නිසා සිදුකර ගත් පාපය නිසා ය. ඉවසීම නොවූ නිසා ය. ජීවත් වීම යනු ඉවසීම ම ය. ක්‍රෝධයෙන් සිත රත් වූ කළ අප කරන කියන දැයෙහි සැබෑව, හරි වැරැද්ද නොපෙනේ. එය ප්‍රාණඝාතයක් දක්වා වුව ද දුර දිග යා හැකි ය. අනුන්ගේ ජිවිතය උදුරා ගැනීම තුළම නිර්මාණය වන්නේ තමන්ගේ ජිවිතයේ අනාරක්ෂිත බව ය. එසේම අනුන්ගේ දේ සොරකම් නොකරන්නට, කාමය වරදවා හැසිරීමේ හැඟීම්, මත් ද්‍රව්‍ය මත්වතුර භාවිතයට පොළඹවන හැඟීම් මැඩ ගන්නට ඉවසීම තිබිය යුතු ය. අසත්‍ය පවසන්නට සිදුවන්නේ සත්‍ය ආරක්ෂා කර ගැනීමට ඉවසීම නොවන තැන ය.

නොඉවසීම සීමාව ඉක්ම වූ කල හිමිවන දුක්ඛිත තත්ත්වයට මුහුණ දිය යුතු තමන් ම බව දැන දහමට අනුව ජිවීතය සකසා ගත යුතු ය.

මැදින් අමාවක

මාර්තු 21 අඟහරුවාදා
පූ.භා. 01.50 න් අමාවක ලබා එදිනම අ.භා. 10.57 න් ගෙවේ.
21 අඟහරුවාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

 

 

 

 

 

 

 

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]