Print this Article


සප්පක ස්ථවිර ගාථා

යම් කලෙක පිරිසුදු සුදුපාට පියාපත් ඇති කෙකින්න කළු පැහැති වැහි වලාකුළට බියෙන් තැතිගත්තී තමා වසන තැන් සොයා යන්නී ද, එකල්හි අජකරණී නදිය මා සතුටු කරයි.

යම් කලෙක පිරිසුදු සුදුපාට පියාපත් ඇති කෙකින්න කළු පැහැති වලාකුළට බියෙන් තැතිගත්තී සැඟවී සිටීමට තැනක් නැතිව එබඳු තැන් සොයන්නී ද, එකල අජකරණී නදිය මා සතුටු කරයි.

එහි මාගේ ලෙන පිටිපස දඹගස් ගංඉවුරු දෙපස අලංකාර කරයි. ඒ දඹගස් කවරකුගේ සිත් නොපිනවා ද?

සර්ප සමූහයාගෙන් මැනවින් මිදුණ මැඩියෝ ඒ ස්ථානයෙහි ගැඹුරු හඬින් නාද කරති. දැන් පර්වත හා ගංගාවලින් ඈත් විය යුතු කාලයක් නොවේ. බියක් නැති යහපත් අජකරණී නදිය අතිශයින් ම සිත්කලු වෙයි.

මෙසේ සප්පක ස්ථවිරයන් වහන්සේ වදාළහ.