[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

අපා දුක් ගිනි විඳින සත්වයන් එකම අපායක නැවත ඉපදෙන හැටි

අපා දුක් ගිනි විඳින සත්වයන් එකම අපායක නැවත ඉපදෙන හැටි

උපන් නිශ්චල සත්ත්වයෝ තල් ගසක් පමණ වූ දිලිසෙන යකඩ උලක් මත හොබවති. යට පොළව හා සත්වයන් දිලිසෙන අතර, මුල නො දිලිසෙයි. ධර්මයෙහි නො පිහිටා, රට වනසන, ජනතාව පෙළන්නෝ දිව්‍ය වර්ෂ ලක්ෂයක් මෙම නිරයේ පැසේ. නිරි සතුන්ගේ සිරුරින් නිතර දිලිසෙන ගිනිසිලු නික්මෙන අතර, සිරුර දැඩි රශ්මියෙන් විනාශ වේ.

මහා නිරයන්හි නැවත නැවත පහළවන සංජීවයයි. මෙම නිරය සියල්ලන්ට ම ඉහළින් පිහිටා ඇත. යමපල්ලන් විසින් දිලිසෙන නානා ප්‍රකාර ආයුධවලින් කඩ කඩා කොටමින් සිඳින ලද සත්ත්වයන් නැවත නැවත කර්ම බලයෙන් උපත ලබමින් ජීවත්වන බැවින් මෙම නිරය සංජීව නරකය යනුවෙන් හඳුන්වයි.

ලුහුබඳිමින් පහරදෙන කාලසූත්‍රය

මෙහි උපන් යමපල්ලෝ නැවත නැවත නාද කරමින් පිළිවෙලින් දිලිසෙන නොයෙක් ආයුධ වර්ග රැගෙන දිලිසෙන ලෝහ පොළොවේ නිරිසතුන් ලුහු බැඳ පහර දෙති. දිලිසෙන පොළවේ වැටුණු කල්හි දිලිසෙන කළු නූලක් හෙළා දිලිසෙන පොරවක් ගෙන, උස් හඬින් නද දෙමින් විශාල බැගෑපත් හඬින් නාද කරන නිරිසතුන්ගේ ශරීර අට වැදෑරුම්, සොළොස් වැදෑරුම් කරමින් මෙහි පැසේ. එම අරුතින් කාලසුත්ත නම් වේ.

ප්‍රදුුෂ්‍ය සිතින් මුනිවරයකු දෙස බලා ද, වයසින් වැඩිහිටියන්ට අවමන් කරයි ද මහර්ෂීන් නසයි ද ඔහු කාලසූත්‍රයෙහි පැසෙයි.

යසස, ධනය, නිසා පහළවන ලෝභය හා ද්වේෂය හේතුවෙන් පියා ඝාතනය කෙරේ ද මෙහි උපදී. නිරිසතුන් මෙහි බොහෝ කලක් දුක් විඳ ලෝකුඹු නිරයෙහි පැසේ.

දිව්‍ය වර්ෂ ලක්ෂයක් පැසෙන තාපය

නිශ්චල වූ සත්වයන් තවන නිසා තාපන නම් වේ. මෙහි උපන් නිශ්චල සත්ත්වයෝ තල් ගසක් පමණ වූ දිලිසෙන යකඩ උලක් මත හොබවති. යට පොළව හා සත්වයන් දිලිසෙන අතර, මුල නො දිලිසෙයි ධර්මයෙහි නො පිහිටා, රට වනසන, ජනතාව පෙළන්නෝ දිව්‍ය වර්ෂ ලක්ෂයක් මෙම නිරයේ පැසේ. නිරි සතුන්ගේ සිරුරින් නිතර දිලිසෙන ගිනිසිලු නික්මෙන අතර, ලොම් මඟින් ද නිය වලින් ද, සිරුර දැඩි රශ්මියෙන් විනාශ වේ. ස්වාමියා හෙළාදකින, නැන්දම්මලාගේ වත් පිළිවෙත් ආදිය නොපුරන, ආහාර පානාදිය පිළියෙළ කිරීමේ වත් නොපුරන, හිරිඔතප් ධර්මයන්ගෙන් විරහිතව ක්‍රියා කරන ස්ත්‍රීහු මෙම නිරයේ උපදිති.

මොවුන් ස්වාමි ආදීන්ට අක්‍රෝෂ පරිභව කිරීමේ විපාක වශයෙන් මෙහි උපදින බැවින් යමපල්ලන්, නිරිසතුන් ලෝභ පඨවියේ හොවා යකඩ උලකින් මුව විවර කොට බලෙන් දිව අදිති. රැහැනක් බැඳීමෙන් බන්ධන සහිත ඇවිදිති. දිගු අඟ ආයුධවලින් සලකුණු කරන ලද තැන්වල මොහොතකින් එක් දඬු පමණ විශාල වූ ලෝහ තුඩින් යුක්ත පණුවන් ගැවසී ගනී. මොවුහු මෙම නිරයේ බොහෝ වර්ෂ සිය දහස් ගණනක් පැසවා නැවත මහා අපායේ පැසේ.

අධර්මයෙහි පිහිටා රට වනසන රජවරු, ජනපද පෙළන්නෝ මෙහි උපදිති. ගිනිසිලුවලින් වට කරන ලද දුකම අනුභව කරමින් දිව්‍ය අවුරුදු ලක්ෂයක් මෙහි පැසේ. ගිනි බත් අනුභව කරන ඔවුන්ගේ ශරීරයෙන් පැහැ විහිදෙන ගිනිසිළු නික්මෙති. ලෝම, නියපොතු ඇතුළු සියලු ශරීර අවයව ගිනිගෙන දිලිසෙති. නිරන්තරයෙන් ඇතුළත හා පිටත දැවෙන අකුසුවලින් ගසන ලද ඇතකු මෙන් නාද කරයි.

අතිශයින් තවන ප්‍රතාපය

අතිශයින් තවන නිසා ප්‍රතාප නම් වේ. මෙහි උපන් සත්ත්වයෝ දිලිසෙන ආයුධවලින් පහර දී දිලිසෙන යකඩ පර්වතයට නංවාලයි. ඒ පර්වතය මුදුණේ සිටි කල්හි කර්ම විපාකයෙන් සුළං හමයි. ඔවුහු එහි සිටීමට නොහැකිව උඩුකුරු පා ඇතිව යටිකුරු හිස් ඇතිව වැටෙති. යට යකඩ පොළොවේ දිලිසෙන යකඩ හුල් නැඟී සිටිති. ඔවුහු ඒ මත්තෙහිම ඇනී ඔවුන් විනිවිද ගිය සිරුරු ඇතිව දිලිසෙමින් නිරතුරුව පැසවති.

අයෝමය පර්වතයකින් තැලෙන සංඝාතය

මහත් වූ දිලිසෙන යකඩ පර්වතයෙන් මෙහි ඝාතනය කරනු යැයි සංඝාත නම් වේ. උපන් සත්ත්වයෝ නව යොදුන් පමණ ගිනිගෙන දිලිසෙන යකඩමය පොළවේ ඉඟටිය ප්‍රදේශය දක්වා ගිලී නිශ්චලව කල් ගෙවති. එකල්හි පෙර දිසාවෙන් ගිනිගෙන දිලිසෙන මහත් අයෝමය පර්වතයක් මතු වී හෙණ හඬ, නංවමින් ගර්ජනා කරමින් සත්ත්වයන් සියුම් කොට තලමින් බටහිර දෙසට යයි. බටහිර දෙසින් නැවතත් එබඳු පර්වතයක් පෙරදිගට ද, දකුණු දෙසට ද, උතුරු දෙසින් දකුණු දෙසට ද සත්වයා තලමින් යයි. දෙදිසාවෙන් පර්වත දෙකක් එකවර පෙරළීගෙන සත්ත්වයන් උක් දඬු සේ තලයි මිරිකයි.

අපිරිසුදු කාය වාග් මනෝ කර්ම ඇති, සංයමයෙන් තොරව ක්‍රියා කරන, අසංවරව හැසිරෙන, සැමියන්ගෙන් වෙන්ව අනාචාරයේ හැසිරෙන, වෙනත් රති ක්‍රීඩාවන්හි යෙදුණ ස්ත්‍රීහු මෙහි උපදිති.

ගින්නෙහි දැවෙමින් හඬ තලන රෞරවය

ධූම රෞරවය හා ජාල රෞරවය යනුවෙන් රෞරව දෙකක් පිළිබඳ ජාතක අටුවාවේ සඳහන් වේ. එහි සත්වයෝ ගින්නෙහි දැවෙමින් යළි යළිත් හඬ තලති. එහෙයින් රෞරව යැයි කියනු ලැබේ. මෙහි තද ඝන අඳුරේ පවතින අතර දුම් දමයි. හුස්ම ගැනීමෙන් ඇස් දුබල බවට වී ඇස් අන්ධ වේ. ඒ තද අඳුර මීදුමෙන් පුළුල්ව පැතිර පවතී. අපුත්තක සිටුවරයා, වස්තුව නිසා තම සහෝදරයාගේ පුතා ඝාතනය කිරීමේ විපාකයෙන් නරකයෙහි ඉපිද සත් වැනි ආත්මභාවයේ දී ධනයට හිමි දරුවෙක් නොමැතිව සම්පත් රාජසන්තක විය. මොහුගේ පැරැණි පින් ද අවසන් වී අලුත් පින් රැස් නොකළ නිසා මිය ගොස් රෞරව නිරයෙහි ඉපදුණේ ය. ජීවත්ව සිටි තාක් කල් දානාදී පින්කම් අතුරෙන් එකකුදු නොකළ ආගන්තුක සිටුවරයා මරණින් මතු රෞරව නරකයේ උපන් බව ජාතක අටුවාවේ සඳහන් වේ.

සෙට්ඨි ගෘහපතියා මහා රෞරව නිරයේ උපත ලද බව දීඝ නිකායේ අටුවාවේ සඳහන් වේ. මහානාරද කස්සප ජාතකයේ පරදාර සේවනයේ යෙදී ඉන් චුතව සිය පව්කම් හේතුවෙන් රෞරව නරකයෙහි බොහේ කලක් පැසුණු පුවතක් සඳහන් වෙයි.

මෙහි උපදිනවුන්ට තුනී කරන ලද ගිනිඅඟුරු ගොඩෙහි නිදා ගන්නට සිදු වන අතර වටේට දැවෙන ගින්නෙහි ඇතුළත් කරයි. යකඩ දැල්වලින් වෙළා මුව වැද්දෝ මුවන්ට හිංසා කරන්නාක් මෙන් මෙහි හිංසා විඳිති. පරදාර සේවනය කරන්නෝ, ආර්ය ධර්මයන්ට ගරහන්නෝ මෙහි උපදිති.

පරණ පින් ගෙවී ගිය කල පහළවන මහා රෞරවය

ධන ලෝභයෙන් දිවි තොර කිරීම මෙහි ඉපදීමට හේතු වේ. පරණ පින් ගෙවී යාමත්, අලුතින් පින් නොකර ගැනීමත් මෙම නිරයේ ඉපදීමට හේතුවේ. එසේ උපන් සිටුවරයකු පිළිබඳ කතා පුවතක් දක්නට ලැබේ. ජාතක අටුවාවෙන් මෙම නිරය ගිලිහී ගොස් ඇති අතර, ඒ වෙනුවට මහා අවීචි යන්නත් විස්තර වේ.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]