[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නිරවුල් මනසකට සමාදන් වූ සිල්පද නිතර සිහි කරන්න

නිරවුල් මනසකට සමාදන් වූ සිල්පද නිතර සිහි කරන්න

අප සතුන් මරන්නේ නැහැ කියන පන්සිල් පදය සමාදන් වෙනවා. එහෙත් අපි සතුන් මරන්නේ නැහැ කියල විතරයි දන්නේ. ඉන් එහාට දන්නේ නැහැ. සොරකම් කරන්නේ නැහැ කියලා සමාදන් වෙනවා. සොරකම් කරන්නේ නැහැ. ඒත් පුංචි පුංචි අවශ්‍යතා අනුව පුංචි පුංචි සොරකම් අපේ අතින් සිදුවෙනවා.

ඒවා පිළිබඳ සැලකිල්ලක් නැහැ. උදාහරණයක් ලෙස කාර්යාලයෙන් දරුවාගේ අවශ්‍යතාවකට පොටෝ කොපියක් ලබා ගන්නවා. ඒ වගේ ම වැරැදිකාම ජීවිතය, බොරුව, කේළම, පරුෂ වචනය, හිස් වචනය පිළිබඳ අපේ ලොකු සැලකිල්ලක් නැහැ. මත් වතුර, මත්ද්‍රව්‍යය භාවිතය කියන දේ අද අපේ රටට විතරක් නොවෙයි, මුළු ලෝකයට ම විශාල ප්‍රශ්නයක්. අපේ තරුණ දරුවෝ සියයට පනහකට වැඩි පිරිසක් මත්ද්‍රව්‍යයට හුරුවෙලා අවසානයි. මව්පියන් බොහෝ වෙලාවට උත්සාහ කරන්නේ දරුවන්ට ධර්මය දෙනවාට වැඩිය තාක්ෂණික දැනුම පමණක් දෙන්නයි. මුදල පසු පස පමණක් ගමන් කරන්නයි. අද අපි එහි විපාක අත්විඳීනවා.

මේ නිසා මනසේ පීඩාකාරී තත්වයෙන් මිදී නිරවුල් මනසක් ඇති කර ගන්න. අප සමාදන් වන පන්සිල් නිතර නිතර මෙනෙහි කරන්න. ඒ පිළිබඳ සතුටු වන්න. අනුස්සතියක් හැටියට වඩන්න. එය සීලානුස්සති භාවනාවයි. මේ සීලානුස්සති භාවනාව කාර්යාලයට යන අතරතුර වූව ද වැඩිය හැකියි.

මා සමාදන් වූ පණ ඇති සතුන් මැරීමෙන් වැළකීම නම් වූ සිල් පදය පිරිසුදුයි. පිරිසුදුයි.

තවත් සමාදන් වූ සොරකම් කිරීමෙන් වැළැකීම නම් වූ සිල්පදය පිරිසුදුයි. පිරිසුදුයි.

වැරැදි කාම ජීවිතයෙන්, බොරු කීමෙන් වැළකීම කේළාම් කීමෙන්, පරුෂ වචන කීමෙන්, හිස් වචන භාවිතයෙන්, වැරැදි ජීවිකාවෙන් වැළැකීම නම් වූ ආජීව අෂ්ඨමක සීලය ම සිහි කරන්න.

ඔබ කාර්යාලයට යෑමට බස් රථයේ විනාඩි හතළිස්පහක් ගතවෙනවා නම්, ඉන් විනාඩි තිහක් අසුනක වාඩි වී මෙසේ මනසිකාරය කරන්න. එසේ මනසිකාරය කරමින් ගියා නම්, කාර්යාලය තුළට ඔබ ඇතුල් වන්නේ පීඩාකාරී මානසික තත්වයෙන් මිදුණු නිරවුල් මනසින් යුතු කෙනෙක් හැටියට යි.

අපි නොසිතුවාට, පුරුදු පුහුණු නොකළාට භාවනාවක් පුරුදු පුහුණු කර ගැනීමෙන් සමාජයට මෙන් ම ඔබට ද ධර්මානුකූලව කෙතරම් වූ ප්‍රතිලාභයක් ලැබෙනවා ද?

මේ ආකාරයෙන් ඔබගේ දිවා ආහාර වේලාවේ දී, එනම් පැයක කාලයෙන් පැය භාගයක් තුළ උදේ ම සමාදන් වූ සීලය මේ මොහොත වනතුරු එක සිල්පදයක් හෝ කඩා නැහැ. බොහෝ ම ගෞරවයෙන් යුක්තව ආරක්ෂා කළා යැයි සතුටු විය හැකියි. ඔබ කාර්යාලය නිමා කොට නිවස බලා යන කාලය තුළ ද, අද දවස තුළ කාර්යාලය තුළ සිල් පද ආරක්ෂා කළා. ඒ ගත් උත්සාහය පිළිබඳවත් සතුටු විය හැකියි. දවසේ වැඩ කටයුතු අවසන් කර නින්දට යන මොහොතෙත්, ඔබට කල්පනා කරන්න පුළුවන් අද දවස ගෙවුණා. මම උදේ සමාදන් වූ සිල්පද ආරක්ෂා කළා.

එක සිල් පදයක් හෝ පළුදුවෙලා නැහැ කියලා.

එවිට ඔබ සිල්වත් කෙනකු හැටියට නිදා ගන්නවා. ඔබ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් ලෙස සුව සේ නිදන කෙනකු බවට පත්වෙනවා. සුව සේ අවධි වෙන කෙනෙක් බවට පත්වෙනවා. ඔබට දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. කරදරයක්, විපත්තියක්, අමනුෂ්‍ය දෝෂයක් ඇත්නම් තුනුරුවන්ගේ අනුහසින්, දෙවියන්ගේ උපකාරයෙන් ජීවිතයෙන් බැහැරට යනවා.

ඔබ පසුදා හිමිදිරි උදෑසන අවධිව කල්පනා කරන්න පැය විසි හතරක් පුරා මම මගේ සිල්පද ආරක්ෂා කළා. අද දවසෙත් මම සිල්පද ආරක්ෂා කරනවා. ඔබට දෙවැනි දවසටත් පියවර තබන්න පුළුවන්. සැබෑ බොදුනුවෙක්, තිසරණ සහිත බොදුනුවෙක්, සීලවන්ත කෙනෙක්, සීලයේ අනුසස් ලබන කෙනෙක් ලෙස ජීවත්විය හැකියි. එපමණක් නොවෙයි පීඩාකාරී මානුෂික බවෙන් නිදහස් ව නිරවුල් මනසකින් යුක්තව ජිවිතය පැවැත්වීමේ වටිනාකම අත්විඳීන්න ලැබේවි. ගැටුම්කාරී පුද්ගලයෙක් නොවී සාමකාමී පුද්ගලයෙක් බවට පත්වේවි. මේ සමාජයේ යම් කිසි වටිනාකමක් ඇති පුද්ගලයෙක් වේවි. එසේ වටිනාකමක් ඇති අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක් වූවා නම් ඔබ ඔබේ දරුවාට කොතරම් වටිනවා ද?

ඒ වගේ ම ස්වාමි දියණියක් නම්, ඔබ ඔබේ ස්වාමියාට කෙතරම් වටිනවා ද?

ස්වාමියා එසේ වූවා නම් ස්වාමි දියණියට ඔබ කොපමණ වටිනවා ද?

ඔබේ ඥාති වර්ගයාට, අසල්වැසියාට ඔබ කොපමණ වටිනවා ද? මේ බව මෙනෙහි කරමින් සීලානුස්සති භාවනාව වඩන කෙනෙක් බවට පුරුදු - පුහුණු වෙන්න.

ඒ වගේ ම මෛත්‍රී සිත නැති වූ විට යම් කිසි කෙනෙක් සෑම විට ම ද්වේෂයෙන්, ව්‍යාපාදයෙන්, ක්‍රෝධයෙන් ඇළෙනවා. භාවනාවකින් සිත පුරුදු - පුහුණු කර නැති නිසා කොපමණ දන් දුන්නත්, කොපමණ මල්, පහන් පූජා කළත් ඔබ ක්ෂණිකව දැඩි ආවේගකාරී පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඒ සඳහා ද ඔබට පුළුවන් දවසේ පුංචි කාලයක්, එනම් විනාඩි පහක් හෝ දහයක් මම වෛර නැත්තෙක් වෙම්වා, නිදුක් වෙම්වා, සුවපත් වෙම්වා යැයි ඔබ ඔබට ම මෛත්‍රී සිත පතුරුවා ගන්න.

ඒ වගේ ම ඔබට පුළුවන් ඔබ මේ ලෝකයට බිහිකළ, හදා වඩා පෝෂණය කළ අම්මා ජීවතුන් අතර ඉන්නවා නම්, ඒ අම්මා මෙනෙහි කර මෛත්‍රී සිත වඩන්න.

ඒ වගේ ම ඔබේ පියා මෙනෙහි කර මෛත්‍රී සිත වඩන්න.

ඔබේ කල්‍යාණ මිත්‍රයා, කල්‍යාණ මිත්‍රයාණන් වහන්සේ නමක්, ආදී වශයෙන් සිතමින් මෛත්‍රී සිත පතුරුවන්නට පුළුවන්.

ඔබේ නිවසේ පිරිසට, කාර්යාලයේ අසල්වැසියන්ට ඔබ මෛත්‍රී පතුරුවන කෙනෙක් බවට පත්වන්න. ඒ ඇත්තන් මෙනෙහි කරන කෙනෙක් බවට පත්වන්න. මොනතරම් සාමකාමී මනසක් ඔබට හිමිවේ ද?

බුදුරජාණන් වහන්සේ සරණ ගිය, තෙරුවන් සරණ ගිය, පරිපූර්ණ සම්බුදු ශ්‍රාවකයෙක් බවට පත්වන්න ඔබට අවස්ථාව ලැබෙනවා. මේ නිසා මෛත්‍රී භාවනාව ඔබේ ජීවිතයට ඉතා ම වැදගත් භාවනාවක් හැටියට පුරුදු - පුහුණු කර ගැනීම ඉතා ම වටිනවා.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]