[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

තමන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්න

තමන් වෙනුවෙන් කාලය වෙන් කර ගන්න

අපගේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවනින් පසු මේ කතාව සිදුවෙලා තියෙන්නේ.

එක්තරා කාලයක කුඩා දරුවෙන් පැවිද්ද ලැබුවා. ගුරු තෙරුන් වහන්සේ මේ කුමාරයාට පැවිදි නම ලබා දුන්නේ ‘මහාසිව‘ කියලා. තුන්පිටකය ඉගෙන ගන්න මහ තෙරවරුන් සමීපයට යොමු කළා. දවසින් දවස, සතියෙන් සතිය, මාසයෙන් මාසය ගෙවී ගියා. මහාසිව සාමණේරයන් වහන්සේත් අධ්‍යයන කටයුතු හොඳින් කළා.

වසරින් වසර ගතවනවාත් සමඟ තුන් පිටකයේ ම හසල දැනුමක් ඇති තරුණ භික්ෂුවක් බවට පත් වුණා. ඉගැන්වූ ගුරු තෙරුන් වහන්සේ ‘මහාසිව‘ තෙරුන්ට ආචාර්ය පදවියක් ද ලබා දුන්නා. වෙනදා පැමිණෙන ශිෂ්‍ය පිරිස ඉක්මවා ගිහින් ධර්ම විද්‍යාස්ථානය ශිෂ්‍යයන්ගෙන් පිරී ඉතිරී යන්න පටන් ගත්තා. අවුරුදු කිහිපයක් යන විට ශිෂ්‍ය පිරිස තිස් දහස ඉක්මවා ගියා. පැමිණෙන හැම ශිෂ්‍යයකු ගේ ම එකම බලාපොරොත්තුව ‘මහාසිව‘ තෙරුන්ගෙන් තුන්පිටකය ඉගෙන ගැනීම යි. තවත් වසර කිහිපයක් ගත වන විට මහාසිව තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසත් අධ්‍යයන කටයුතු අවසන් කර පිටත්ව ගියා. එහෙම ගිය එක් භික්ෂුවක් තමන් වහන්සේ ඉගෙන ගත් ධර්මය ප්‍රායෝගිකව කි‍්‍රයාවට නැඟුවා. රහත් භාවය ලබා ගත්තා. දවසක් තමන්ගේ ආචාර්යයන් වහන්සේ තුළ කවරාකාරයේ ගුණ පිහිටා තිබේ දැයි නුවණින් විමසා බැලුවා. එතැන දී දැක ගන්න ලැබුණා තවමත් රහත් භාවය ලබා ගෙන නැති බව. ‘අපගේ ආචාර්යයන් වහන්සේ අනුන්ට උපකාර වෙනවා. නමුත් තමන් වහන්සේට උපකාර කරගෙන නෑ. මම උන්වහන්සේට උදව් කරන්න ඕන’යි කල්පනා කර දිනක් උදෑසනින්ම සිවුරු පොරවාගෙන අවශ්‍ය දේ රැගෙන ආකාශයෙන් වැඩම කර ආචාර්යයන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියා.

එවිට ආචාර්යයන් වහන්සේ හිඳගැනීමට අසුන් යොමු කර ‘වැඩම කළේ මොනව හරි අවශ්‍යතාවකට ද?’යි විමසා සිටියා. ශිෂ්‍ය තෙරුන් වහන්සේ

‘එසේය උපාධ්‍යයන් වහන්ස, මට එක්තරා උපදේශයක් ලබා ගන්න ඕන’යි පවසා සිටියා. ඒ අවස්ථාවේ

‘මට ඔබගේ ගැටලු විසදන්න කාලයක් නෑ. උගත් ධර්මයෙන් ම පිළිතුරු සොයා ගන්න.’යි දන්වා සිටියා. ඒ අවස්ථාවේ දී ශිෂ්‍ය තෙරුන් වහන්සේ

‘උපාධ්‍යයන් වහන්ස, එහෙම කරන්න එපා. මගේ ගැටලුව ඔබ වහන්සේට විවේකයක් ලැබෙන වේලාවට පහදා දෙන්න. එතෙක් බලාපොරොත්තුවෙන් වැඩ ඉන්නම්. ඔබ වහන්සේට පුංචිම හෝ විවේකයක් ලැබෙන වේලාවක් මට කියන්න. ඒ වේලාවෙ දි ගැටලුව විසඳා දෙන්න’යි ඉල්ලා සිටියා.

එයට පිළිතුරු විදිහට ලැබුණේ ‘ඇවැත්නි, මට වෙන් කිරීමට වේලාවක් නෑ. එතරම්ම මම කාර්ය බහුලයි. ඔබ මෙතැනින් ඉවත්ව යන්න’යි දන්වා සිටියා. ආචාර්යන් වහන්සේගේ කතාව අහගෙන හිටිය ශිෂ්‍ය තෙරුන් වහන්සේ

‘එසේ නම් පිණ්ඩපාතයේ වඩින වේලාවේ දී අහන්නම්’යි දන්වා සිටියා.

‘පිණ්ඩපාතයේ වඩින විටත් වෙනත් අය කාලය වෙන් කර ගෙන සිටිනවා’යි උත්තර ලැබුණා. ‘එහෙනම් සිවුරු පොරවන, දෙපට සිවුර නවන අවස්ථාවේ දී අහන්නම්’යි කියන විට

‘ඇවැත්නි, මම ඒ අවස්ථාවත් දිගට ම වෙන් කරලා අවසන් මාස ගණනකට, වේලාවක් නෑ’යි කිව්වා. ‘එහෙනම් ස්වාමිනි, පිණ්ඩපාතය වළඳන විට අහන්නම්’යි කියන විට එම වේලාවත් වෙන් කරලා අවසන් බොහෝ කාලයකට’.

මේ විදිහට බොහොම වෙහෙස ගෙන දෙන කාර්ය බහුල ජීවිතයක් තමයි මහාසිව තෙරුන් වහන්සේ ගත කළේ. තමන් ගැනවත් හිතුවේ නෑ. කීර්ති ප්‍රශංසාත්, භෞතික සැපසම්පත් ආදියත් බොහෝ සෙයින් ම ලැබෙන්න පටන් ගත්තා. තමන්ගේ කටයුතු තනිව ඉටුකර ගැනීමට නොහැකි නිසා ශිෂ්‍යයන් ඒවාට යොමු කර තිබුණා.

ශිෂ්‍ය තෙරුන් වහන්සේට ගැටලුව විසඳා ගැනීමට උපදේශයක් ගන්න වේලාවක් වෙන් කර ගන්න ම බැරිව ගියා. තමන් වහන්සේ අර්හත් භාවය ලබාගෙන සිටින බව මහාසිව තෙරුන් වහන්සේ දැනගෙන හිටියේ නෑ.

විහාරයෙන් පිටත් වෙන්න සූදානම් වෙලා ගුරුවරයා අමතලා

‘ස්වාමීනි, උපාධ්‍යායයන් වහන්ස, අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට. යම් මනුෂ්‍යයකුට තමන්ගේ මුහුණ කට සොදාගෙන මොහොතක් වත් ඉඳගෙන නිදහසේ කාලය ගත කරන්න වෙලාවක් තිබිය යුතුයි නේද? ඔබ වහන්සේ අනුන්ට උපකාර කරනවා තමයි. ඒ වුනත් තමන්ට උපකාර කර ගන්න වෙහෙසෙන්නේ නෑ. කාලය වෙන් කර ගන්නේ නෑ. බුදුරජාණන් වහන්සේ පැවිද්දාට අනුශාසනා කළේ කෙලෙස් නැති කර ගැනීම යි. මේ කරන සියලු ම වැඩ කෙලෙස් වැඩි කරනවා නේද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය මැනවින් දැනගෙනත් එයින් ප්‍රයෝජන ගන්නේ නෑ. ඔබ වහන්සේගේ උපදේශවලින් මට කම් නෑ’යි කියලා එතැනින් පිටත්ව ගියා.

‘මේ ශිෂ්‍යයා ආවේ මාගේ ගුණ විමසා බලන්න. ඔව් මම රහත් භාවය ලබාගෙන නෑ තවම. අදම වන ගත වෙලා භාවනා කරනවා, විදර්ශනා වඩා රහත් භාවය ලබා ගෙන එනවා. දැන් බොහොම හවස් වෙලා, ඉතිරිවෙලා තියන වැඩ ටික ඉක්මනින් ම ඉවර කරලා පාන්දරින් ම මේ විහාරයෙන් පිටත් වෙලා වනයකට පිටත් වෙනවා’යි තීරණය කරගෙන මධ්‍යම යාමය වෙන විට යෙදී තිබුණු කටයුතු සියල්ල අවසන් කර තැබුවා. පාන්දරින්ම අවදි වී විහාරස්ථානයෙන් බොහෝ ඈත කඳු පර්වතයක ලෙනකට වැඩම කරලා භාවනා කරන්න පටන් ගත්තා. ‘මම තුන් පිටකය ම හොඳට දන්න නිසා විදර්ශනා වඩන්න එතරම් වේලාවක් ගත වෙන්නේ නෑ. හෙට වෙනකොට රහත් භාවය ලබාගෙන යනවා’යි තීරණය කර භාවනා කරන්න පටන් ගත්තා.

ශිල්පය ඉගෙන ගත්තා සේ ඉතා පහසුවෙන් අර්හත් භාවය ලබා ගැනීමට කල්පනා කළා. එහෙත් රහත් වුණේ නෑ. සතියකින් රහත් වෙනවායි භාවනා කළා ඒත් රහත් භාවය ලබා ගන්න බැරි වුණා. තුන් මාසයක් ගත වුණා. ඒත් බැරිවුණා. අවසානයේ මෙහෙම තීරණය කර ගත්තා. රහත් භාවය ලබා ගෙන මිස මම ඇදේ නිදා ගන්නේ නෑ. පා දෝවනය කරන්නේ නෑ’යි තීරණය කරගෙන ඇද හකුළා දැම්මා. පා දෝවනය කරන භාජන ඉවත් කළා. අවුරුද්දක් ගත වුණා. ඒත් රහත් භාවය ලබා ගන්න බැරි වුණා. අවුරුදු දෙකක්, තුනක් ලෙසින් අවුරුදු විසි නවයක්ම ගත වුණා. ඒත් අර්හත් භාවය නම් ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නෑ. දැන් මහාසිව තෙරුන් වහන්සේට හරිම වේදනයි. වේදනාව ඉවසගන්න බැරිකමට ඇස්වල කදුළු පිරුණා. කදුළු ටිකෙන් ටික බිමට වැටෙන්න පටන් ගත්තා.

මේ දිහා බලාගෙන හිටියා අසල ගහක වැඩ සිටිය දේවතාවියක්. ඇයත් බොහෝම සද්දෙට අඬන්න පටන් ගත්තා. ටික වේලාවක් යන විට මහාසිව තෙරුන්ට ඒ හඬ ඇහිලා ‘කවුද ඔය අඬන්නේ? මොකද කරදරයක් වෙලාවත් ද?යි විමසා සිටියා.

එතකොට ඒ දේවතාවිය ‘ස්වාමිනි මහාසිව තෙරුන් වහන්ස, මම දේවතාවියක් මේ ගහට අධිපති. හැඬීමෙන් මාර්ගඵල උපදවන්නට හැකි යැයි හිතලා මමත් අඬන්න පටන් ගත්තා’යි ප්‍රතිඋත්තර දුන්නා.

දැන් මහාසිව තෙරුන්ට බොහොම ලජ්ජයි. ‘මේ දේවතාවියත් මට කවටකම් කරනවා, විහිළු කරනවා’යි හිතලා මුළු රාති‍්‍රය පුරාම භාවනා කළා. පශ්චිම යාමයේ දී උතුම් අරහත් භාවය ලබා ගත්තා. හිතට බොහොම සොම්නසක් දැනුණා.

අවුරුදු තිහකට පස්සේ අද වැතිර නිදා ගනිමි’යි තීරණය කරලා ඇඳ සකස් කර තබා පා දෝවනය කිරීමට එළියට වැඩම කළා. උන්වහන්සේගේ අර්හත්භාවය අපේක්ෂා කළ ශිෂ්‍ය තෙරුන් වහන්සේ දිවැසින් දැක්කා තමන්ගේ ආචාර්යවරයා අර්හත්භාවය ලබා ගත් බව. ‘ශිෂ්‍ය පිරිස තිස්දහසක් සිටිය දී උන්වහන්සේ පා දෝවනය කිරීමට යාම අප වැනි ශිෂ්‍යයන්ට සුදුසු නැතැ’යි තිස් දහසම එතැනට වැඩම කර පා දෝවනයට අවස්ථාව ඉල්ලා සිටියා.

‘ඇවැත්නි, අවුරුදු තිහක් තිස්සේ මම පා සේදුවේ නෑ. ඔබ වහන්සේලා වෙහෙසෙන්න එපා. බොහෝ අපිරිසුදු පා දෙකක් මේ. පේනවා නේද ඔබ සියලු දෙනාට ම බොහෝ දුරක් ගෙවා පිණ්ඩපායේ වැඩම කළ නිසා පාද යටිපතුල් පැළී ගිහින්. ඒ නිසා මම ම සෝදාගන්නම්’යි කියා තමන් වහන්සේ ම පා දෝවනය කරන්න පටන් ගන්න කොට ශක්‍ර දෙවියන්ට මේ බව දැනුණා.

මහාසිව තෙරුන් වහන්සේ සමීපයට ළං වෙන්න අපහසු නිසා වහාම සුජාතා දෙවඟනත් සමඟ එතැනට වැඩම කළා. පසපස සිට ‘ස්වාමිනි, ගැහැනියක්’යි කියමින් සුජාතාව පෙරටු කර ඉඩ ලබාගෙන උන්වහන්සේට සමීප වී මම ම පා දෝවනය කරමි’යි අවස්ථාව ඉල්ලා සිටි විට ‘දෙව්රජුනි, අවුරුදු තිහක් මා පා සෝදා නෑ. අනික දෙවියන් මිනිස් ගඳ පිළිකුල් කරනවා. ඒ විතරක් නොවෙයි යොදුන් සියයක් ඈත සිටියත් ගෙල බැදි කුණක්වගේ මිනිස් ගඳ පිළිකුල් කරනවා. ඒ නිසා මම ම පා දෝවනය කර ගන්නම්’යි කී විට ‘ස්වාමිනි, එහෙම කියන්න එපා. මිනිස් ගඳ පිළිකුල් වුණත් ඔබ වහන්සේගේ සිල් සුවඳ දිව්‍ය ලෝකයත් ඉක්මවා බ්‍රහ්ම ලෝක දක්වා පැතිර ගිහින්. ඒ නිසා මට අවස්ථාව දෙන්න’යි අවස්ථාව ඉල්ලාගෙන වමතින් ගොප් ඇට සන්ධිය අල්වාගෙන දකුණතින් පා තල හොඳින් පිරිමදිමින් සෝදා, නමස්කාර කර දෙව් ලොවට වැඩම කළා’යි කතා පුවතක් දීඝ නිකාය අටුවාවේ සක්කපඤ්ඤ සූත්‍ර දේශනාවේ සඳහන් වෙනවා.

කොතරම් උගත් වුවත්, මොන තරම් උසස් නිලතල දැරුවත්, කොපමණ කාර්යබහුල වුවත් තමන් වෙනුවෙන්, සසරින් මිදීම වෙනුවෙන් කාලය වෙන් කර ගැනීමට අමතක නොකළ යුතු බව මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

නූතන සමාජයේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන හැමදෙනාට ම ආදර්ශමත් කතා පුවතක්.

මැදින් අව අටවක

මාර්තු 14 අඟහරුවාදා අ.භා. 08.20 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 06.43 න් ගෙවේ.
15 බදාදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

First Quarterපුර අටවක

මාර්තු 29

Full Moonපසළොස්වක

අප්‍රේල් 05

 

 

 

 

 

 

 

 

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]