Print this Article


අන්ධානුකරණය තමන්ගේම විනාශයට අත වැනීමකි

අන්ධානුකරණය තමන්ගේම විනාශයට අත වැනීමකි

බොහෝ දෙනා තමන් නොදන්නා බව අනාවරණය කිරීමට මැළිකමක් දක්වති. එහෙත් තමන් තුළින් හරි වැරැද්ද අවබෝධ කර ගෙන නිවැරැදි මාර්ගයට ප්‍රවිෂ්ට වන්නේ නම්, ඔහු ප්‍රඥාවන්තයෙකි.

වැරැද්ද නොදකින පුද්ගලයාට වඩා ඔහු ගුණ යහපත් අයෙකි. වැරැද්ද දකින පුද්ගලයාට පමණයි වැරැද්ද නිවැරැදි කර ගැනීමට හැකියාව ඇත්තේ. මොහු අවංක පුද්ගලයෙකි, නිහතමානී අයෙකි. ඔහුගේ අනාගතය ආලෝකවත් වීමේ ලක්ෂණයන් ඉස්මතුව පෙනෙන්නේ ය.

තමන් දන්නා බව නොදන්නා ගති ලක්ෂණ ඇති අයත් අද ගිහි පැවිදි අප අතර ජීවත්ව සිටිති. මෙම පුද්ගලයාගෙන් සමාජයට වන හානිය ප්‍රකට නොවූව ද පෞද්ගලිකව ඔහුට විශාල පාඩුවක් විය හැකි ය.

තමන්ගේ දැනුමෙන් තමන්ටත් ප්‍රයෝජනයක් නැති අතර, අනුන්ටත් ප්‍රයෝජනයක් නැත. මෝහය වැනි කෙලෙස් ධර්මයන්ගෙන් ඔහුගේ චිත්ත සන්තානය වැසී ඇත.

මේ නිසා තමන්ගේ දැනුම තමන් තුළ සැඟවී ඇති නිසා යථාර්ථවාදී දැක්මකට ඔහුට යාමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. එනිසා එම දැනුමෙන් නිසි ප්‍රයෝජන ගැනීමට සිහි නුවණින් යුතුව වීර්ය ගත යුතුව ඇත.

ඔහු තමන් දන්නා බව දන්නා අයෙකි. ඔහු නිවැරැදි දෙය හඳුනාගෙන වැඩ කරන ගුණගරුක අයෙක් වේ. සිත, කය, වචනය සංවර කර ගත් ඔහුගෙන් තමන්ටත් සමාජයටත් සිදුවන්නේ ලාභයකි. ඔහු ලෞකිකව සැප ලබන අතර, ලෝකෝත්තර සැපය උදාකර ගැනීමට ද අවස්ථාව සලසා ගනී. කල්‍යාණ මිත්‍රයකු ලෙස උදාර සමාජ මෙහෙවරක යෙදෙමින් ඔහු විශාල සේවයක් සිදු කරයි. බෞද්ධ දර්ශනයට අනුව උතුම් මනුෂ්‍ය ලාභයක් හිමි කරගත් ඔහු නුවණ, වීර්යය, සිහිය ප්‍රයෝජනයට ගෙන සදාතනික සුවය ළඟා කර ගැනීමට ද වෙහෙසෙන්නේ ය.

මේ අතරින් තමන් කුමන පුද්ගලයකු නියෝජනය කරන්නේ ද යන්න සිහි නුවණින් මනසිකාර කළ යුතුව ඇත. කෙලෙස් එක්දහස් පන්සිය දහයකටත් වැඩි ප්‍රමාණයක් පෘතග්ජන මිනිස් සන්තානය තුළ ක්‍රියාත්මක වන බව රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ පොතක ලියා ඇත. මෙම කෙලෙස් වනය සිඳ බිඳ දැමීම කළ යුතුව ඇත.

ඒ සඳහා බුදුපියාණන් වහන්සේ විසින් අප කෙරෙහි කරුණාවෙන් සරල, එහෙත් ගාම්භීර ප්‍රතිපදාවක් හඳුන්වා දී ඇත. එම ප්‍රතිපදාව අනුගමනය කරන ගිහි පැවිදි සියල්ලන්ට ම යහපත් තැනකට ප්‍රවිෂ්ට විය හැක. ඒ තුළින් තමා කවුද යන්න තමන්ට ම අවබෝධ කළ හැකි ය. ඒ ඒ කෙනා තුළ පවතින කෙලෙස් ධර්මයන්ගේ ස්වභාවය තම තමන්ට අවබෝධ කර ගත හැකි ය.

‘සුනාථ, ධාරේථ චරාථ ධම්මේ’ යන බුදුපියාණන් වහන්සේගේ අනුශාසනාවට අනුව කටයුතු කිරීමෙන් බෞද්ධ ශ්‍රාවකයාට තමන් දන්නා බව දන්නා පුද්ගලයෙක් බවට පත්විය හැක.

බුදු බණ ශ්‍රවණය කරන ශ්‍රාවකයා ඇසූ බණ ධාරණය කළ යුතුව ඇත. එසේ මතක තබාගත් බණ පදවලට අනුව ජීවිතය හැඩ ගසා ගත යුතුව ඇත. වැඩිය යුතු දේ වැඩිය යුතු ය. පුරුදු කළ යුතු දේ පුරුදු කළ යුතුව ඇත. ඒ සඳහා අප්‍රමාදීව කටයුතු කළ යුතුව ඇත. ඒ තුළින් බුදු දහමේ උතුම් අරමුණ කරා ළඟා විය හැක.

මනසින් උසස් සත්වයා ලෙස සැලැකෙන මිනිසාට අනෙකුත් ජීවීන් අභිබවා ඉදිරියෙන් සිට ගැනීමේ හැකියාවක් ඇත. “මනුසත්වයා” කියැවෙන තැන “මනු” කොටස ගිලිහී ගිය තැන ඉතිරි වෙන්නේ “සත්වයා” කියන කොටස පමණි. එසේ වුවහොත් සත්වයාට හුරුපුරුදු ගති ලක්ෂණවලින් යුතු තිරස්චීන සතකුගේ ස්වභාව ලක්ෂණ මිනිසා තුළින් විද්‍යමාන විය හැක. එය වර්තමාන මානව ශිෂ්ටාචාරය තුළ සිදුවෙමින් පවතී.

පරිසරයට අනුව වුව ද වෙනස් වීමේ හැකියාව ඇත්තේ මිනිසාට ය. තම චිත්තවේග පාලනය කරගෙන ලබන අවබෝධය තුළින් ආත්ම දමනය කර ගැනීමේ අපූරු ශක්තියක් මිනිසාට ඇත.

එහෙත් එය වර්තමාන සමාජ තලය තුළ සිදු නොවීම ජාතියේ ම අභාග්‍යයකි.

විවිධත්වයට හේතුව තම තමන්ට සාපේක්ෂව ගොඩනඟා ගන්නා ලද ආකල්පයන් ය. තමන් හිතන්නේ, කරන්නේ, කියන්නේ කුමක්දැයි මනා සිහියක් තිබිය යුතු ය. ඉන් තමන්ට අයහපතක් හෝ අනුන්ට අයහපතක් හෝ දෙපාර්ශ්වයට ම අයහපතක් වේ ද යන්න තීරණය කරන්නේ මිනිසාගේ ප්‍රඥාවෙන් ය.

ප්‍රඥාව ගිලිහී ගිය තැන හැඟීම්වලට වහල් වී ගිය පහත් මනසක් නැඟී සිටී. ඒ බව නොදැක අන්ධානුකරණයෙන් ක්‍රියා කරන මිනිසාගෙන් තමාටත්, සමාජයටත් ඉටුවන්නේ අයහපතකි.