Print this Article


යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය

යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය

මහනුවර බෞද්ධයන්ගේ මුඳුන්මල්කඩ වන ශ්‍රී දළදා වහන්සේ විරාජමාන වන දළදා මාළිගය පිහිටි ඓතිහාසික පුරවරය වන අතර, ඒ අවට ගම්නියම්ගම් පුරා ඉතිහාසගත වටිනාකම් සහිත බෞද්ධ වෙහෙර විහාර රාශියක් පිහිටා ඇත.

ඒ අතරින් හාරිස්පත්තුව ප්‍රදේශයේ ස්ථාපිත වී ඇති පුරාණ වෙහෙර විහාර අතර, කටුගස්තොට යටිවාවල ශ්‍රී රාජසිංහාරාම පුරාණ විහාරය පිහිටි බිමේ ඇති බෝධින් වහන්සේ ක්‍රි.ව. 1600 පමණ ඈත ඉතිහාසයක් ඇති බව ඓතිහාසික මූලාශ්‍ර පෙන්වා දෙයි. රාජසිංහ රජ සමය යුගයේ ස්ථාපිත බෞද්ධ විහාරස්ථානයක් ලෙස රාජසිංහාරාමය හඳුන්වා දිය හැකිය.


පූලියද්දේ ඥානාලෝක නාහිමි

උඩුගොඩ ශීලානන්ද සහ වළල විමලරත්න නාහිමිවරු මෑත ඉතිහාසයේ යටිවාවල රාජසිංහාරාමයේ විහාරාධිපතිත්වය දරා ඇති අතර, වළල විමලරතන නාහිමියන්ගෙන් පසුව විහාර අධිපතිත්වයට පත් වූයේ පූලියද්දේ ඥානාලෝක වත්මන් නාහිමියන් වහන්සේ ය.

මෙම විහාරස්ථානයේ වර්තමාන සංවර්ධනයේ පෙරගමන්කරුවා වන්නේ උන්වහන්සේ ය.

මනරම් බුදු මැදුරක්, දාගැබක්, ධර්ම ශාලාවක්, සංඝාවාසයක්, බෝධි ප්‍රාකාරයක් සහිතව සංවර්ධනය වී ඇති රාජසිංහාරාමයේ ඇතුළුවන දොරටුව අලංකාර මකර තොරණකින් සමන්විත ය.

කන්ද උඩරට පැරැණි වෙද පරපුරක් වන පූලියද්දේ පරපුරේ සාමාජිකයකු වන වත්මන් නාහිමිගේ මඟ පෙන්වීම යටතේ ඉපැරැණි ආයුර්වේද පොත්පත්, වෙදකමට පරිශීලනය කළ පැරැණි උපකරණ සහිත පුස්තකාල කෞතුකාගාරයක් ද මෙහි අභිනවයෙන් ස්ථාපනය කර ඇත.