Print this Article


පහන් සිතක කවි

කරුණා කරමු මුනි සිරිපා

බුදු දම් සඟ ගුණ සිතේ දරාගෙන
සුමන සමන් දෙවි පිහිට පතාගෙන
සීත ගඟුල් දිය පහස ලබා ගෙන
අපිත් වඳිමු මුනි සිරිපා හැම දින

සුමන සමන් හැම දෙවි පිහිට පතා
යනෙන සෑමදෙනට ම මෙත් සරණ පතා
අයහපතක් නොව යහපත් වෙන්ට සිතා
මුනි සිරිපා නමදිමු අපි නිවන් පතා

සොඳුරු වන මැදින් සීතල පින්න යටින්
වලාකුළින් ගල් මතුපිට සිසිල මතින්
තුන් සරණින් සමන් දෙවිඳු පිහිට නිතින්
ලැබ කරුණා කරමු බුදුන් වැඳ දෝතින්

සීත ගඟුල් දිය සැම හට සිසිල සදා
ඈත පෙනෙන මනහර රූ සිතේ රඳා
දෑත නළල් තල රඳවා මුනිඳු පුදා
ගීත ගයමු මුනි සිරිපා බැතිනි පුුදා

මුනි සිරිපා පහස ලැබූ ලක් දෙරණේ
සමන් දෙවිඳු රැකවරණයි නිති රැඳුණේ
නිවන් පතා කරුණාකර කඳු මුදුනේ
අපේ බුදුන් අපි වැන්දා මෙත් සරණේ

****

ජන්ම දිනය ගැඹුරුම අරුතකි දෙන්නේ

යායට පිපුණ මල් ගොමුවල සුවඳ දැනේ
බලමින් ගලා යන සිසු දරුවනගෙ සෙනේ
අරුණැලි කහ පැහැය රැඳි අසපුවක වනේ
සමරමි හැත්තෑ නම වැනි මගෙ ජන්ම දිනේ

ගත සිත කිති කවන සීතල නළ පාවේ
කිචි බිචි කුරුලු නද සංගීතය ආවේ
වියපත් වීම දිවියක අනියත බාවේ
තුන්ලෝතිලක මහිමිගෙ සදහම සිහිවේ

හෙට මැරුණත් සැපයි අද ජොලියෙනි ඉන්නේ
මෙහෙමත් හිතන අය වෙති මොහඳුරු ගින්නේ
කති බොති නටති අප විමසිය යුතු වන්නේ
ජන්ම දිනය ගැඹුරුම අරුතකි දෙන්නේ

****

මතක ඔස්සේ

බුදුන් දැකලා නිවන් දක්නට පින්පුරයි අපෙ මවුපියෝ
දවස් ගණනේ නිදිවරා අපට පණ දුන් මවුපියෝ
සුවෙන් සතපා අහර නොලබා අපට බත් දුන් මවුපියෝ
අසරණව අද අප දිහා බලා සිටිතී මවුපියෝ

ගිලන් වී ඇඳ මත ඉඳීවී
බෙහෙත් නොලබා දුක් විඳීවි
ගෙනා ආයුෂ ඉතා කෙටිවී
මැරෙණ මොහොතට ඉඳී ළංවී

දිලෙයි පුන්සඳ ඈත අහසේ
දූ පුතුන් හැර ගොසින් රහසේ
කවුලුවෙන් වැඩිහිටි නිවාසේ
ඈත බලතී මතක ඔස්සේ

****

(බණ පොතේ බණ කතා) දහම් රස

බණ පොතේ
බණ කතා
බණ මඩුවෙ
(සබ්බ රසො ධම්ම රසං)
සියලුම රස
පරදවා
දහම් රස
විමසයි

කලබල සත
පහන් වෙයි
සිතෙහි දුක්
නිවාලයි

බණ මඩුවෙ
බණට පැහැද
මහ මළුවෙ
පහන් සිළු
තාලයට
එහෙ මෙහෙ
සෙලවී සෙලවී
අලංකාර බව පෙන්වයි

****

මුනිදුනි

නමදිමු අප බුදු සමිඳු
රුදු ඝොර මරුවා පැරදු
ඒ මග ගත්තොත් දැනුදු
බෝසත් දිවියක් පුබුදු

වැඳලා බුදු සමිඳු හට
මඟ යමු අප අරිය අට
සිතේ තිබෙන කෙලෙස් පට
මරු පරදා කරමු පිට

****

මොහඳුර දුරු කර

සදන කුළුණු දම් ගුණ පිරි වදන් සර
සිළුන සුසැදි ලිපි දිවි සිතු නදන් කර
සොබන මේ බුද්ධ ශි‍්‍රය සොඳ පහන් තුර
දුදන ඉසි වැරෙන සැඩ සැරි දහන් කර

කිසි වර නොම වැදී ඉන් වැදුන ද නොසැලී
නිරතුරු සිටි දිදිී ලොව දස අත නැණලී
පහකර සත බැඳී මෝ හතර අඳුර වැලී
බුදුසරණ පත් රැඳි දිගුකල් පවතිවා සුදලී

****

බුදුසරණ

බුදුසරණ පුවත් පතේ
සෑසි දහම ගැබ්ව ඇතේ
මුළුමනින් ම මගේ සිතේ
බුදුසරණට ඉඩක් ඇතේ

බුදුසරණ පුවත්පතේ
ඔවදන් සඟරුවනෙ වෙතේ
මුනි දහම ගැබ්ව ඇතේ
බුදුසරණ ම ගන්න පුතේ