Print this Article


උතුම් දහම් ප්‍රතිපදාවට මේ සුදුසුම කාලයයි

උතුම් දහම් ප්‍රතිපදාවට මේ සුදුසුම කාලයයි

ලාංකීය අපට මෙන් ම ලෝකවාසී බෞද්ධයන්ට ඉතා වැදගත් දවසකි. එයට හේතු වනුයේ,

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම කිරීම, නන්ද කුමරුගේ පැවිදි බව ලැබීම, යශෝධරා දේවියගේ ගෞරවය ප්‍රකාශ කිරීම, රාහුල කුමරුන්ගේ පැවිදි බව ලැබීම, නිග්‍රෝධාරාමය පූජා කිරීම, ශාක්‍යයන්ගේ මානය දුරුකිරීම, ගෙපිළිවෙලින් පිඬු පිණිස වැඩීමේ අගය කියාදීම ආදි සුවිශේෂී සිදුවීම් ය.

ඒ අනුව හේමන්ත ඍතුවේ මැදින් පුර පසළොස්වක පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධි සමූහයක් සිහියට නංවන මංගල දිනයකි. ලෝකාර්ථ චර්යාවෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ ආර්ය මහා සංඝරත්නය පිරිවරාගෙන සුද්ධෝදන පිය මහ රජතුමාටත්, ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් යහපත උදාකරනු පිණිස රජගහනුවර වේළුවනාරාමයේ සිට කිඹුල්වත්පුර නුවරට වැඩමවීමට ගමනාරම්භ කළේ මැදින් පුන් පොහෝදාක ය.

බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධ කොට රජගහනුවර වැඩ වසන බව ශාක්‍ය ජනපදයට ආරංචි විය. සුද්ධෝදන රජුට ස්වකීය පුත්‍රරත්නය දැකීමේ ආශාව බලවත් විය ය. අවස්ථා නවයක දී ප්‍රධාන ඇමතිවරු නව දෙනකු යටතේ නව දහසක් සේනාව බුදුරජාණන් වහන්සේ වැඩම කරවීමට රජගහනුවරට පිරිස යැවීය. ඔවුහු සියලු දෙන උතුම් බුදු සසුනේ පිහිට ලබා පැවිදි වී මහ රහතන් වහන්සේ බවට පත් විය. රජු කනස්සලෙන් පසු විය.

අවසානයේ දී බෝසතාණන් වහන්සේ සමඟ එකදා උපන් කාලුදායි ඇමති දහසක් සේනාව සමඟ පැවිදි වීමට රජුගෙන් අවසර ලබා ගෙන ම පිටත් විය. මේ වන විට ශාක්‍ය ජනපදයේ කුල කුමරුවන් දස දහස් දහයක් සම්බුදු සසුනේ පැවිද්ද ලබා මහරහතන් වහන්සේ බවට පත්වූහ.

කාලුදායි තෙරුන් පැවිද්ද ලබා සතියකට පසු පිය මහ රජුගේ ආරාධනාව සිදු කරමින් රජගහනුවර සිට කිඹුල්වතට ඇති මාර්ගයේ සුන්දර වර්ණනාවක් සිදුකළේ ය. එකී පරිසර වර්ණනාව හේමන්ත ඍතුවේ සුන්දරත්වය ප්‍රකාශ කිරීමකි.

භාග්‍යවතුන් වහන්ස, පරිසරය ඉතා ශීත වූයේ ද නැත. ඉතා උණුසුම් ද නැත. ඍතුව සුවදායක ය. ගමනට ඉතා සුදුසු ය. ආදී ගාථා හැටකින් ගමනට සුදුසු කාලය එළඹ ඇතැයි ආරාධනා කළහ. විසිදහසක් භික්ෂු සංඝරත්නය සමඟ රජගහනුවර වේළුවනාරාමයෙන් හවස් කාලයේ බුදුරජාණන් වහන්සේ ගමන පිටත් වූහ. පියමහ රජු ඇතුළු ඤාති සමූහයාට කළ යුතු උතුම්ම ඤාති සංග්‍රහයට මුල පිරූ මැදින් පුන් පොහෙඤය බෞද්ධයන්ගේ සදා ගෞරවයට පත් වූ දිනයක් විය.

සැට යොදුන් මඟ ගෙවා කිඹුල්වතට වැඩම කළ බුදුරදුන් ප්‍රධාන මහ සඟරුවනට ශාක්‍යයෝ පිළියෙළ කරන ලද නිග්‍රෝධාරාම විහාරය පිදූහ. මානයෙන් උදම් වූ ශාක්‍යයෝ ළදරුවන් ලවා බුදුරජාණන් වහ්නසේ වන්දනා කරවූයේ උන්වහන්සේ තමනට වඩා වයසින් බාල යැයි සිතා ය. ශාක්‍යයන්ගේ අදහස් දුටු උන්වහන්සේ යමාමහ පෙළහර පාමින් ශාක්‍යයන්ගේ මානය දුරු කළ අතර, එදින පිය මහ රජුගේ තුන්වැනි වැඳීම ද සිදු විය. එදින වෙස්සන්තර ජාතකය දේශනා කළහ.

පසුදා දහවල් දානයට කිසිවකුගෙන් ආරාධනා නොලැබූයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය කිඹුල්වත්පුර නුවර පුරා පිණ්ඩපාත දානයෙහි වැඩම කළහ. මෙය දුටු යශෝධරා දේවිය සුද්ධෝදන රජුට ඒ බව කීවා ය. ලජ්ජාවට පත් රජු කලබලයෙන් බුදුරදුන් හමුවී සිඟමන් යැදීම ශාක්‍ය වංසයට කළ නිගාවක් බව ප්‍රකාශ කළේ ය. මහ රජතුමනි, ඒ ඔබේ වංසයයි. මාගේ වංසය බුද්ධවංසයයි. මෙය අප වංසයේ ප්‍රධාන සිරිත යැයි රජතුමාට මහ මඟදීම පිණ්ඩපාතය වැඩම වීමේ අගය වටිනාකම කියා දී ධර්ම දේශනා කළහ.

“ධම්මං චරේ සුචරිතං
නතං දුච්චරිතං චරේ
ධම්මචාරි සුඛං සේති
අස්මිං ලෝකේ පරම්භිඛ”

රජගෙදර දී දානය වළදා ඉහත ගාථාවෙන් රජගෙදර පිරිසට ධර්මය දේශනා කළ අතර, සුදොවුන් රජු සකෘදාගාමී මගඵල ලැබීය. ප්‍රජාපතී ගෝතමිය සුළු මව සෝවාන් තත්ත්වයට පත්විය. පියමහ රජු සමඟ යශෝධරාවගේ මාලිගයට බුදුරදුන් වැඩම කළ මොහොතේ ඇය සිරිපතුල සිපගෙන වැඳ වැටී අඬන්නට පටන් ගත්තා ය. මහා කරුණාවෙන් ඇයට සිත් සේ දුක දුරු කර ගන්නට ඉඩ ලබා දුන්හ. සුද්ධෝදන මහරජතුමා යශෝධරාවන්ගේ ගුණ ගයන්නට වූයේ ය. ඇයගේ ස්වාමි භක්තිය පතිවෘතා ගුණය විශිෂ්ට ලෙස වර්ණනා කළේ ය. සඳකිඳුරු ජාතකය වදාරා යශෝධරාවන්ගේ සසර ගුණ කියමින් බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළ සේක.

බුදුරජාණන් වහන්සේ ජාත ග්‍රාමයට වැඩි තුන් වැනි දා නන්ද කුමරුන්ගේ රාජ්‍යාභිෂේක මංගල්‍යය, ගෘහ ප්‍රවේශ මංගල්‍යය, විවාහ මංගල්‍ය යැයි මංගලත්‍රයයක් විය. එදින රජමාළිගාවට වැඩම කළ බුදුරජාණන් වහන්සේ දන් වළඳා පිටත්ව යන ගමනේ දී නන්ද කුමරුට ස්වකීය පාත්‍රය දුන්හ. බුදුරදුන් පෙරටු කොට යන තම නන්ද කුමරු දුටු ජනපද කල්‍යාණි කුමරිය වහා එන්නැයි නන්ද කුමරුට ප්‍රකාශ කළා ය. එහෙත් සිදු වූයේ නොසිතුව දෙයකි. නන්ද කුමරුට පැවිදි වන්නට බුදුරජාණන් වහන්සේ කළ ඉල්ලීම බැහැර කළ නොහැකි විය. නන්ද කුමරු අකැමැත්තෙන් පැවිදි විය. පසු කලෙක දී සියලු කෙලෙස් නැසූ මහරහතන් වහන්සේ නමක් බවට පත් විය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩම වීමෙන් සත්වැනි දින විසිදහසක් මහා සංඝයා සමඟ මාළිගයට වැඩම කළහ. යශෝධරා දේවිය සත් හැවිරිදි රාහුල කුමරු සරසා නරසීහ ගාථා කියවා දායාද ධනය ඉල්ලා ගන්න යැයි පිතෘ පේ‍්‍රමය උපදවා බුදුරජාණන් වහන්සේ වෙත යැව්වා ය.

දන් වළඳා අවසානයේ මාළිගාවෙන් පිටත්ව යන බුදුරජාණන් වහන්සේ සමඟ පුංචි රාහුල කුමරු ද ආරාමයට ගියේ ය. තමා සතු ධනය රාහුල කුමරුට ලබා දීමට සැරියුත් මහ රහතන් වහන්සේ ආචාර්යවරයා ලෙසත්, මුගලන් මහරහතන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ ලෙසත්, අවවාද ලබා දීම මහා කාශ්‍යප මහ රහතන් වහන්සේටත් පවරමින් සත් හැවිරිදි රාහුල කුමරු පැවිදි කළහ. බුදුරදුන් අත තිබූ සප්තාර්ය ධනය රාහුල හිමියන්ට ලබා දී කෙලෙස් නැසූ රහතන් වහන්සේ නමක් බවට පත් කළහ.

කුඩා රාහුල කුමරු පැවිදි කරවීම සුදොවුන් රජුට දරාගත නොහැකි දුකක් විය. බුදුරදුන් වෙත පැමිණි රජු “ස්වාමීනි, මවුපියන්ගෙන් අවසර නොලත් කුලදරුවන් පැවිදි නොකරන්නැයි ඉල්ලීමක් කළේ ය. බුදුරජාණන් වහන්සේ එය පිළිගත්හ. එදවස පටන් මහණෙනි, මව්පිය අවසරය නොලද කුල දරුවන් පැවිදි නොකළ යුතු යැයි අනුදැන වදාළහ.

පසුදා රාජමාළිගයට පිවිස දන් වැළඳූ බුදුරජාණන් වහන්සේට සුදොවුන් රජතුමා මෙසේ කීවේ ය. “ස්වාමීනි ඔබ වහන්සේ දුෂ්කර ක්‍රියා කරන කාලයෙහි දේවතාවකු අවුත් තොපගේ පුත්‍රයා මළේ යයි කී නමුත් මම එය නොපිළිගතිමි’යි කීය. එකල්හි බුදුරජාණන් වහන්සේ “මහරජ ඔබ දැන් පමණක් නොව පෙරත් එසේ නොපිළිගත්තේ යැයි” කියමින් මහා ධර්මපාල ජාතකය වදාළ සේක. රජතුමා එය අසා අනාගාමී ඵලයට පැමිණියේ ය. සුද්ධෝදන පිය මහ රජු රහත් බවට පත් කොට පිය මහ රජුට ධර්මයේ පිළිසරණ ලබා දුන්හ.

මේ අනුව බලන විට මැදින් පුර පසළොස්වක පොහෝය දිනය හා සම්බන්ධව සිදුවුණූ ශාසනික කාරණා ඉතා වැදගත් වේ. ඔබ ද තම ජීවිතය ගැන තව තවත් සිතා සදාකාලික සැනසීම ඇති කර ගැනීමට අවශ්‍ය කරන ගුණ ධර්ම වර්ධනය කර ගැනීමට උත්සහ කළ යුතු ය.

“උත්තිට්ඨේ නප්ප මජ්ජෙය්‍ය
ධම්මං සුචරිතං චරේ”

යන බුදු වදනට අනුව නැඟී සිටි වීර්යය සහිතව ජීවත් වන්නට තම ජීවිතයේ එදිනෙදා කටයුතු කරනවා සේ ම, ජීවිතයේ පවතින නොසංසිඳෙන ආශාව, වෛරය, පළිගැනීම දුරු කර මානසික සහනය, විමුක්තිය ඇති කර ගැනීමට හේතුවන උතුම් දහම් ප්‍රතිපදාවේ නිරත විය යුතු ය. මේ ඒ සඳහා සුදුසුම කාලයයි.

කලෙකිනි බුදු කෙනෙකුන් උපදින්නේ
දුකකිනි මිනිසත් බව ලැබ ගන්නේ
මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ
සුදනෙනි කිම වීරිය නොකරන්නේ