Print this Article


සංකර සිරිතෙන් හිස උදුම්මා ගැනීම බොදු පිළිවෙත නොවේ

සංකර සිරිතෙන් හිස උදුම්මා ගැනීම බොදු පිළිවෙත නොවේ

කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ බාලිකාවක දෙවැනි ශ්‍රේණියේ දැරියක ලියූ ඉහත මුතු වැකි සමුච්ඡය මා නෙත් සිත් පැහැර ගත්තේ ය.

ගුණ දහම් අමතකවැ, හොඳ සිරිත් වියැකි, වල්විරිත් දෝතින් පිළිගත් වල්මත් සමාජයක, සරු දේ අතහැර නිසරු දේ වැළඳගත් මිනිසුන් වෙසෙන මෙබඳු කාල වකවානුවක මෙවන් පූජනීය සිතිවිලිවලින් පොහොසත් දුවා දරුවන්ගේ නොවක් අදහස් මාගේ මෘතෘභූමිය යුගයෙන් යුගය සාධු සිරිතෙන් ඔප්නංවන බවට වූ සැනසිලිදායක සිතිවිල්ලෙන් මා සිත පහන් විය.

සුපහන් – ප්‍රභාශ්වර චිත්ත සන්තානය නම් වූ සරු බිම තුළ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ෂාවේ ගති සොබාවේ ඡායාවන් විද්‍යමාන වෙයි නම්, සිත් – සතත් තුළ මෙත් මුදිතාදී කරුණා ගුණ වෙයි නම්, එය රටට සමාජයට ලෝකයාට මහත් අස්වැසිල්ලකි.

රටට, සමාජයට වැඩ කළ ඇත්තන් අමතක කර ආටෝප සාටෝප සංකර විරිතෙන් හිස උදුම්මා ගැනීම බොදු පිළිවෙත නොවෙයි. ඉහත මුතුවැකි සමුදාය ලියූ දියණියගේ හද සන්තානය සේ සමනල හදක සිතිවිලි ස්පර්ශ කරන්නට ගුණයෙන් වයසින් වැඩී ඇත්තෝ වග බලා ගත යුත්තේ ය. ළමා පෙළ, ළමා හද ආදරයෙන්, කරුණාවෙන් සුවපත් කරන්නට – නිවන්නට මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණ සමුදායන් ළමා සිතේ පැළ පදියම් කරවන්නට වගබලා ගැනීම වයසින් ගුණයෙන්, මනසින් මුහුකුරා ගිය අයගේ වගකීමයි.

මේ සිරිපා සමයයි. එදා සිරිපා කරුණා කරන පිරිස – නඩය, තම දුෂ්කර ගමනේ වගකීම පැවරුවේ වැඩිහිටියකුට ය. නඩේගුරා ගමනේ – වන්දනාවේ වගකීම අකුරට ම ඉටු කළේ ය.

වඳින්න යන මේ නඩයට –

බුද්ධං සරණේ සරණයි

ධම්මං සරණේ සරණයි

වැඳලා බහින මේ පිරිසට සුමන සමන් දෙවි පිහිටයි

ඒ තුළින් ද විද්‍යමාන වනුයේ අපේකමයි. වැඩිහිටි – අඩුහිටි සබඳතාවයි.

එදා පටන් අවිච්ඡින්නව පැවැතෙන බුදුදහමේ ආභාසයයි. බුදුන් වහන්සේගේ සදූපදේශ මත, අඩිතාලම මත හැදිච්ච ජාතියේ උතුරා දෝර ගලන උතුම් මනුස්සකමයි.

ඊට පදනම වැටුණේ ධම්ම පදය තුළිනි. ජාතක පොත් වහන්සේ තුළිනි. නළපාන ජාතකයේ වැඩිහිටි නායක වඳුරාට ගරු කිරීමෙන්, වැඩිහිටි මතයට අවනත වීමෙන් සිදුවීමට ගිය විශාල අනතුරකින් බේරීමට එදා එම වඳුරු රැළට හැකි විය.

ලේ කිරි කර පොවා දස මස කුස දරා වැදූ අම්මාට, රන් රුධිරය අමිල දහඩිය දරුවන් වෙනුවෙන් කැප කළ, දුව පුතා මහ මිනිසුන් කරන්නට අප්‍රතිහත ධෛර්යයෙන් ක්‍රියා කළ තාත්තාට අවසන් මොහොතේ අවසන් හුස්ම පොද සැනසිල්ලේ වාතලයට මුසු කරන්නට අවැසි විය යුතු ම ය. ඒ සඳහා කායික, මානසික නිරවුල් බව සැනසිල්ල තමා හදා වඩා කරදඬු උස් මහත් කළ, තුන්වේල නොවරදවා කුසගිනි නිවූ මව්පියනට දූ දරුවෝ විසින් දානය කළ යුතු ය. එසේ නොකළ හොත් අම්මාට, තාත්තාට ඉකි බිඳ බිඳ, දුක් කඳුළු වගුරවමින් මෙලොවින් නික්ම යෑමට සිදුවනු ඇත.

මුළු දිවිය ම රටට, සමාජයට කැප කර, ආගන්තුකව මනුලොවට එන දුව පුතාට – ප්‍රසූත වේදනා බරිත ගර්භිණී මාතාවට අංගුලිමාල පිරිතෙන් ආශිර්වාද කරන, කෙනෙක් දිවියෙන් සමුගෙන කැරකෝප්පුවට යන තැන දී අනිච්ඡාවත සංඛාරා අනිත්‍ය සම්ප්‍රයුක්ත ගාථා සජ්ඣායනා කරන තැන දක්වා ගමේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගෙන් වන සේවය හදවතක් ඇති කිසිවකුට කිසිදා අමතක කළ නොහැකි ය.

සමාජයක සද්ජන සමූහයාට, ගමේ පන්සලේ වයෝවෘද්ධ, තපෝවෘද්ධ, ගුණවෘද්ධ නා සමිඳුන්ගෙන් රටට, ගමට, ලොවැට වූ ප්‍රමාණාතික්‍රාන්ත උදාර මෙහෙය අමතක කළ නොහැකි ය.

මුළු දිවි ගමන ම “උදාර බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමකැයි” යන ගරුබුහුමන ඇතිව සුගතියට වඩින ලොකු හාමුදුරුවන්ගේ ආදර්ශ සම්පන්න දිවිපෙවෙත පොඩි හාමුදුරුවන් ද නිදසුන් කොට ගත යුතු ය. ලොකු හාමුදුරුවන් මේ උත්තම භූමියේ උත්තමයකු ලෙසින් සිතා ජීවත්ව සිටින කාලයේ දී ම කළ යුතු සියලු ඇප උපස්ථාන සිදුකොට සිත පහන් කර ගැනීමට හැකි අයුරින් ක්‍රියා කළ යුතු ය.

එවිට බෝසත් ධර්මතාවන් අපි ප්‍රගුණ කළෙමු යන හැඟුමින් පොඩි හිමිවරුන්ගේ සිත් සතන් ප්‍රසන්න වේ ද, සැබවින් ම ඒ වූකලි බෝසත් ධර්මතාවක් ප්‍රගුණ කිරීමකි.

දුරාතීතයේ දී ද වැඩිහිටි බව අදහා වැඩිහිටියනට ගරු කිරීමේ සද්චාරිත්‍ර ධර්මය පැවති බැව් ජාතක පොත් වහන්සේ තුළ එන තින්තිර ජාතක කථාව කමනීයව විස්තර කෙරේ.

හිමාල අරණේ විසූ වඳුරෙක්, වටුවෙක් හා ඇතෙක් තම තමන් අතුරින් කවරෙක් වැඩිමහල් වේ දැයි සොයා එකිනෙකා ප්‍රශ්න නැඟුහ. දිනක් මහා වනස්පති නුග වෘක්ෂයක සෙවණ යට සිටි මේ සත්වයන් අතුරින් අඟින්, බඩින්, කඳින් විශාල ඇත් රජු පවසා සිටියේ මා කුඩා කල මෙතැනින් යන කල අර පෙනෙන දැවැන්ත නුග වෘක්ෂ රාජයාගේ කරටිය තමන්ගේ යටි බඩෙහි ගෑවෙන බවයි.

ඊළඟට ඉදිරියට පැමිණි වඳුරා කියා සිටියේ තමන් කුඩා කාලයේ දී මෙහි මුදුන් දලුව බෙල්ල නොඔසවා ම කඩාගෙන අනුභව කළ බවයි.

අවසානයට පැමිණි වටුකුරුල්ලා පවසා සිටියේ ඊට හාත්පසින් ම වෙනස් කථාවකි. තම මිත්‍රයන් දෙදෙනා අමතමින් "යහළුව, ඉහත අසවල් අරණේ මහා නුග වෘක්ෂයෙක් විය. මම එයින් නුග ඵලයක් අනුභව කොට මෙම ස්ථානයේ වසුරු කිරීමෙන් මේ ගස පැළ විය." ඒ බව කියත්ම සිරුරින් කුඩා වුවත් වටුවා තමන් අතුරින් වැඩිමහලු බැව් දැනගත් තැන පටන් වඳුරා හා ඇතා තමනට වඩා වැඩිමහල් වටුවාට සලකන්නට පටන් ගත්හ.

බුදුරදුන් පූජාච පූජනීයානං, පිදිය යුත්තන්ට පුදන්න යැයි මංගල සූත්‍රයේ දී දේශනා කළ සේක.

මත්වතුර, දුම්වැටි පෝලිම්වල සිට පංච දුශ්චරිතයේ යෙදී, දුරාචාර ක්‍රියාවල නියුතුව, රණ්ඩු සරුවල් කරන ස්ත්‍රී පුරුෂ වැඩිහිටියෝ අද්‍යතන යුගයේ සාරධර්ම සෝදා පාළුවට ඍජුව වගකිව යුතුව ඇත. සැබෑවටම පිදිය යුතු වන්නේ පිදිය යුතු අය ය. එහිලා බුදු, පසේබුදු මහරහත් උතුමෝ ම ප්‍රමුඛස්ථානය ගනිති.

හැදිච්චකම , මනුස්සකම, විනය, හික්මීම, හීලෑ බව මිනිසා තුළ තිබිය යුතු අත්‍යවශ්‍ය ගුණාංගයකි. මිනිසා මනසින් උසස් වන්නේ එවිට ය. තිරිසන් ගත සතා වුව හීලෑ දැමුණු සතෙකු වූ විට එම සතාගේ වටිනාකම අගය තීව්‍ර වෙයි.

සම්බුදු පියාණන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ පෙරහරේ වැඩමවීමට යොදා ගනුයේ මනාව දැමුණූ හීලෑ හස්ති රාජයෙකි. කරඬුව තබන්නේ අශ්වයකු බඳු කලබල, අතිධාවන කාරයකු මත නොවැ, ශාන්ත දාන්ත හස්ති රාජයකු මත ය. දන්ත ධාතුන් වහන්සේ වැඩමවීමට යොදාගත්තේ රාජා හස්තියා, නැදුන්ගමුවේ හස්තියා බඳු දැමුණූු, දෙවියන් සදිසි පුණ්‍යවන්ත මනුලොව හස්ති රාජයන් ය. රාජා ඇතා, නැදුන්ගමුවේ හස්තියා ඉමහත් ජන හරසර මැද මිනිසකුට කළ නොහැකි අද්විතීය අසම සම කාර්යයක නිරත වූයේ ලෝකයක් වශීකෘත කරවමිනි. තිරිසන් ගතියේ උපනත් එම හස්තියෝ ලෝකයාගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර විය.

මහ බෝසතුන් ලෙස සත්‍ය ගවේෂණ වකවානුවේ දී සිදුහත් තවුසාණෝ ආලාර කාලාම, උද්දකරාමපුත්ත යන වයෝවෘද්ධ, ගුණවෘද්ධ, උතුමන්ගේ ආභාසයෙන් ස්ව සන්තාන අභිවෘද්ධියට වීර්යයෙන් ක්‍රියා කළ සේක. බුදුරදුන් බුදුව පළමුව ලොවැට කියාදුන් පාඩම කෘතවේදි බවය. ඇසතු වෘක්ෂය දෙස සතියක් ඇසි පිය නොහෙලා බලා සිටිමින් මුළු මහත් ලෝකයාට ම කළ ගුණ සැලකීමේ අගය වදාළ සේක. ක්‍රියාවෙන් ම පෙන්වූ සේක.

යථාවාදී, තථාකාරි වූ බුදුන් වහන්සේගේ අමිල සදූප දේශයන් ගුරුකොට ගත් ජාතියක්, දේශයක්, ජනතාවක් ලෙස පෙළ ගැසෙමු. බෞද්ධයන්ගේ සැබෑ රුව ගුණ ලොවට ම පෙන්වමු.