Print this Article


කාලයට පැරදුණොත් ජීවිතයම පරදිනවා

කාලයට පැරදුණොත් ජීවිතයම පරදිනවා

අපට නැති වන ඕනෑම දෙයක් නැවත ලබා ගැනීමට විවිධ ක්‍රමවේද තිබේ. වස්තුව, ධනය, ඇඳුම් – පැළඳුම්, ගෙවල් – දොරවල් වතුපිටි, හරකබාන මේ ආදි සම්පත් නැති වුවද ඒවා නැවත ගොඩනඟා ගැනීමට නැත්නම් ලබා ගැනීමට පුළුවන්කමක් ඇත. නමුදු ක්ෂය වී යන කාලය නැවත ලබා ගැනීමට නොහැකි ය. එම උතුම් වටිනා කාලය කළමනාකරණය නොකොට ගෙන ඉදිරියට යෑම නිෂ්ඵල ක්‍රියාවකි. ඒ සඳහා අපට බුද්ධ චරිතය තරම් වටිනා චරිතයක් තවත් හමු නොවනු ඇත.

උන්වහන්සේ මුළු මානව සත්ත්වයාට ම කරුණාවෙන් හා මෛත්‍රියෙන් සේවය කළ අයුරු ඉතා ප්‍රකට ය. සත්ත්වයාගේ දුකට පිහිට වුණ ලොව උතුම්ම ශාස්තෘවරයෙක් වශයෙන් උන්වහන්සේ කාල කළමනාකරණයක් තුළ ඉඳිමින් ම එම කාර්යයන්වල නිරත වූහ.

උන්වහන්සේ දවස කොටස් 5කට බෙදා ගත්හ. සැතපීම උදෙසා පැය 4ක් වැනි සුළු කාලයක් තබාගෙන අන් සියලුම කාලය ලෝක සත්ත්වයාගේ හිත සුව පිණිස, දුක නිවීම පිණිස කැප කළ අයුරු ඉතා අගනේ ය. අද වුව ද කෙනකුට කාලය අපතේ නොයවා කටයුතු කිරීමට අවශ්‍ය නම් බුද්ධ චරිතය ආදර්ශයට ගැනීම පමණක් වුව ද ප්‍රමාණවත් වේ.

බුද්ධ චරිතයෙන් නිතරම නිකුත් වුණේ “අප්පමාදො අමත පදං – පමාදො මච්චුනො පදං” යන දර්ශනයයි. නොපමා වූවෝ නොමියති. (නිවනට යති) පමාවූවෝ මරණය වැළඳගත් මළවුන් වැනි ය යනුවෙනි.

මුළු මහත් ධර්මස්ඛන්ධය ම අන්තර්ගත කරමින් උන්වහන්සේ නිරන්තරයෙන් දේශනා කළේ කාලය අපතේ නොයවා තම විමුක්තිය සලසා ගන්නා ලෙසයි.

අප්පමාද නම් සිහියෙන් කටයුතු කිරීමයි. එනම් නිවන් මඟෙහි ප්‍රතිපත්ති සම්පූර්ණ කරමින් එය සාක්ෂාත් කර ගැනීමට වෙහෙස දැරීමයි.

භික්ෂූන් අමතා බුදුරජාණන් වහන්සේ දේශනා කළ මුල්ම බුද්ධ වචනය වූයේ “මා ඒකේන ද්වේ අගමිත්ථ” දෙදෙනෙක් එක මඟ නොයන්න” යන්නයි. ඒ වචනය තුළ කාලය අපතේ නොයොදවන ලෙස අවධාරණය කොට ඇත.

දෙදෙනෙක් එක මඟ යෑමේ දී ඉලක්කය වැරැදීමට ද පුළුවන. එවිට එක්කෙනෙක්ගෙන් සිදු විය යුතු සේවය ප්‍රමාද වීමට ද පුළුවන. වර්තමාන සමාජය තුළ දැකගත හැක්කේ එක්කෙනෙක්, දෙදෙනෙක් කළ යුතු ක්‍රියා සමහර අවස්ථාවල දී දහදොළොස් දෙනා සිදුකරන අයුරු ය.

“හන්දදානි භික්ඛවෙ ආමන්තයාමි වෝ වධයම්මා සංඛාරා අප්පමාදෙන සම්පාදෙථ” යනුවෙන් බුදුරජාණන්ගේ අන්තිම බුද්ධ වචනය තුළින් දේශනා කළේ මහණෙනි ඔබ අමතමි. හේතු ප්‍රත්‍යයෙන් හටගත් සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළු ය. එබැවින් අප්‍රමාදීව කුසල් දහම් සම්පාදනය කරගන්න යන්නයි.

අප්‍රමාද යන වචනය උන්වහන්සේ යොදා ගත්තේ කාලය තුළ ඇති වටිනාකම කියා දීමටයි. බුදුරදුන් පිරිනිවන් මඤ්චකයේ සිටියදී දහම් කරුණක් අසා දැන ගැනීමට පැමිණි සුභද්‍ර නම් භික්ෂුව වැළැක්වීමට හැදූ ආනන්ද හිමිට බුදු හිමි සඳහන් කළේ ඔහුට එන්න ඉඩ දෙන ලෙසයි. එයින් ද බුදු හිමි සිද්ධ කළේ එම භික්ෂුව කාලයේ වටිනාකම හඳුනාගෙන එම පුංචි කාලය තුළ වුව ද සසර ජය ගැනීමට වෙර දරන බව දැනගෙන ඒ සඳහා උදවු කිරීමයි.

එසේ නම් බුදුරදුන් ලෝක සත්ත්වයාට කියාදුන් එම උතුම් පාඩම වර්තමාන සමාජයට කොතරම් අගනේ ද යන්න සිතා බැලිය යුත්තකි. කාලය නොනැවතී ගමන් කරන බැවින් සත්ත්වයා නිරන්තරයෙන් මාරයාට ළං වෙති. ඒ අනුව සිතීමේ දී තම තමන්ගේ ජීවිත ජය ගැනීමට තම තමන්ම උත්සාහවත් වීම ප්‍රඥාගෝචර වන්නේ ය. තමන්ට පිහිට තමාම බව නිරන්තරයෙන්ම සිතිය යුතු ය.

කාලය රන් හා සමානයි යන කියමනට අනුව සිතීමේ දී අපතේ යවන කාලය අලි ඇතුන්ලවාවත් නැවත ඇද ගැනීමට අපහසු බව සිතිය යුතු ය. වටිනා ජීවිතයන් හිස් ඒවා බවට පත් වීමට ඉඩ නොදි කාලයේ වටිනාකම හැඳිනගෙන එම කාලය තුළින් ලෞකික දියුණුවත්, ලෝකෝත්තර දියුණුවත් ලබා ගැනීමට උත්සාහවත් වීම දුර්ලභව ම ලද මේ මිනිසත් බව ජය ගැනීමට එකම මඟ වන්නේ ය.