[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මසැසින් නොදකින දානයෙහි අනුසස් මනසින් දකිමු

මසැසින් නොදකින දානයෙහි අනුසස් මනසින් දකිමු

දානය කියන වචනයේ ඇති වටිනාකම බුදු කෙනෙකුටම හැර සාමාන්‍ය කෙනකුට පැහැදිලි කිරීමට අපහසු ය. පුහුදුන් සත්වයාට ඇති දැනුම් මට්ටම අනුව එම වචනය විග්‍රහ කර දීමට අපහසු ය. එය බුදු ඇසකට ම මිස සාමාන්‍ය ඇසකට නොපෙනේ. මසැසින් දැකිය නොහැකි දානානිසංසය තියුණු මනසින් ම දැකිය යුතු ය. දානය හා එහි අනුසස් බුදුරදුන් මනාව දේශනා කළහ.

දානය යනු උතුම් ක්‍රියාදාමයකි. එය නිවැරැදි ලෙස සිදු කිරීම තුළින් නිර්වාණය දක්වා ම ගමන් කළ හැකි ය. එසේ වුව ද අද සමාජය තුළ සිදු වන දානමය ක්‍රියා තුළින් නිර්වාණය තබා ලෞකික සැපතවත් ලබා ගැනීම අවිශ්වාස සහගත ය. එයට හේතුව බොහෝදෙනෙක් අද දන්දීම සිදු කරන්නේ තව කෙනෙක් කියනවාට, තව කෙනෙක් කරනවාට, මිය ගිය අය කෙරෙහි බිය නිසා. සමාජයෙන් එන අපවාදවලින් ගැලවීමට, ආදී පටු පරමාර්ථ අරමුණු කොටගෙන වීමයි.

අපට අතින් අත යමක් අනුනට දීම එතරම් අපහසු නැත. එය සාමාන්‍ය දෙයකි. එහෙත් මනසින් චිත්ත තරංග යොමු කිරීම ඉතා අපහසු කාර්යයකි. එසේ වුව ද ඒ සඳහා මනස යොමුකොට පිරිසුදු සිතින් දන් දීම එහි ඇති වටිනාම ක්‍රියාදාමයයි.

මනෝ පුබ්බංගමා ධම්මා
මනෝ සෙට්ඨා මනෝමයා

ධම්ම පදයෙහි යමක වග්ගය තුළ සඳහන් මුල්ම ගාථා යුගලය තුළින් සඳහන් වන්නේ සෑම ක්‍රියාදාමයකට ම මනස සම්බන්ධ වන බවයි. එබැවින් අපට මනස අමතක කොට ශරීරයෙහි ක්‍රියාදාමයක් ලෙස සිතා දන්දීම සිදුකළ නොහැක. මනසින් තොර කිසි දෙයක් කළ නොහැකි ය.

“චිත්තේ නීයතී ලෝකෝ” යනුවෙන් සිත මත මුළු ලෝකයම පවතින බව දේශනා කොට ඇත. ඒ අනුව “චේතනාහං භික්ඛවෙ කම්මං වදාමි” චේතනාව ම කර්මය වේ යනුවෙන් ඒ බව වඩාත් පැහැදිලි කොට ඇත. එසේ නම් දානයක් දීමේ දී එහි නියම ප්‍රතිඵලය ලබා ගැනීමට අප කළ යුත්තේ කුමක්ද? අප කළ යුත්තේ මනස පිරිසුදු කොටගෙන, තුන් සිත පහදවාගෙන දානමය ක්‍රියාවලියට සම්බන්ධ වීම ය. එහිදී අප ඉස්මතු කර ගත යුතු හා යටපත් කර ගත යුතු සිතිවිලි සමුදායක් ද ඇත.

ප්‍රධාන වශයෙන් අප කළ යුත්තේ මනස තුළ පවතින අකුසල මූල වූ ලෝභ, දෝෂ, මෝහ යටපත් කර ගැනීම ය. අප දානයක් දීමේ දී දානය අතින් පූජා කිරීමක් සිද්ධ කළ ද අපට නොපෙනෙන මනස තුළ අත්හැරීම සිදු වනවා ද යන්න සැක සහිත ය. එයට හේතුව එය අපහසු කාර්යයක් බැවිනි. එම නිසාම බුදුරජාණන් වහන්සේ දන්දීම පිළිබඳ හඳුන්වා දීමේ දී පෙන්වා වදාළේ “දානං ච යුද්ධං ච සමානමාහු” දන්දීම යුද්ධ කිරීමක් හා සමාන බවයි.

අප බහුල වශයෙන් යුද්ධ කරන්නේ අතින් පයින් අවි ආයුධවලිනි. එය ද අමාරු කාර්යයකි. ඊටත් වඩා සිය දහස් ගුණයකින් අමාරු කාර්යයක් වන්නේ මනසත් සමඟ යුද්ධ කිරීම ය. එය සිදු වන අවස්ථාවක් ලෙස දන් දෙන අවස්ථාව හැඳින්වීමට පුළුවන.

දන් දීමේ දී යුද්ධයක් සිදු වන්නේ මනසේ පවතින අකුසල සිතිවිලිත් සමඟ ය. ලෝභය යනු ප්‍රධාන අකුසලයයි. එය නැති කිරීම යනු සසර කතරින් මිදීමට පවා මඟ වන්නේ ය. නමුදු පුහුදුන් වැසියා සසරට බොහෝසෙයින් ඇදී බැඳී සිටින හෙයින් එක ආත්මයක දී හෝ ආත්ම ගණනක දී හෝ එය නැති කිරීම අපහසු කාර්යයකි.

අප කළ යුතුව ඇත්තේ දන් දීමේ දී තදංග (තාවකාලික) වශයෙන් හෝ එය යටපත් කරගෙන දන් දීමයි. එම අකුසල මූලය තමන් දෙන වස්තුව කෙරෙහි සෘජුව ම සම්බන්ධ වනු ඇත. තව කෙනකුට යමක් පරිත්‍යාග කිරීම ශරීරික වශයෙන් කළ ද මනසෙන් සිදු කිරීම ඉතා අපහසු ය. තමා දෙන වස්තුව කෙරෙහි කිසිදු ලෝභකමක් නොමැතිව පිරිසුදු චේතනාවෙන් දන්දීම කළ යුතුව ඇත.

බුදුරජාණන් වහන්සේ තරම් නිර්ලෝභීව දන් දුන් උත්තමයෙක් මේ තුන් ලෝකයේ ම තවත් නොමැත. උන්වහන්සේ සාමාන්‍ය ලෙස නොව අසාමාන්‍ය ලෙස තව කෙනකුට කරන්නට තබා සිතා ගන්නටවත් බැරි විලසින් දන්දීම සිදුකර ඇත.

සෝ සාගරේ ජලධිකං රුධිරං අදාසි
භූමිං පරාජිය සමං ස මදාසි දානං
මේරුප්ප මාන මදිකං ච සමෝලි සීසං
කේතාරකා දික තරං නයනං අදාසි

මහා සාගරයේ ජලය පරදවා ලේ දන් දීම, මහ පොළොවේ පස් පරදවා මාංශ දන් දීම, මහා මේරුව පරදවා හිස් දන්දීම, අහසේ තරු පරදවා ඇස් ආදී ශාරීරික කොටස් පවා අසීමිත ලෙස දන් දීම ඒ ඒ භවවලදී බෝසතාණන් වහන්සේ සිදුකළ උතුම් ක්‍රියාවලියකි.

උන්වහන්සේ වෙස්සන්තර ආත්මභාවය තුළ අඹු දරුවන් පවා දන් දුන්හ. සමහර ආත්මවල ජීවිතය පවා දන් දී ඇත. එය සිදු කරන ලද්දේ කාටවත් පෙනෙන්නට හෝ කාගෙන්වත් කීර්ති, ප්‍රශංසා ලබන්නට හෝ එසේ නැත්නම් බියකට හෝ ආපසු ප්‍රතිලාභ අපේක්ෂාවෙන් හෝ නොව, පරම පවිත්‍ර චේතනාවෙන් ලෝක සත්වයා සසර කතරින් මුදවා ගනු වස් බුද්ධත්වය උදෙසා ම ය.

උන්වහන්සේ දන්දීම පාරමිතාවක් වශයෙන් බුද්ධත්වය දක්වා ම පිරිසුදු සිතින් කළහ. එහි අවසාන පරමාර්ථය වූයේ බුද්ධත්වය ලබා ගැනීමයි. ඒ අපේක්ෂාව ඇතිවම පාරමිතා සම්පූර්ණ කොට බුද්ධත්වය සාක්ෂාත් කර ගත්හ. බුද්ධත්වය ලබා ගැනීමට පෙර ආත්මවල උන්වහන්සේට ලෞකික සැප සම්පත් ලැබීමේ වරප්‍රසාද අසීමිත ලෙස තිබුණ ද උන්වහන්සේ ඒවා තුළ ඇලී ගැලී නොසිට දන්දීම බුද්ධත්වය උදෙසාම සිදු කළහ.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දන්දීමේ ප්‍රතිඵලය කෙනකු මා තරම් දන්නේ නම් කෑමට ගත් ආහාර පිඟානෙන් බත් පිඩක්වත් සතකුට හෝ නොදී ආහාරයට නොගන්නා බවයි.

එතුළින් ද දානයේ තිබෙන වටිනාකම හා උන් වහන්සේ දානයට ලබා දී ඇති ස්ථානය පිළිබඳ අවබෝධ කර ගැනීමට පුළුවන. දස පාරමිතා, දස පුණ්‍ය ක්‍රියා, සතර සංග්‍රහ වස්තු, ත්‍රිපුණ්‍ය ක්‍රියා ආදී සෑම ස්ථානයක දී ම දානය යන වචනය මුලට තබා ඇත.

සිල් රකිනවාට වඩා, බණ භාවනා කරනවාට වඩා අමාරුම කාර්යය වන්නේ දන් දීමයි. එය මනසත් සමඟ සම්බන්ධ වී මනසත් සමඟ යුද්ධ කොට අකුසල සිතිවිලි පලවා හැර කළ යුතු වීර ක්‍රියාවකි.

දන් දීමේ දී සිත පිරිසුදු කරගත යුතු දෙවැනි කරුණ වන්නේ දෝෂයයි. එනම් දන් දීමේ දී අපට ඇති වන තරහ ගතියයි. සමහර දෙනෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, මහා සංඝරත්නය කෙරෙහි යන ත්‍රිවිධ රත්නය කෙරෙහි හෝ එක් රත්නයක් කෙරෙහි හෝ ද්වේෂ චේතනාවෙන් පසු වෙමින් දන් දෙනු ඇත. එවිට ද ප්‍රතිඵලය නිෂ්ඵල වන්නේ ය. අපේ සිතේ පවතින මේ ද්වේෂය නම් වූ අකුසල සිතිවිල්ල ද තදංග (තාවකාලික) වශයෙන් යටපත් කර ගත යුතුව ඇත. මෛත්‍රී සහගත චේතනාවෙන් දන් දීම ඉතා වැදගත් වේ. ද්වේෂය නම් වූ අකුසල සිතිවිල්ල යටපත් කරගත් කල්හි ඇති වන්නේ අද්වේෂයයි. එය කුසල සිතිවිල්ලකි. එවිට ප්‍රතිඵලය සාර්ථක වනු ඇත.

දන් දීමේ දී සිතේ පවතින තෙවැනි අකුසල සිතිවිල්ල වන්නේ මෝහයයි. එය ද දන් දීමට බාධා කරන අකුසල සිතිවිල්ලකි. මෝහය යනු මෝඩකම නොහොත් මුළා වීමයි. සමහර දෙනෙක් දන් දීමේ දී එය නිෂ්ඵල ක්‍රියාවක් සේ දැකීමට හුරු වී සිටිති. බුදුරජාණන් වහන්සේ කියා කෙනෙක් සිටියා ද? දන් දීමේ දී පිනක් ලැබෙනවා ද? අප නැවත උපදිනවා ද? කර්මය විපාක දෙනවා ද? ආදී නොයෙක් මිථ්‍යා මතවල එල්බගෙන දන් දෙන ඇත්තෝ ද සිටිති. ඔවුන් එම දානය දුන්න ද ප්‍රතිඵලයක් නොලැබෙනු ඇත.

බුදුරජාණන් වහන්සේ ජීවමාන සමයේ ද එවැනි මිථ්‍යා දෘෂ්ටිකයන් සිටියහ. අද වුව ද නැතිවා නොවේ. එබැවින් දානයක් දීමේ දී මෝහය නම් වූ අකුසල සිතිවිල්ල ද තදංග (තාවකාලික) වශයෙන් යටපත් කොට ගෙන අමෝහය නම් වූ කුසල සිතිවිල්ල ඇති කොටගෙන දන් දිය යුතු ය.

එවිට ලැබෙන ප්‍රතිඵලය මහත් ඵල මහානිසංස වනු ඇත.

“තුන් සිත පහදා ගෙන දුන් දානය

උන් ගිය ගිය තැන ලැබෙයි නිධානය”

ඉහත කරුණු හරි හැටි අවබෝධ නොකොටගෙන ආවාට ගියාට දන් දී කොච්චර දන් දුන්නත් කෝ ප්‍රතිඵල නෑනේ කීමට තරම් සමහරු අනුවණ ය. අහස උසට දන් දුන්න ද එහි ආනිසංස මහත්ඵල මහානිසංස වීමට නම් ඉහතින් කී කරුණු හරි හැටි අවබෝධ කොටගෙන ම දන් දිය යුතු ය.

මැදින් පුර අටවක

පෙබරවාරි 27 සඳුදා
පූ.භා. 01.04 න් පුර අටවක
ලබා 28 අඟහරුවාදා
පූ.භා. 02.25 න් ගෙවේ.
27 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]