[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ස්වර්ණ වර්ණයෙන් සැරසෙන ‍ෙඑතිහාසික කන්දේ විහාරය

ස්වර්ණ වර්ණයෙන් සැරසෙන ‍ෙඑතිහාසික කන්දේ විහාරය

ඓතිහාසික අලුත්ගම්බද්දේ ශ්‍රී ක්‍ෂේත්‍රාරාම කන්දේ විහාරයේ අභිනව විහාරාධිපති පූජ්‍යපාද කොක්කාවිට විපුලසාර මාහිමිපාණන් වහන්සේගේ නව පරිපාලනය යටතේ සංවර්ධන ව්‍යාපෘති රැසක් කෙරෙමින් පවතින ආකාරය මේ දිනවල කන්දේ විහාරයේ සැම අතෙකම දිස්වන්නකි.

ගරුතර මෙසිරිලක තොටමුණය කළුතර
සිරිපිරි අලුත්ගම් බද්දේ නම් පවර
පරසිඳු නෙක ලෙසින් යුත් කන්දේ වෙහෙර
කළ සිතුවම් බල සකි බබළන නිතර

දෙව් මිත් යති තුමා කරපාගල පොරණ
අව් රස් එ යති බෙන්තර තෙරිඳු සසොබන
සව් සත් ලොබ වඩන මෙම වෙහෙර පෙරදින
සිව් තිස් වස දහස් සත්සිය පුරාතන

ඓතිහාසික අලුත්ගම්බද්දේ ක්‍ෂේත්‍රාරාම කන්දේ විහාරය ආරම්භය ක්‍රි.ව. 1734 සිදු වූ බව එහි සමන් දේවාලයේ බිත්තියක ලියා ඇති ඉහත පද්‍ය දෙකෙන් කියැවේ.

රුහුණේ ඉතිහාසය ගැන දැඩි උනන්දුවක් දැක්වූ හා ඒ ආශ්‍රිත ඓතිහාසික නවකතා හා ශාස්ත්‍රීය ලිපි රැසක් පළ කළ මහාචාර්ය බන්දුසේන ගුණසේකර වියතුන්ගේ මතය අතීතයේ කැලණි ගඟෙන් හා මහවැලි ගඟෙන් පහත සමස්ත ප්‍රදේශය ම රුහුණ වූ බවත්, කාලය ගෙවෙද්දී එම මායිම කෙමෙන් පහතට එමින් අවසානයේ බෙන්තර ගඟට සීමා වූ බවත් ය.

අෂ්ඨ මහා විහාරයන්ට අයත් ගලපාත විහාරයේ ඉතිහාසය ලක්දිව බුදු සසුන ස්ථාපිත කළ දේවානම්පියතිස්ස රජ දවස දක්වා ම දිවෙනා බව කියැවේ. පසුව දකුණ ඒකරාශී කළ කාවන්තිස්ස රජතුමා ගව්වෙන් ගව්ව වෙහෙර විහාර ඉදිකිරීම යටතේ මෙම විහාරය මුල්තැන්හි සංවර්ධනය වූ බවත්, ඉක්බිති එළාර රජු ජය ගෙන ඒකීය තුන් සිංහලයේ මහ රජු ලෙස කිරුළු පැළඳී දුටුගැමුණු රජතුමා සිය සොයුරු සද්ධාතිස්ස කුමරු අත මහා කාශ්‍යප රහතන් වහන්සේගේ දළදා ධාතුන් වහන්සේ බෙන්තර ගල තුරු මුල විහාරයට එවූ බවත්, ඒ ධාතුන් වහන්සේ වැඩම වූ පෙරහර පසුව අද වාර්ෂිකව පැවැත්වෙන බෙන්තොට දළදා පෙරහරේ මූලාරම්භය බවත් කියැවේ.

එම ගලපාත විහාරයෙන් බිහි වූ සඟ පරපුර නැවත බෙන්තර ගඟෙන් එතෙරට වැඩම කොට බස්නාහිර පළාතේ වැඩසිටිමින් රුහුණේ උරුමය රකින මහා පින්බිම ලෙස ඓතිහාසික අලුත්ගම්බද්දේ ක්‍ෂේත්‍රාරාම කන්දේ විහාරය හැඳීන්විය හැක.

බෙන්තොට ගලපාත විහාරයෙහි වැඩවාසය කළ දෙද්දුව ධම්මානන්ද යතිවරයන් වහන්සේගේ ශිෂ්‍ය උඩුගම චන්දසාර තෙරුන් වහන්සේ ක්‍රි.ව. 1734 වසරෙහි මෙම පින්බර කඳුගැටය මත ප්‍රථම වස්විසීම ඓතිහාසික අලුත්ගම්බද්දේ ක්‍ෂේත්‍රාරාම කන්දේ විහාරයෙහි ආරම්භය බව කියැවේ.

පසුව උන්වහන්සේගේ ශිෂ්‍ය කරපාගල දේවමිත්ත තෙරුන් වහන්සේ වෙත මෙම කන්දේ විහාරය පවරා නිත්‍ය නේවාසික යතිවරයාණන් ලෙස එහි ආවාසගෙය සහ අනෙකුත් විහාරාංග නිර්මාණය කරවන්නට යෙදී ඇත.


ඓතිහාසික කන්දේ විහාරාධිපති විනයාචාර්ය කොක්කාවිට විපුලසාර නා හිමි

ඉක්බිති පිළිවෙළින් බෙන්තර සෝණුත්තර, මහගොඩ ධම්මදස්සී, මාලේවන සුමන, මාලේවන සීලවංස, පින්නගොඩ අත්ථදස්සී යන මහා ස්ථවිරයන් වහන්සේ කන්දේ විහාරාධිපති පදවිය ඉසිලූහ.

පින්නගොඩ අත්ථදස්සී නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍ය පොතුවිල සරණතිස්ස හිමිපාණන්ගේ යුගය කන්දේ විහාරයේ ස්වර්ණමය යුගය යැයි කියැවේ. 1885 වසරෙහි කොළඹ මාලිගාකන්ද විද්‍යොදය පිරිවෙණට ඇතුළත්ව එහි පරිවෙණාධිපතිව වැඩවිසූ බෝධිසත්ව ගුණෝපේත හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමිපාණන් වහන්සේ සෙවණේ දීප්තිමත් ශිෂ්‍යවරයෙක් ලෙස 1901 වසරේ රාජකීය පණ්ඩිත ශ්‍යාමරාජ ත්‍යාගය දිනාගත් උන්වහන්සේ 1904 වසරේ කන්දේ විහාරස්ථ ක්‍ෂෙත්‍රාරාම පිරිවෙන ආරම්භ කළහ.

ඒ ආගමික හා අධ්‍යාපනික සේවාවේ විශේෂිතම කාර්යයක් වූ, පොතපත එළිදැක්වීම දුලබ එවක උන්වහන්සේගේ සංස්කාරකත්වයෙන් පළ කළ වාගීශොදය ශාස්ත්‍රීය සංග්‍රහය එළි දැක්වීම ක්‍ෂෙත්‍රාරාම පිරිවෙන් ඉතිහාසයේ රන් සලකුණකි.

පසුව එළැඹී ලෝක මහා යුද්ධය සමඟ වසා දැමුණු ක්‍ෂෙත්‍රාරාම පිරිවෙන 1971 වසරේ නැවත ආරම්භ කෙරුණේ හීනටියන්ගල ජිනාරාම නාහිමිපාණන් වහන්සේගේ යුගයේ දී ය.

උන්වහන්සේගේ ශිෂ්‍යවරයන් වූයේ බටුවන්හේනේ බුද්ධරක්ඛිත, අරම ධම්මතිලක, යටදොළවත්තේ අරියවංස, කොක්කාවිට විපුලසාර හිමිපාණන් වහන්සේලා ය. ජිනාරාම නාහිමිපාණන් වහන්සේ අපවත්වීමෙන් උන්වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ කන්දේ විහාරාධිපති පදවියට පත්වූහ. ඒ වන විට පරිවෙණාධිපති ධුරය හෙබවූයේ උන්වහන්සේගේ පැවිදි සහෝදර යටදොළවත්තේ අරියවංස මාහිමිපාණන් වහන්සේ ය.

කන්දේ විහාරයේ දීප්තිමත්ම යුගය ආරම්භ වන්නේ ඉන් පසුව බව බොහෝ අයගේ අදහසයි. කන්දේ විහාර පින් බිමත්, ඒ හා බැඳුණු අනෙකුත් විහාරස්ථාන වන අලුත්ගම ගණේගම පූර්වාරාමය, කාලවිල ශ්‍රී සුදර්ශනාරාමය, තොටකනත්ත කුසුමරුක්ඛාරාමය, කොළඹ, මරදාන තිස්සාරාමය යන විහාරස්ථාන ද වැඩිදියුණු කරමින් විහාරාංග ඉදිකරමින් ද, පන්සලෙන් බැහැර පාසල් ගොඩනැඟිලි, සමිති සමාගම් සඳහා ආධාර කිරීම්, පාසල් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම් මෙන්ම දුප්පතුන්ට, රෝගීන්ට, ලේඛකයන්ට, කලාකරුවන්ට උදව් උපකාර කරමින් ද උන්වහන්සේ කටයුතු කළේ නූතන වෙසතුරු රජෙකු ලෙස බව කාගේත් මතයයි.

මේ අතර ඉහත කී සහෝදර ශිෂ්‍ය සමාගමයේ කොක්කාවිට විපුලසාර හිමිපාණන් වහන්සේ කන්දේ විහාරයේ ආගමික හා ජාතික සේවාවන් ජාත්‍යන්තරයට ද ගෙන යමින් අමෙරිකාවට වැඩම කර අමෙරිකාවේ ප්ලොරිඩා බෞද්ධ විහාරස්ථානය ආරම්භ කරමින් ධර්ම සේවාවේ යෙදෙන අතරම කන්දේ විහාරයේ සම්බන්ධතාව ද රැක ගනිමින් වැඩ විසූ නමුදු පරිවෙණාධිපති යටදොළවත්තේ අරියවංස මාහිමි රෝගාතුර වීමත් සමග උන්වහන්සේට නැවතත් කන්දේ විහාරස්ථානය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන්නට සිදු විය.

යටදොළවත්තේ මාහිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු නැවත අමෙරිකාවට වැඩම කළ ද බුද්ධරක්ඛිත නාහිමිපාණන් වහන්සේ ද ගිලන් වීමත් සමඟ ආපසු කන්දේ විහාරයට වැඩම කරන්නට විපුලසාර මාහිමිපාණන්ට සිදු විය.

2018 දෙසැම්බරයේ බටුවන්හේනේ බුද්ධරක්ඛිත නාහිමි අපවත්වීමෙන් පසු චාරිත්‍රානුකූලව සංඝ සභාවේ හා දායකකාරකාදීන්ගේ සම්මුතියෙන් ක්‍ෂෙත්‍රාරාම කන්දේ විහාරස්ථානයේ විහාරාධිපති තනතුරට පත්වන්නේ කොක්කාවිට විපුලසාර මාහිමිපාණන් වහන්සේ ය.

විපුලසාර මාහිපාණන් වහන්සේ නව විහාරාධිපති පදවි ප්‍රාප්ත පුණ්‍යෙීත්සවයේ දී එම පදවිය බාර ගනිමින් වදාළේ “මා, මේ ඓතිහාසික කන්දේ විහාරයේ අධිපතිභාවය නොව භාරකරුවාගේ මෙහෙවර බාර ගන්නා බවත්, විහාරස්ථානයේ ආරම්භක හිමිපාණන් වහන්සේගේ සිට බුද්ධරක්ඛිත නාහිමි දක්වා විහාරාධීපතින් වහන්සේලා කරගෙන ආ ආගමික හා සාමාජයීය මෙහෙවර වඩාත් යහපත් ආකාරයෙන් හා මනා කළමනාකාරීත්වයකින් ඉදිරියටත් පවත්වාගෙන යන බවත්, මෙම පින්බිම සතු කිසිදු සාංඝික දේපළක්, ධනයක් නුසුදුසු ආකාරයෙන් නොයොදවන බවත්”ය.

එතැන් සිට අද දක්වා අප නව විහාරාධිපති විපුලසාර නාහිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි කන්දේ විහාරය පරිපාලනය වඩාත් ක්‍රමාණුකූලව ද, තව තවත් දියුණුවට පත්වෙමින් ද ඇති අපූරුව විහාරස්ථානයට පැමිණෙන කාටත් මැනැවින් දකින්නට ලැබේ.

ඒ අතර විහාර මන්දිරයට පිවිසෙන වාහල්කඩ හා ප්‍රාකාරය නවීකරණය, විහාර භූමිය ගල් ඇතිරවීම, පහන් ශාලාව, සම්බුදු තෙමඟුල මූර්තිමත් තොරණ සහ එතැන පිවිසුම් දොරටුව ඉදිකිරීම දැනට සිදු කෙරී ඇති අතර, විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ගය දෙපස ප්‍රාකාර නුවර පෙරහර මූර්තිමත් කරමින් නවීකරණය කිරීම මේ දිනවල සිදු කෙරෙමින් පවතී.

කන්දේ විහාරයේ සංකීර්ණ ම කාර්යය වන්නේ සිව් මහල් ගොඩනැගිල්ලක් මත පිහිටුවා ඇති දකුණු ආසියාවේ විශාලතම හිඳී බුදු පිළිම වහන්සේ ගෞරවනීය ආකාරයෙන් පවත්වාගෙන යාම ය. එහි අලුත්වැඩියා කටයුතු යනු පහසුවෙන් කළ හැකි කාර්යයක් නොවේ. එය මනා ඉංජිනේරු උපදෙස් හා නවීන තාක්ෂණය උපරිමව අත්‍යවශ්‍ය වන්නකි. ඒ නිසාවෙන් ම කලකින් අලුත්වැඩියා නොකෙරුණු මහ බුදුපිළිම වහන්සේගේ අලුත්වැඩියා කටයුතු හා තීන්ත ආලේප කිරීම ආරම්භ කිරීමට ඇවැසි කටයුතු සියල්ල මේ වන විට සාකච්ඡා කර ඇත.

ඓතිහාසික අලුත්ගම්බද්දේ ක්‍ෂෙත්‍රාරාම කන්දේ විහාරය හා අමෙරිකාවේ ප්ලොරිඩා බෞද්ධ විහාරය යන උභය විහාරාධිපති, පූජ්‍යපාද කොක්කාවිට විපුලසාර නාහිමිපාණන් වහන්සේගේ උදාර සාසනික සේවාව පිළිබඳ කැපවීම කන්දේ විහාර ඉතිහාසයට එක් කරමින් මේ සියලු කටයුතු අවසන්ව, එළඹෙන වෛශාඛ මංගල්‍යයේ දී කන්දේ විහාරය ස්වර්ණ වර්ණයෙන් බබළන ආකාරය දැකගත හැකි වනු ඇත. තිසරණ බෙලෙන් ඒ සියලු කටයුතු සාර්ථක වේවා යි අපි ද ප්‍රාර්ථනා කරමු.

මැදින් පුර අටවක

පෙබරවාරි 27 සඳුදා
පූ.භා. 01.04 න් පුර අටවක
ලබා 28 අඟහරුවාදා
පූ.භා. 02.25 න් ගෙවේ.
27 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]