[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

පහන් සිතක කවි

දහමට සිත ...

බුදුන් වැඩිය රට
දහම පිහිටි රට
ලංකා අප රට
මගේම මව් රට

සම්බුදු ගුණයට
පිබිදුණු මගෙරට
තිසරණ සරණට
පෙරටම අපරට

උදේට සවසට
බුදුන් වඳින විට
කරුණා ගුණයට
බණටයි මසිත ම

****

හුදකලාව

ගිය කල එකිනෙක සිතිවිලි ගියා වේ
මතු කල අයත් සැලැසුම් ඔහෙ ගියා වේ
එළඹි මොහොත සිත සන්සුන් වුණා වේ
එය දකිමින් සිටිමු අපි හුදකලා වේ

****

සතුට

කරදර හිංසා සතුනට නොකරන්න
ඔබේ පණට මෙන් මෙත්සිත පතුරන්න
මෙදියත උපන් සතහට ජීවත් වෙන්න
අයිතිය තිබේ ඒ බව සිහියට ගන්න

මගේ දෙයක් තවකකු ගතහොත් හොරට
හැඟේ දුකක් යළි යළි මාගේ සිතට
අගේ කරන් අන්සතු දේ ගැනීමට
ඇඟේ හැපුණ මුත් නොගනිව් මෙතැන් සිට

ඇස, කන, නැහැය, දිව, කය සහ තම මනස
වැරැදි අයුරු පිනවනු හොඳ නැහැ එලෙස
නිවැරැදි හැසිරීම බුදුහිමි දෙසු විලස
අයහපතක් නොම වේ යහපතක් මිස

ඇත්ත කතාවෙන් පමණක් ඔබගේ සිතිවිලි
තිත්ත කථා බොරුව එපා ඉන් වෙයි පැටලිලි
පැත්ත ගියත් ඇත්ත තමයි වෙන්නේ කලඑළි
චිත්ත සතුට ඉන් ලැබෙනව නොනැඟේ මැසිවිලි

****

අම්මා වන්දනාවේ ගිහින්

මහගෙදර පාලුයි - පිරිත් හඬ නෑසෙයි
වැටගාව මල් පිපුණු - සමන් පිච්ච මල් වැලේ
සමන් මල් වට්ටියකි - මල් නෙළන්නේ නැද්ද
සුළං රැළි අහනවා

වැල් පොටේ වනා ඇති - පුංචි මල් චීත්තය
සුළඟේ වෙළී අතවනයි - මට හරිම දුක හිතෙයි
කුස්සියේ දර ලිප නිවී ඇත
වතුර බොන්නට ගිහින් - කළේ බිඳුණා
තේ ටිකක් බොන්නට ගිහින් - අතක් පිච්චුණා

අම්මා නැති එකම දවසට
හොඳට ම කරදර වුණා
වෙසක් පෝයට අපේ අම්මා
ගිහින් වට වන්දනාවේ

****

යටවීම

ණැනවතුන් ද මෝඩයන් ද ඇලී ගැලීලා
දුප්පතුන් ද පොහොසතුන් ද නොමැත කියාලා
බණ දහම් ද උගත්කම් ද මතට යටවෙලා
පස්වැනි සිල්පදය කඩයි එකට හැපීලා

****

මෙත් බුදු හිමියනි

මෙත් බුදු පියාණන් ඉපදුණ යම් දිනෙක
මම ඉපදේවිදෝ යළි දුප්පත් පැලක
පිපි වනමල් නෙළා දෝතට එකින් එක
බුදු සිරිපතුල පුද සරසමි හනි හනික

වනයෙන් වී කොටා සුවඳැල් සහල් තනා
කිරියෙන් රසට රස පිරි කිරිබතක් තනා
රන්වන් තැටි නොමැත මැටි තැටියකට උනා
කිරි ආහාර පුදනව සිත තුටින් පිනා

දෙඅත නළලෙ තබමින් ළඟ දනින් වැටී
දෙනෙත අයා බලනෙමි බණ දෙසන හැටී
මදනල සිසිල ගෙන්වා ගිම් නිවමි කුටී
මට පවසන්න නනිවනට මඟ සොයන සැටී

****

රාහුල පුතුනි

දෙතිස් ලකුණින්
පිරිපුන්
ඔබේ පියා කුමරුනේ
අර වඩින්නේ සෙනඟ අතරින්
එකසිය අටක් වූ මඟුල් ලකුණින් පිරිපුන්
ඔබෙ පියතුමා
අර වඩින්නේ

දිව ගොස් අතේ දැවටීගෙන
ඉල්ලන්න කුමරුනේ
දායාද ඔබෙ පියාගෙන්

****

පමාව

නොකළ දහසක් හොඳ දේ
කළ යුතු
සිතෙනමුත්
ජීවිතේ අග
වෙසෙන මට

නොසිතූ නොපැතු ලෙස
කිසිම දේකට නොම තබා ඉඩ
කාලය රුදු ලෙසින්
මා සමඟ කාලය
කා දමා ඇති අයුරු
හරි විස්මය ජනකය

****

වදන් සොයමි

සමිඳුනි ඔබේ ගුණ තේජස කියන්නට
සමිඳුනි ඔබේ දම් තේජස ලියන්නට
සමිඳුනි ඔබේ ඥාණයෙ බල කියන්නට
කවියට වදන් නැහැ මේ වග වනන්නට

****

දස පින් ක්‍රියා

කෙනකුට දේ පුදන හොඳ හිත මුල්ම සෙත
රැකිවිට පිළිවෙතින් යස යහ ගුණය ඇත
දියුණට ගෙනෙන සිත යා යුතු නොසැලි වත
මුල සිට දාන සීලය භාවනා ගත

පින් කොට වෙනත් අයකුට පිදු වගට සෙත
අන් අයගේ කුසල් තමනට ගැනුම ඇත
රත්නත්‍රයට මව්පිය ගුරු පාන හිත
පත්තිය දාන පත්තානය වතා වත

ගරු කටයුතු අයට එම තැන්වලට සෙත
සරු දම් දේශනා ශ්‍රවණය දෙකකි හිත
හුරු දැක්මකින් නිවැරැදි ලොව දකින නෙත
කරුණු මෙලෙස දස පුණ්‍ය ක්‍රියා වෙත

මැදින් පුර අටවක

පෙබරවාරි 27 සඳුදා
පූ.භා. 01.04 න් පුර අටවක
ලබා 28 අඟහරුවාදා
පූ.භා. 02.25 න් ගෙවේ.
27 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]