[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

නුවණැත්තෝ උඩඟු නොවෙති

නුවණැත්තෝ උඩඟු නොවෙති

පෙර දවස බරණැස් නුවර දිසාපාමොක් ඇදුරු ආශි‍්‍රතව පන්සියයක් මානවකයෝ ත්‍රිවේදය හදාරති. ඔවුහු අතිදක්ෂ ය. ශිල්ප දරා ගනිමින් උගනිති. ඇදුරාණෝ ද ආචාර්ය මුෂ්ටියක් නොකොට ම කළෙයෙහි ඉතිරි ජලය වගුරන්නාක් මෙන් උගන්වීය. අවසනායේ ඒ මානවකයන්ට මෙසේ කීහ.

දිට්ඨ ධම්ම පරම්පරාය වූ මේ ශාස්ත්‍රය මෙ පමණකි. එවිට ඒ මානවකයෝ ඇදුරාණෝ යමක් දනිත් ද, අපිදු එය දැනුම්හ. අපිත් දැන් ආචාර්යයෝ ම යැයි මාන්නය උපද්දවා ගත්හ. එතැන් පටන් ආචාර්යවරයාට ගෞරව රහිත වූහ. වතාවත්වලින් ද වැළකී විසූහ. ආචාර්යතුමාට ඒ බැව් දැනුණි. මොවුන්ගේ මාන්නය බිඳින්නෙමි යැයි සිතුවේ ය. දිනක් ඔවුන් රැස් කරවා පැනයක් විමසී ය.

“දරුවනි, කාලය (පෙරබත් පසුබත්) සියලුම සත්ත්වයන් සමඟින් තමා ද කා දමයි. මත්තෙහි (ප්‍රතිසන්ධිය) ක්ෂය කළා වූ යම් ක්ෂණාශ්‍රවයකු වේ ද, ඒ ක්ෂීණාශ්‍රව තෙමේ සත්ත්වයන් සතර අපායට පත්කරන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද එය ඥාන නමැති ගින්නෙන් දවාලී ය.”

දරුවනි, ඔබ මේ ප්‍රශ්නය විසඳවයි කීහ. ඔවුහු මෙය නොදන්නේ තුෂ්ණීම්භූත වූහ. මෙය තේරුම් ගත් ඇදුරුතුමා “දරුවනි, කම් නැත, අද යන්න. හෙට කියන්න ය’යි ඔවුන් පිටත්කර හැරීය. එසේ ගිය ඔවුන් දස දෙනා, විසි දෙනා සේ රැස්ව සාකච්ඡා කරන්නේ, ප්‍රශ්නයේ මුල ද නොතේරේ. ප්‍රශ්නයේ අග ද නොතේරේ. එහෙයින් නැවත පෙරළා ගොස් ආචාර්යතුමාගෙන් ප්‍රශ්නයේ අර්ථය පවා නොදන්නෙමු යැයි දැන්වූහ. මෙහිදී ආචාර්යතුමා ඔවුනගේ මාන්නය බිඳ හෙළීමට නිග්‍රහ කරමින් මෙසේ කීය.

“බොහෝ මනුෂ්‍යයන්ගේ ඔලු ගෙඩි දක්නට ලැබේ. (බෙල්ලෙන් උඩ) රෝම, කෙස් සහිතව, මහත් විශාලව තල් ගෙඩි මෙන් එය පිහිටා ඇත. එහෙත් එහි ප්‍රඥාව ඇත්තේ කිසිවකුට පමණි.”

මෙබස් ඇසූ මානවකයෝ ලජ්ජාවූහ. නැමූ කඳ ඇත්තේ වූහ. බිම බැලූ මුහුණු ඇත්තේ වූහ. පාඟිල්ලෙන් බිම ඉරි අඳිමින් තුෂ්ණිම්භූත වූහ. මෙහි දී ඔවුන්ගේ ලජ්ජා සහිත බව දුටු ඇදුරාණෝ “දරුවනි, ප්‍රශ්නය උගනිවු” යැයි කියා ප්‍රශ්නය විසඳී ය.

“කාලය යනු දිවා (පෙරබත්) රාත්‍රිය (පසුබත්) දෙකයි. දිවා රාත්‍රී දෙක්හි ගෙවී යන මේ කාලය විසින් සත්ත්වයන්ගේ මස් ද නොකයි. සම් ද නොකයි. ඇට ද නොකයි. එසේ වී නමුත් ඔවුන්ගේ ආයුෂ ද වර්ණය ද, බලය ද ක්ෂය කරමින් යොවුන් බව නසමින්, නිරෝගී බව ද කාදමයි. මෙහිදී කිසිවකු නොහරියි. සියල්ලෝ ම කයි. තමා ද සමඟ කයි. මත්තෙහි ප්‍රතිසන්ධිය ක්ෂය කළෝ ක්ෂීණාශ්‍රවයෝ ය. ඒ ක්ෂීණාශ්‍රව උතුමෝ යම් මේ තණ්හාවක් සත්ත්වයන් අපායේ හෙළයි ද (ප්‍රතිසන්ධිය ගෙනදෙයි ද) ඒ තණ්හාව, ප්‍රඥා නමැති ගින්නෙන් දවා අළු කළේ යි” යනුයි.

මෙහිදී ඒ මානවකයෝ රාත්‍රියෙහි වූ අඳුර පහන් දහසක ආලෝකයෙන් දුරුවී යන්නා සේ ආචාර්යන්ගේ ඒ විසඳීමෙන් ප්‍රශ්නයාගේ අර්ථය ප්‍රකටව දැන ගත්හ.

අපි දිවි ඇතිතෙක් ගුරුවාසයෙහි වසන්නෙමු ය. මේ ආචාර්යෝ නම් මහත් ප්‍රඥා ඇත්තේ ය. යම් හෙයකින් අපි බහුශ්‍රැත යැයි යන මානය උපදවා ගෙන සිටිමුත් සිවුපද ගාථාවක ද අර්ථය නොදැන සිටියෙමු. එහෙයින් මාන්නය දුරල වූ ඔවුහු පෙර මෙන් ම ආචාර්යයන්ට වත් පිළිවෙත් කොට මිය පරලොව ගියහ.

මූලපරියාය ජාතක කතාව ඇසුරිනි.

මැදින් පුර අටවක

පෙබරවාරි 27 සඳුදා
පූ.භා. 01.04 න් පුර අටවක
ලබා 28 අඟහරුවාදා
පූ.භා. 02.25 න් ගෙවේ.
27 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

Second Quarterඅව අටවක

මාර්තු 15

Full Moonඅමාවක

මාර්තු 21

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]