Print this Article


පාපය සැඟවුව ද විපාකයෙන් ගැලවීමක් නැත

පාපය සැඟවුව ද විපාකයෙන් ගැලවීමක් නැත

කරන පවු හෙළිවනවාට කිසිවෙක් අකැමැති ය. පවුකම් කොට ඒවා සැඟවීමේ ස්වභාවය මායා නම් වේ.

වත්මන් සමාජයේ බහුතරයක් මිනිසුන්ගේ ජීවිතවලට බොහෝ දුක් ගෙන දෙන ක්ලේෂයක් ලෙස මායාව හඳුන්වාදිය හැකි ය. තමන් තුළ නැති ගුණ ඇතැයි සිතමින්, කියමින්, මවා පෙන්වමින් සිත අපිරිසුදු කර ගැනීම මානයෙන් පෙළෙන පුද්ගලයාගේ සිරිතයි.

මෙය කවුරුන් විසින් හෝ අප වෙත ලබා දෙන අවගුණයන් නොව අවිද්‍යාව නිසා අප විසින් ම අප තුළ ගොඩනඟා ගන්නා අකුසල ධර්මයෙකි.

රාත්‍රී කාලයේ දී ගෙයක් බිඳ දේපළ පැහැර ගන්නා සොර දෙටුවා ම සොරා සොයා ගැනීමට පොලිසියට උදවු කළ අවස්ථා ගැන අප මාධ්‍ය තුළින් කොතෙකුත් අසා ඇත්තෙමු. මනුෂ්‍ය ඝාතකයන් ද ඇතැම් විටෙක අපරාධය හෙළිදරව් වන තුරුම සුදනන් සේ ජීවත් වෙති. එහෙත් තමන් විසින් කරන ලද පවුකම් වසන් කරමින් ඔවුනට කොපමණ කලක් ජීවත් විය හැකි දැයි විමසා බලනවිට ඒ කාල සීමාව ඉතාම කෙටි බව ඔබත් අත් විඳ ඇතැයි සිතමි. සමාජයෙන් මොන තරම් කෙටිකාලීන පැසසුම් ලද්දේ ද මායාව නමැති ක්ලේෂයෙන් යම් අපරාධයක් කළ මොහොතේ පටන් ඔහුට ගැලවීමක් නැත්තේ ම ය. හදවතින් විඳවමින්, ගැහෙමින්, තැවෙමින්, දැවෙමින් බයෙන් ජීවත් වී අවසානයේ දී මෙලොව දී ම රාජ දණ්ඩනයන් ලබා අවසානයේ දී පරලොව ද දුගතිගාමී වන්නේ ම යැයි අප තථාගතයන් වහන්සේ තුන්කල් දකින නුවණින් දේශනා කොට වදාළ සේක.

ජංගම දුරකතනය, ඇඳුම පැළඳුම, යතුරුපැදිය, වාහනය වැනි තරුණයන්ගේ මායාවන්ට හසු වී ජීවිතය ම අඳුරු කර ගන්නා තරුණියන් කොතෙක් නම් අප අතර වේ ද? සම්බුද්ධ දේශනාව ඇසුරු කළ බොදු දරුවන් මෙකී විනාශකාරී මායා නම් ක්ලේශය හඳුනා ගන්නා බැවින් එවන් අනතුරක නම් කිසිදාක නොවැටෙත්, මන්දයත් තමන් වෙත සැබැවින් ම නැති දේ මවාපාන දුර්ජනයා ප්‍රඥාවෙන් යුතුව හඳුනාගන්නා බැවිනි.

මායාවෙන් ම මුළා වී එයින් ම ජීවනෝපාය ද සාදා ගනිමින් මෙලොව ද දුක්විඳ, පරලොව ද දුගතිගාමීව සතර අපායේ වැටෙන මිනිසුන් අතර මායාව නමැති පාපී කෙලෙසින් දුරුවූවන් ද බොහෝ වෙති. තමන්ට මවුපියන්ගෙන් උරුම වූ දේපළින් ද, තමන් විසින් උපයා සපයා ගත් සාධාරණ ධන සම්පතින් ද, අසීමිත නැණ නුවණින් ද ආඪ්‍ය වූ බෝධිසත්ව ගුණෝපේත උතුමන් ද අපි දැක ඇත්තෙමු. කොතරම් සැප සම්පත් තිබුණේ ද තම සේවකකාරකාදීන්ට යහපත් වචනයෙන් කතා කෙරෙමින්, ඔවුන්ගේ දුක සැප සොයා බලමින්, තමන්ගේ සහෝදරයන්ට මෙන් සලකන මායාවෙන් තොර හාම්පුතුන් මෙලොව සිත සතුටින් ජීවත් වී පිරිසුදු සිතින් නොයෙකුත් පින් දහම් කොට පරලොව දෙව් මිනිස් සැප විඳ කෙළවර නිර්වාණාවබෝධය ලබන්නෝ මෙවන් උතුමෝ ම වන්නා හු ය.

ඒකං ධම්මං අතීතස්ස
මුසාවාදිස්ස ජන්තුනො
විතිණ්ණපරලෝකස්ස
නත්ථි පාපං අකාරියං

ඇත්ත කීම නම් එකම දහම ඉක්ම වූ, නැතහොත් බොරු කියන, පරලොව ගැන තැකීමක් නැති පුද්ගලයා විසින් නොකොට හැකි පවක් නැත.

ධම්ම පදය... ලෝක වග්ග... 176

සැවැත් නුවර ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ සංඝයා වහන්සේ පිරිවරා වැඩ වසන කළ රජ මැතිඳුන් සිටුවරුන් සේ ම බොහෝ ජනයා ද සදහම් ආලෝකයෙන් පුබුදු වන්නේ, මිසදිටු බමුණන් කෙරේ ඔවුන් දැක්වූ ගරු සැලකිලි ගිලිහී යන්නට විය. ඔවුන්ගේ පිරිහීම නොවැළැක්විය හැකි තැන නිවටුන් කෙසේ හෝ බුදුගුණ කෙළෙසීමට කථිකා කරගෙන නොයෙක් උපායන් යොදන්නට විය.

අවසානයේ දී චිංචිමානවිකාව නම් අතිශයින් රූප සම්පන්න වූ විලිබිය නැති පරිබ්‍රාජිකාව ඒ සඳහා පොළඹවා ගැන්මට සමර්ථ විය. නිවටුන්ගේ උපායෙහි බැඳුණු ඈ බැතිමතුන් යන එන වේලාවන් බලා දෙව්රම ඔබ මොබ සැරිසරන්නී, බුදුරජාණන් වහන්සේ සමඟ කුළුපග බව අඟවමිනි.

ටික කලක් මෙසේ ගෙවී යද්දී චිංචිමානවිකාව දරමිටි කුස බැඳගෙන ගැබිනි වෙස් ගෙන දම් සභාවට වැද, බුදුරදුන් අභිමුව හිඳ, "ඔබ දම් දෙසමින් සිටින්නේ ය, ඔබ නිසා මා කුස හොත් දරු ගැබ පිළිබඳ නොසලකන්නේ ය"

ආදී වශයෙන් බොරු පවසද්දී සක් දෙවිඳුගේ පඬු ඇඹුල් අස්න උණුවීය. ශක්‍ර දෙවියන්ගේ අණ මත මී වෙස් ගෙන පැමිණි දෙවිවරුන් සතර නමක් දම් සභා මැදම දර බැඳි ලණු එකවිට ම කපා දමද්දී සැදැහැවතුන් විසින් ඒ පිරිවැජියා විහාරයෙන් නෙරපා දැමීමත් සමඟම මහ පොළොව පළාගෙන ගිනිදැල් නැඟෙමින් අවිචිමහා නරකාදියට වැටිණි. ඒ මාතෘකා කොට ගනිමින් තථාගතයන් වහන්සේ විසින් මේ ගාථාව දේශනා කොට වදාළ සේක.