Print this Article


අම්මට තාත්තට ණය නොවීමට නම් ...

අම්මට තාත්තට ණය නොවීමට නම් ...

බ්‍රහ්ම යනු මවට - පියාට නමකි - මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා නම් උතුම් ධර්ම සතරකි. පුද්ගල චරිතය ශ්‍රේෂ්ඨත්වයට පත්කරන ගුණාංග සතරකි. මහා බ්‍රහ්මයා සතු මේ ගුණ නිසාම ඔහු වන්දනීයත්වයට පත්වේ.

අම්මා - තාත්තා තම දරුවන් කෙරෙහි ද මෙම ධර්ම සතර ම පතරුවති. ඒ නිසා “මවුපියන් ද“ මහා බ්‍රහ්ම යන නාමයෙන් හැඳීන්වේ.

කුස තුළ වැඩෙන දරුවා දෙනෙතින් දකින්නේ කවදා දැයි සිතමින් මව්පියන් මෛත්‍රී සිතිවිල්ලෙන් බලා සිටී.

බිළිඳා ටිකෙන් ටික වැඩෙමින් සුරතල් බස් දොඩමින් සෙල්ලම් කරන කාලය පැමිණි විට මව - පියා මහත් වූ සතුටුව දරුවා කෙරෙහි මුදිතාව ඇතිකර ගනී. ඒ දරුවා වැඩිවිය පැමිණ පවුලෙන් වෙන් ව වෙසෙන දින, දැන් අපේ දරුවාට ස්වශක්තියෙන් ජීවත්විය හැකි යැයි මව - පියා තුළ තම දරුවා කෙරෙහි මධ්‍යස්ථතාවය වූ උපේක්ෂාව පහළ වේ.

මේ ආකාරයෙන් බ්‍රහ්මයා හා සමාන පැවතුම් ඇති බැවින් මව - පියා දරුවනට බ්‍රහ්මයා වෙති.

පූර්වාචාර්යයන් යනු ද මව - පියාට නමකි -

බාල වියෙහි සිටින දරුවාට යහපත් වූ හෝ අයහපත් වූ කිසිවක් නො දන්නේ ය. දරුවා ටිකෙන් ටික ඉගෙන ගන්නේ පරිසරයෙනි. හොඳ නරක තෝරා බේරා ගන්නේ තමන්ට ලැබෙන අත්දැකීම් අනුව ය. පළමුව මවගෙන් - පියාගෙන් ඒ අත්දැකීම ලැබීමෙන් ය. මවත් - පියාත් තම දරුවා කුඩා කල සිට ම පුතේ - දුවේ ඔබ මේ ආකාරයෙන් සිටිය යුතු ය. මේ ආකාරයෙන් නිදා ගත යුතු ය. මේ ආකාරයෙන් ගමන් - බිමන් යා යුතු ය. මේ ඔබේ පියා ය. මේ ඔබේ අම්මා ය. මේ සොහොයුරා ය. සොහොයුරිය ය. මේ දේ ඔබ කළ යුතු ය. මේ දේ ඔබ නො කළ යුතු ය. ආදී කුල සිරිත් මෙන් ම සදාචාර ගුණ ධර්ම පිළිබඳ උපදෙස් දී තම දරුවන් හික්මවති. එහෙයින් මවත් - පියාත් පූර්වාචාර්යවරු වෙති.

ආහුණ්‍යෙය යනු ද මවට - පියාට නමකි -

තම දරුවා දස මසක් කුස උසුලා මෙලොව බිහි වූ දා සිට දිවා රෑ දෙකෙහි නිදි නො ලබා, පිළිකුල් වූ සෙම් - සොටු, මළ මුත්‍රාදීය පවා කැත යැයි නො සිතා තම දෑතින් ම ඉවත් කිරීමෙන් ද, මවගේ ශරීරයේ ලේ ධාතුව කිරි කොට පෙවීමෙන් ද, අත් පා ආදිය නිසි ලෙස සැකසීමෙන් ද මනා වූ රූප සම්පත්තියකින් යුක්තව ඇති දැඩි කරති. වෙහෙස වී උපයා ගන්නා ධනය දරුවන් උදෙසා ආරක්ෂා කර තැබීම ආදී ලෙසින් මව - පියා දරුවන්ට බොහෝ උපකාර කරති. මව - පියා ඉත සිතින් දරුවනට අනුකම්පා කරන බැවින් ප්‍රජානුකම්පකයෝ වෙති. අම්මා තාත්තා නැසීමට උත්සාහ කරන කුරිරු දරුවන්ට පවා ඔවුහු අභිවෘද්ධියම සලසති. මෙයට හොඳම නිදසුන වන්නේ බිම්බිසාර රජතුමාගේ චරිතයයි. “අජාසත්“ නම් තම පුතු මව් කුස සිටිය දී සිය උරයෙහි ලේ බිමට බිසවට ඇති වූ දොළ සංසිඳවීය. මේ දොළ පිළිබඳ නිමිති පවසන්නෝ මෙසේ පැවසීය. එනම් යම් දිනක මේ උපදින කුමරු බිම්බිසාර රජු මරා මේ නුවර රජ වෙන බව ය. ඉපදීමට ද පෙර තමාට එරෙහි වූ හෙයින් අජාසත් යැයි නම් කළේ ය.

බිම්බිසාර රජු කෙරෙහි මහත් වූ භක්තිවන්ත වූ බිසව සිය කුස හොත් දරුවා නැසීමට පවා තැත් කළා ය. එය ඇසූ රජතුමා කිපී තම පුතු රැකීමට රැකවල් ද තැබීය. අජාසත් කුමරු කුඩා අවධියේ අතේ ඇඟිල්ලක ගෙඩියක් සෑදී මහත් වේදනාවෙන් හඬන්නට විය. ඒ අවස්ථාවේ දී කුඩා කුමරු වඩාගෙන, වේදනාව සමනය කිරීමේ අදහසින් කුමරුගේ ඇඟිල්ල සිය මුව තුළට ගෙන උරමින් සිටි අවස්ථාවේ දී ගෙඩිය පිපිරී රජතුමාගේ මුව තුළට සැරව ගලා ආවේ ය. ඇඟිල්ල මුවෙන් ඉවතට ගත් විට කුමරුට වේදනා ඇතිවේ යැයි සිතා සැරව ද තමන් ම ගිල ගත්තේ ය.

කුමරු වැඩිවිය පැමිණ තමා නසා රජවීමට තැත් කළ විට ද පුතුට අනුකම්පා කොට සිය රාජ්‍යය ද පුතුට පැවරීය. එහෙත් පුතුගෙන් ම මරණයට පත් විය. බිම්බිසාර රජතුමා තම පුතුගෙන් ම යම් දිනෙක ගැහැට ලැබ මරණයට ද පත්වන බව දැන දැන ම පුතුට අනුකම්පා කොට පුතුගේ ම අභිවෘද්ධිය සැලසී ය. මව්පියන් දරුවන්ට මොන තරම් අනුකම්පා කරන්නේ ද යන්නට මේ සා ප්‍රබල උදාහරණයක් වේ යැයි සිතිය නොහැකි තරම් ය.

මේ ආකාරයෙන් මව්පියන් අනන්ත ගුණ ඇති බැවින් නුවණැති දරුවෝ ඒ මවට - පියාට නමස්කාර කළ යුතු ය. ආහාරයෙන් ද, පානයෙන් ද, සයනයෙන් ද, ඇඟ ඉලීමෙන් ද, නෑවීමෙන් ද, පා සෝදා දීමෙන් ද, සත්කාර කළ යුත්තේ ය. මවත් - පියාත් සේ දරුවනට උපකාර කළා වූ කිසිවකු මෙලොව නැත්තේ ය. එබැවින් ජීවත්වන සෑම දරුවෝ ම තම මවට - පියාට ණය ගැතියෝ වෙති. ඒ ණයෙන් නිදහස්වීම අප සිතන තරම් පහසු නැත්තේ ය.

එබැවින් මවට - පියාට උපස්ථාන කරන සත්පුරුෂ දරුවෝ ආහාර පානාදියෙන් පමණක් උපස්ථාන කිරීමෙන් නො නැවතිය යුතු ය. මව්පියන් ශ්‍රද්ධාන්ත නො වේ නම් ඔවුන් ශ්‍රද්ධා සම්පත්තියෙහි පිහිටුවීමට උත්සාහ ගත යුතු ය. දුශ්ශීල වූ මව්පියන් ශීල සම්පත්තියෙහි පිහිටුවන්ට වෙර වැඩිය යුතු ය. ඒ වගේ ම මසුරු වූ මව්පියන් ත්‍යාග සම්පත්තියෙහි මෙන් ම ප්‍රඥා සම්පත්තියෙහි ද පිහිටුවන්නට උත්සාහ කළ යුතු ය. එවිට මවට - පියාට සෑහෙන පමණකට හෝ ප්‍රත්‍යුපකාර කරන ලද්දේ වන්නේ ය.