Print this Article


කැලිෆෝනියා වෙස්ට් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබූ බහුශ්‍රැත පඬිරුවන

කැලිෆෝනියා වෙස්ට් සරසවියෙන් ආචාර්ය උපාධිය ලැබූ බහුශ්‍රැත පඬිරුවන

උදාර පැවිදි දිවියක පිය සටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ රුහුණු විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති ආචාර්ය මාකොළ මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

රුහුණ විශ්ව විද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපති කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරාධිපති ආචාර්ය මාකොළ මංගල හිමිපාණන් වහන්සේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අගයෙන් අගය කළ යුතු සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරන ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකට ය.

බස්නාහිර පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය වීරගුලේ සරණතිස්ස නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන්, හීන්කෙන්ද පුෂ්පාරාම විහාරාධිපති කැන්දලියැද්දපාළුවේ ධම්මපාල නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ හා වැලිපිල්ලෑව ශ්‍රී පුරාණ විහාරාධිපති කැන්දලියැද්දපාළුවේ නන්දාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් මාකොළ මංගල යන උතුම් ශාසනික නාමයෙන් 1978 වර්ෂයේ දී මාර්තු මස 15 වන දින උත්තරීතර ප්‍රව්‍රජ්‍යා භූමියට පත්වන්නට තරම් උන්වහන්සේ පුණ්‍යවන්ත වූහ.

ලංකා ශාසනම්බරය ආලෝකවත් කළ දීප්තිමත් පරිවේණාස්ථාන වශයෙන් හැඳින්වෙන නාගර්ජුන ශ්‍රී විද්‍යාපීඨ පිරිවෙන, කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන යන පිරිවෙන්වල වැඩසිටි වියත් ඇදුරු මඬුල්ලක් හමුවේ ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුක්තව ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කළ උන්වහන්සේ කැලණිය විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ මූලික උපාධියත්, දර්ශනපති උපාධියත් ලබා ගත්හ.

භික්ෂූන් වහන්සේ නමක් නිසි වයස එළඹි කල්හි භික්ෂු සමාජය පිළිගන්නා වූ අධිශීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාවට පත්වීමට තරම් උන්වහන්සේ පූර්වෝපචිත කුසලශී‍්‍රයෙන් විරාජමාන විය. ඒ පූජ්‍ය කැන්දලියැද්දපාළුවේ නන්දාරාම හිමිපාණන් වහන්සේ හා බැලුම්මහර පඤ්ඤාතිස්ස හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් 1984 වර්ෂයේ දී ය.

අනතුරුව අමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ආරාධනාවකට අනුව 2005 වර්ෂයේ දී අමෙරිකාවට වැඩම කළ මාකොළ මංගල හිමිපාණෝ 2006 වර්ෂයේ දී අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ වෙස්ට් සරසවියට ඇතුළත්ව උසස් අධ්‍යාපනයට යොමු විය.

කුඩා අවධියේ සිටම ශාස්ත්‍රෝන්නතිකාමිත්වයෙන් යුක්තව ධර්ම ශාස්ත්‍රීය ශික්ෂණය ලැබූ උන්වහන්සේ කැලිෆෝනියා වෙස්ටි සරසවියෙන් බෞද්ධ දර්ශනය පිළිබඳ ආචාර්ය උපාධිය ද ලබා ගත්හ.

තවද රුහුණ විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ අංශාධිපතීන් වහන්සේ වශයෙන් සුවිශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදු කරන වියත් පඬිරුවනක් වශයෙන් කටයුතු කරන උන්වහන්සේ ශාසනානුලෝමී හැඟීමෙන් යුතුව ශික්ෂාකාමී වියත් සඟ පරපුරක් සම්බුද්ධ ශාසනය වෙත දායාද කිරීමේ උදාර අරමුණින් ශාසනයේ චිරස්ථිතිය අභිවෘද්ධිය පිණිසම කැපවන අග්‍රගණ්‍ය උගත් යතිවරයාණන් වහන්සේ නමකි. “බුදුපිළිමය” ග්‍රන්ථයට අමතරව බෞද්ධ සඟරා විශාල ප්‍රමාණයක් මුද්‍රණය කොට ඇති උන්වහන්සේ පුවත්පත් සඳහා ද ශාස්ත්‍රීය ලේඛන සම්පාදනය කොට ඇත.

විශ්ව විද්‍යාලයේ සේවය කරන භික්ෂූන් වහන්සේ නමක් වශයෙන් අවිවේකී බවක් තිබුණ ද, කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය කේන්ද්‍ර කරගෙන සමාජය වෙනුවෙන් කළ හැකි සමාජ සේවය නොපිරිහෙළා ඉටු කිරීමට ද කැප වී සිටිති.

විහාරාධිපති ස්වාමීන්ද්‍රයන් වහන්සේ වශයෙන් ලබා දෙන උපදේශකත්වය හා අනුශාසකත්වය මත කිරිබත්ගොඩ තරුණ බෞද්ධ සංගමය, වෙළෙඳ සංගමය හරහා උන්වහන්සේ විශාල සමාජ මෙහෙවරක් ඉටුකරති. වැඩිහිටි නිවාස තුනක අනුශාසකත්වය දරන මාකොළ මංගල හිමියන් ප්‍රදේශය තුළ සුචරිතවත් දරු පරපුරක් ගොඩනැඟීමේ අරමුණ පෙරදැරිව ඉංගී‍්‍රසි සහ සිංහල යන මාධ්‍ය දෙකෙන්ම 1800 ක සිසු පිරිසක් සිටින දහම් පාසලක් ද පවත්වාගෙන යති. කිරිබත්ගොඩ ශ්‍රී සුදර්ශනාරාම පුරාණ මහා විහාරය වන්දනා කිරීමට පැමිණෙන පින්වතුන්ගේ සිත සමාධිගත වන ආකාරයට විහාරස්ථානය තුළ පූජනීයත්වයත් , ශාන්ත පරිසරයත් ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇත.

බුද්ධ දේශනාවට අනුව භික්ෂූන් වහන්සේ නමකට උරුම වූ ධර්ම දූත මෙහෙවරෙහි නිරත වීම සඳහා බොහෝ රටවල වැඩම කළ පූජ්‍ය මාකොළ මංගල හිමියන් ලෝකාගමික ශාසනික සේවාවෙහි ද නිරතව සිටින ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් හැඳින්විය හැකි ය. උන්වහන්සේ අමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හි පිහිටා ඇති අමෙරිකන් වියට්නාම බෞද්ධ සංගමයේ අනුශාසකත්වය ද දරති.