Print this Article


කැලණි විහාරය හා සබැඳි දෙවි දේවතාවෝ

කැලණි විහාරය හා සබැඳි දෙවි දේවතාවෝ

විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක් ලෙස සතුරන් සහ බාධක ජය ගැනීමට ආශීර්වාද කිරීම දැක්වේ. සතුරන් බියට පත් කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජය ගනු වස් විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදු වෙයි.

විහාරස්ථාන ආශි‍්‍රතව ප්‍රකට හා අප්‍රකට මෙන්ම ප්‍රධාන හා අප්‍රධාන දෙවිවරුන් දක්නට ලැබීම බෞද්ධ ලෝකයේ බොහෝ රටවල දක්නට ලැබෙන ලක්ෂණයකි. ඓතිහාසික කල්‍යාණි රාජමහා විහාරය හා සබැඳි ශ්‍රී ලාංකික බෞද්ධ දෙවි දේවතාවුන් වහන්සේලා පිළිබඳ කරුණු ස්වල්පයක් සමාලෝචනය කිරීම මෙම ලිපියෙහි අරමුණයි.

කැලණි විහාරය ප්‍රධාන කැලණිය භූමිය විභීෂණ දෙවියන්ගේ වාසභූමිය බව ප්‍රකට කරුණකි. කැලණි වෙහෙර බිම පිහිටි ඓතිහාසික විභීෂණ දේවාලය එහි කේන්ද්‍රස්ථානය යි. කැලණිය කේන්ද්‍රකොටගෙන සිරිලක සම්බුදු සසුන සුරකින විභීෂණ දෙවියෝ ශ්‍රී ලාංකික බෞද්ධයන්ගේ අතිමහත් ගෞරවයට, අභිවාදනයට හා අභිමානයට පත් විය. එය සංකේතවත් කරමින් කැලණි විහාරයේ වාර්ෂික දුරුතු මහා පූජෝත්සව පෙරහරේ දී විභීෂණ දෙවියන් වෙනුවෙන් ම පෙරහරක් පවත්වා පූජෝපහාර දක්වනු ලැබේ.

සුප්‍රකට රාම - රාවණ සිද්ධියේ දී විභීෂණ කුමරු සිය සොහොයුරාගේ පාර්ශ්වය නොව අගතියට පත් රාම කුමරුගේ පාර්ශ්වය ගෙන ඔහුට උපකාර කිරීමෙන් තමන් තුළ වූ අපක්ෂපාතී, සාධාරණ හා සදාචාරවත් දෘෂ්ටිය ලොවට විදහා පෑවේ ය. එහි සාංදෘෂ්ටික ප්‍රතිඵලයක් ලෙස යුද්ධයෙන් ජය ගත් රාම කුමරුගේ ආශීර්වාදයෙන් විභීෂණ කුමරු ලක්දිව අගරජ ලෙස අභිෂේක කරවනු ලැබිණි. ඉන්පසු විභීෂණ රජ කැලණි පුරය අගනුවර කොට දැහැමෙන් රාජ්‍යය විචාළේ ය. සිරිලක අගරජ ලෙස ද ධාර්මිකව ජන සෙත සැලසූ එතුමෝ කීර්තිභාවශේෂෝපගත වීමෙන් පසු ලක්දිව පමණක් නොව දඹදිව ද දේවත්වයෙන් පුදනු ලැබූහ. එවක් පටන් අද දක්වා කැලණිය කේන්ද්‍රකොටගෙන විභීෂණ දෙවියන් පිදීම සිදු කරනු ලබයි.

විභීෂණ දෙවියන්ට පුද පූජා උපහාර දක්වන විශේෂ හේතු කිහිපයක් ම දැකිය හැකි ය. ඉන් එකක් නම් දරු සම්පත් පැතීමයි.

විභීෂණ දෙවියන්ගේ ආශීර්වාදයෙන් දරු සම්පත් ලැබුවන් අතර රාජරාජ මහා මාත්‍යාදීහු ද වෙති. ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙම කරුණ පිළිබඳ ප්‍රකට ම උදාහරණය කෝට්ටේ සිරි පැරකුම්බා රජුගේ කණිටු දියණිය වූ උලකුඩය දේවිය (විවාහයට පෙර ලෝකනාථා කුමරිය) ගේ දරු උපත යි.

උලකුඩය දේවියට දරු උපතක් ලබාදෙන ලෙස විභීෂණ දෙවියන්ගෙන් ඉල්ලා තොටගමුවේ ශ්‍රී විජයබා පිරිවෙන්පති ෂඩ්භාෂා පරමේෂ්වර තොටගමුවේ සිරි රාහුල හිමියන් සැළලිහිණියකු දූතයා කොට යැවූ සැළලිහිණි සන්දේශය එම ඓතිහාසික සිද්ධියේ සාහිත්‍යාගත සාක්ෂියයි. ඉන් උපන් පුත් කුමරු දෙවන ජයබා ලෙස කෝට්ටේ රජ පදවියට ද පත් විය. මෙසේ දරු සම්පත් පතා විභීෂණ දෙවියන් පිදීම අද දක්වා ම කැලණියේ පවත්නා චාරිත්‍රයකි.

විභීෂණ දෙවියන්ගේ තවත් විශේෂයක් ලෙස සතුරන් සහ බාධක ජය ගැනීමට ආශීර්වාද කිරීම දැක්වේ. සතුරන් බියට පත් කළ බැවින් විභීෂණ නම් වූ බව ද සඳහන් ය. සිය බාධක ජය ගනු වස් විභීෂණ දෙවියන්ට පින්පෙත් දී පිහිට පැතීම අද ද සිදු වෙයි.

කැලණි විහාරයේ ඓතිහාසික විහාර මන්දිරයෙහි පැරැණි විහාරය කොටසෙහි ඇතුල් මාලයේ සැතපෙන පිළිමයට දකුණු පසින් දේවාල මන්දිරයක් වෙයි. එහි විෂ්ණු කතරගම (නම සඳහන් වන්නේ කන්දසාමි ලෙසිනි) සහ සිරි සුමන සමන් දෙවියන් වෙනුවෙන් වන දේවාලයකි. එම මූර්තිමත් දේව ප්‍රතිමා නුවර යුගයේ නිර්මාණ ලක්ෂණ විදහා දක්වයි. ඉන් ඉදිරිපස බිත්තියෙහි ඇතුළු මාලයේ දකුණු පස දොරටුවේ වම් පස ගණ දෙවියන් සහ ඊශ්වර දෙවියන් චිත්‍රණය කොට ඇත. දොරටුවට දකුණු පසින් ගන්ධර්වාධිපති ධෘතරාෂ්ට්‍ර දෙවි, නාගාධිපති විරූඪ දෙවි, කුම්භණ්ඩාධිපති විරූපාක්ෂ දෙවි, යක්ෂාධිපති විරූපාක්ෂ දෙවි යන සතර වරම් දෙවි මහරජ දරුවන් චිත්‍රණය කොට ඇත. දකුණු පස දොරටුවට දකුණු පසින් සමන් දෙවියන් සහ විභීෂණ දෙවියන් චිත්‍රණය කොට ඇත. මෙම චිත්‍ර සියල්ලක් ම ද නුවර යුගයේ බිතුසිතුවම් ලක්ෂණ මැනවින් ප්‍රකට කරයි.

තුනුරුවන් සරණ ගිය පින් කැමති ශාසනාරක්ෂක හා ශාසනමාමක දෙවි දේවතාවන් මෙන් ම හින්දු දේව සම්ප්‍රදායට අයත් දෙවිවරු ද මෙසේ චිත්‍රණය කොට ඇති බව පෙනේ. ඉහත සඳහන් කළ විභීෂණ දේවාලයේ ප්‍රධාන දොරටුව දකුණු පසින් ගම්භාර දෙවියන් සඳහා වූ දේව මන්දිරයක් වෙයි.

නැවත අභිනව විහාර මන්දිරයේ පිටත බිත්තියෙහි විෂ්ණු, කතරගම, සුමන සමන් දේව ප්‍රතිමා මූර්තිමත් කොට තිබේ. ඒ අතර ඇති විභීෂණ අභිෂේකය ශ්‍රී ලංකාවේ විහාර චිත්‍ර මූර්ති අතර දක්නට ලැබෙන දුර්ලභ මූර්තියකි. එහිම ඇති නාථ දෙවියන් ලෙස ද දැක්වෙන මෛත්‍රී බෝධිසත්ත්ව ප්‍රතිමාව ද සුවිශේෂ ය.

රවි දේවතාවන් ප්‍රධාන නවග්‍රහ දේව ප්‍රතිමා සහිත නවග්‍රහ දේව මන්දිරය ද ලක්දිව නන් දෙසින් නිතිපතා ආශීර්වාද පතා පැමිණෙන කැලණි විහාරයේ නවාංගයකි.

සබරගමු බස්නාහිර ප්‍රදේශවලට සුවිශේෂ රන්වල දෙවියන් නිරන්තරයෙන් කැලණි වෙහෙර වන්දනාවෙහි යෙදෙන බව පිළිගැනේ. කැලණි ගඟ සිය ගමන්මඟ කොටගෙන මෙම රන්වල දෙවියන් නිතර කැලණි වෙහෙර වැඳීමට පැමිණීම පිළිබඳ තොරතුරු හා කතන්දර මෙපෙදෙස් ආශි‍්‍රත වැසියන් අතර ජනපි‍්‍රය ය. රන්වල දෙවියන් වෙනුවෙන් උපහාර පූජා පැවැත්වීම ද කැලණි ගඟ ආශ්‍රයෙහි වෙසෙන ජනී ජනයාට ආවේණික සංස්කෘතිකාංගයකි.

ආසියානු බෞද්ධ හා අනෙකුත් සම්ප්‍රදායයන්හි නාගයන් සලකනු ලබන්නේ භුම්‍යස්ථ දේව කොට්ඨාසයක් ලෙසිනි. ජලාශි‍්‍රත පුදබිම්වල නාගයෝ (නාග දෙවිවරු) විශේෂයෙන් පුද ලබති. සුවණ්ණ, අසුර, යක්ෂ, ගාන්ධර්ව යන සත්ත්ව කොට්ඨාසයෝ දේවතා ගණයට ද වැටෙන සෙසු බලසම්පන්න භුම්‍යස්ථ ජීවීහු වෙති.

නාගරාජවරු අතර ලක්දිව චිරප්‍රසිද්ධ වූවෝ මණිඅක්ඛිත නාරජු ය. එතුමන්ගේ වාසභූමිය ද කැලණියයි. තථාගතයන් වහන්සේට කැලණියට වැඩම වීමට ආරාධනා කළ මෙතුමා බුදුරදුන්ගේ තෙවන ලංකාගමනයේ ප්‍රධාන අනුග්‍රාහක දායකයා ද විය.

කැලණි විහාරයේ ස්ථාන දෙකක මෙතුමන්ගේ ප්‍රතිමා දක්නට ලැබේ. ඉන් එකක් පැරැණි විහාර කොටසේ ඉදිරිපස බිත්තියේ මූර්තිමත් කොට ඇති නුවර යුගයට අයත් විශාල ප්‍රමාණයේ (දහඅට රියනක් පමණ වන) ප්‍රතිමාවයි. එහි දෙපස නාග කන්‍යා රූප දෙක් ද විද්‍යමාන ය. දෙවැන්න නව විහාරයේ පිටත බිත්තියේ මූර්තිමත් කොට ඇති නව ප්‍රතිමාවයි. මණිඅක්ඛිත නාරජුන්ගේ ප්‍රතිමාවක් හෝ චිත්‍රයක් වුව ද දක්නට ලැබෙන වෙනත් පූජනීය ස්ථානයක් පිළිබඳ තොරතුරු අප්‍රකට බැවින් මෙම නිර්මාණ ද කැලණි විහාරයට ම සුවිශේෂී වූ නිර්මාණ බව සිතීම නිවැරදි ය.