Print this Article


පෙනෙන සතුට ළඟ නොපෙනෙන දුක

පෙනෙන සතුට ළඟ නොපෙනෙන දුක

භාග්‍යවත් අර්හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාම විහාරස්ථානයේ වැඩ වාසය කරන කාලයෙහි රජගහ නුවර ජීවත් වූ කාන්තාවෝ හතර දෙනෙක් වෙළෙඳ ව්‍යාපාර කරමින් මුදල් උපයා ගනු ලබති.

ඔවුහු හොර තරාදි හා හොර මිනුම් ක්‍රම උපයෝගී කරගෙන අසාධාරණ ලෙස වංචා සහගතව ධන ධාන්‍යාදිය රැස් කරති. වංචාවෙන් මුදල් හම්බ කරති.

මෙසේ හොර වංචා කපටිකම්වලින් මුදල් උපයා ජීවත් වූ ඔවුහු කලෙකින් මිය පරලොව ගියහ. මරණින් පසු වෙනත් ගමක දිය අගලක් අසල ප්‍රේත අත් බැව්හි ඉපදුණහ.

මෙම ප්‍රේත ස්ත්‍රීහු රාත්‍රී කාලයෙහි තමන් පෙර ආත්මයේ කළ පව්කම් ගැන කියමින් කෑ මොර දෙන්නට වූහ. මේ භයානක ශබ්දය ඇසූ ගම්වාසීහු එක් රැස්ව සාකච්ඡා කොට අනුකම්පා උපදවා පේ‍්‍ර්ත ස්ත්‍රීන්හට පින් පැමිණවීමට සිතූහ. බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝරත්නය වෙත සපිරිකර සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට කතිකා කර ගත්හ.

ඒ සියලු විස්තර බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළහ. භාග්‍යවත් වූ බුදුරජාණන් වහන්සේ මහ ජනයාගේ අදහස් දැනගෙන අවස්ථානුකූලව ධර්ම දේශනා කළ සේක.

“මයං භොගේ සංහරිම්හා
සමේන විසමේනච
තේ අඤ්ඤේ පරිභුඤ්ජන්ති
මයං දුක්ඛස්ස භාගිනී”

ප්‍රේත ස්ත්‍රීහු කළ ප්‍රකාශය ඉහත ගාථාවෙන් ප්‍රකාශිත ය. අපි අසාධාරණව වස්තුව රැස් කළෙමු. අසාධාරණ ලෙස සොර සිතින් මුදල් උපයා ගතිමු. රැස් කළා වූ සම්පත් හා ධනස්ඛන්ධයක් ඉතිරි කොට අනුන්ගේම ප්‍රයෝජනය සඳහා තිබියදී අපි මිය පරලොව ගොස් ප්‍රේත ලෝකයෙහි ඉපැදුණෙමු. දැන් මහා දුක් විඳිමුයි'යන අදහසයි.

ප්‍රේත ලෝකයේ දුක්ඛිත ස්වභාවය ඉතාමත් භයානකය ය. ශෝචනීය වේ. ප්‍රේතයන්ට උස් වූ ශරීර ඇත්තේ ය. කෙසඟ ශරීර ය. දුර්වල ය. දුර්ගන්ධ ය. කෙළ සොටු සෙම කුණු ලේ මළ මුත්‍ර ආදිය ආහාරය වන්නේ ය. උගුර තෙමෙන තරමටවත් දිය පොදක් නොලබන්නේ ය. කල්ප ගණන් ප්‍රේත ලොව දුක් විඳින්නේ ය. එහෙයින් සොර සිතින් තොරව, අවංකව, අනුන්ට කරදරයක්, අසාධාරණයක් නොවන සේ උපයා ගත් ධනයම පරිහරණය ම කරන්නට කටයුතු කළ යුතු ය.