Print this Article


සතුට සෞභාග්‍යය ලබන්න කුඩුකේඩුකම් මඟ හරින්න

සතුට සෞභාග්‍යය ලබන්න කුඩුකේඩුකම් මඟ හරින්න

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

“පඤ්චහි ඛෝ ගහපති පුත්ත ඨානේහි
සාමිකේන පච්ජීමාදිසා භරියා
පච්චුපට්ඨාතබ්බා
සම්මානනාය, අවමානනාය, අනතිචරියාය
ඉස්සරිය වෙස්සග්ගේන
අලංකාරානුප්පදානේන තී.”

පින්වතුනි,

අප මහා කාරුණික ශාන්තිනායක බුදුරජාණන් වහන්සේ තරම් මිනිසාගේ සුබසිද්ධිය, යහපත, දියුණුව හා සතුට සඳහා කථා කළ, කරුණු කියා දුන් ශාස්තෘවරයකු මුළු ලෝකයේ ම පහළ වුණේ නැහැ.

උන්වහන්සේ මිනිසාගේ ජීවිතයේ හැම පැත්තක් පිළිබඳව ම සොයා බලලයි ධර්ම දේශනා කළේ. උන්වහන්සේ කොසඹෑනුවර වැඩ සිටින සමයේ දිනක් දහවල් දානය වළඳා කොසඹෑනුවර කොහොඹ ගහක් යට විවේක සුවයෙන් වැඩ වදාරනවා.

එම නුවර එක්තරා දුප්පත් තරුණයෙක් හා තරුණියක් විවාහවීමට කතිකා කර මේ වනාන්තරය මැදින් ගමන් කරනවා. කොහොඹ රුක යට වැඩසිටින බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ඥානයට හසු වුණ මේ දෙපළ. මේ තරුණයා කතා කරනවා තම බිරිඳට ඔබටත් කිසිවෙක් නැහැ. මටත් කිසිවෙක් නැහැ යන්න එන්න තැනක් නැහැ. අර ඈත පේන තාපසයා ළඟට ගොස් පිළිසරණක් ලබා ගමු. එහෙම කථිකා කරගෙන මේ දෙපළ ලොව්තුරා බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කොට ප්‍රකාශ කරනවා. “අප දෙදෙනා හොර රහසේ, මව්පියන්ට නොදන්වා, ඈත පිටිසර පළාතකට ගොස් අඹුසැමියන් ලෙස ජීවත් වෙන්නයි යන්නේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ මේ දෙදෙනාට ඉහතින් සඳහන් සූත්‍රයෙන් ධර්ම දේශනා කොට වදාළා. මෙම සූත්‍රයට ජව සූත්‍රය (මළ සූත්‍රය) කියලත් ප්‍රකාශ කරනවා.

වර්තමාන සමාජයේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න ඇති වෙලා තියෙන බව රහසක් නොවෙයි. ඒ නිසාම විවාහ ජීවිතය අසාර්ථක වී අසහනකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සැටිත් දකින්නට ලැබෙනවා. වර්තමාන සමාජයේ විවාහ ජීවිතය සම්බන්ධයෙන් විවිධ ගැටලු, විවිධ ප්‍රශ්න ඇතිවෙලා තියෙන බව රහසක් නොවෙයි. ඒ නිසාම විවාහ ජීවිතය අසාර්ථක වී අසහනකාරී තත්ත්වයක් ඇති වී තිබෙන සැටිත් දකින්නට ලැබෙනවා. මේ තත්ත්වය විවාහක යුවළකට මෙන්ම දරුවන්ටත් සමාජයටත් අහිතකරයි. මේ නිසා සාර්ථක විවාහ ජීවිතයක් ගොඩනඟා ගන්නට අවශ්‍ය බුදු දහමේ ඉගැන්වීම් පැහැදිලි කරලා ඒ තුළින් ඔබ මනා පැවැත්මකට යොමු කරන්නයි අපේ උත්සාහය.

පින්වතුනි, බුදුහාමුදුරුවෝ නිතරම බලාපොරොත්තු වුණේ මිනිසා සතුටින්, සුව සේ ජීවත් වෙනවා දකින්නටයි. ඒ නිසාම ජීවිතයේ හැම පැත්තක් ගැනම බුදුරජාණන් වහන්සේගේ අවධානය යොමු කළා. ජීවිතයක් සාර්ථකව සතුටින් ගෙන යන්නට අවශ්‍ය හැම කරුණක්ම පැහැදිලි කර දුන්නා. විවාහ ජීවිතය වැදගත් අවස්ථාවක් වන අතර, එය ඉතා ක්‍රමානුකූලව ගොඩනඟා ගැනීම අඹු සැමියන්ගේ විශේෂ වගකීම. ඒ වගකීම මැනවින් ඉටුවන විට ගෙදර සාමයත්, සාමකාමි සමාජ වාතාවරණයත් නිතැතින්ම ඇති වෙනවා.

සාර්ථක විවාහ ජීවිතයක් සඳහා බුදු දහමේ ඉගැන්වීම් කොතෙක් දුරට ඉවහල් වෙනවාද? සිඟාලෝවාද සූත්‍රය සාර්ථක විවාහ ජීවිතයකට ඉතාම වැදගත් උපදෙස් දෙන සූත්‍රයක්. ස්වාමියා බිරිඳට ඉටුකළ යුතු යුතුකම් හා වගකීම් තිබෙනවා. බිරිඳට ද ඇගේ ගරුත්වය රැකෙන විදියට කතා කරන්න ඕනෑ. ඇගේ සිත රිදවන්නේ නැතිව, වේදනාව ඇති නොවන විදියට කතා කරන්නත් හැසිරෙන්නත් ස්වාමියා වග බලා ගැනීම අනිවාර්යයෙන් ම සිදුවිය යුතුයි.

ස්වාමියාගේ ඉතාම වැදගත් යුතුකමක් මෙන්ම වගකීමක් තම බිරිඳ හැර වෙනත් කාන්තාවන්ගේ ඇසුර නොපැතීම. විවාහ ජීවිතය දෙදරා යන්නටත් එය ප්‍රබල හේතුවක් වෙනවා. ස්වාමියා මෙතැනදී වගකීම මනාව තේරුම් ගෙන ක්‍රියා කිරීම හරිම වැදගත් වෙනවා. ගෙදර පරිපාලනය හා මුදල් පරිපාලනය පිළිබඳ වගකීම බිරිඳට පැවරීම අතිශයින් වැදගත් වෙනවා.

මේ සඳහන් කළේ ස්වාමියා බිරිඳ කෙරෙහි දැක්විය යුතු සැලකිල්ල. සාර්ථක විවාහ ජීවිතයකට තවදුරටත් කරුණු ඉදිරිපත් කරන බුදුරජාණන් වහන්සේ කුමාරිකෝවාද සූත්‍රයේ දී පතිකුලයට යන තරුණියක තුළ තිබිය යුතු ගුණාංග පහක් දේශනා කොට වදාළා.

සැමියාට පළමුව නින්දෙන් අවදි විය යුතුයි. ඔහුට පසුව නින්දට යා යුතුයි. පසුදාට කළ යුතු වැඩ සකස් කර තැබිය යුතුයි. සැමියාගේ සිත් ගන්නා ලෙස හැසිරිය යුතු අතර, පි‍්‍රයමනාප වචනයෙන් කතා කළ යුතුයි.

ස්වාමියාගේ මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, පූජ්‍ය පිරිසට ගරු සත්කාර කළ යුතුයි.

ගෙදර දොරේ කටයුතුවලදීත්, සැමියාගේ කටයුතුවලදීත් දක්ෂව අනලස්ව ක්‍රියා කළ යුතුයි.

ස්වාමියාගේ මෙහෙකරුවන්ට සැලකීම. ඔවුන් නිසි කටයුතුවල පමණක් යෙදවීම. නිවසෙහි සිටින ගිලන් අයට උපස්ථාන කිරීම. අවශ්‍ය දේ සපයාදීම.

සැමියා උපයන සියලු ධන සම්පත් ආරක්ෂා කිරීම හා ඒවා අනවශ්‍ය ලෙස වියදම් නොකිරීම ද වැදගත් වෙනවා.

සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය තවත් වැදගත් කරුණු දහයක් විශාඛාවගේ විවාහයට පෙර ඇගේ පියා විසින් දෙන ලද උපදෙස් මාලාවේ සඳහන් වෙනවා. එය බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන වැදගත් උපදෙස් මාලාවක්.

ඇතුළත ගිනි පිටතට නොදිය යුතුයි. (නිවසේ රහස් පිටතට යාමට ඉඩකඩ නොතැබීම) පිටත ගිනි ඇතුළතට නොගත යුතුයි. (පිටත තැන්වල දී ඇහෙන භේදකාරී කතා පිළිගෙන ඒ අනුව ආරාවුල් කලබල ඇති කර නොගැනීම) දෙන අයට දිය යුතුයි. (ණය දීමේදී ආපසු ගෙවන අයට පමණක් ණය දීම කළ යුතුයි.) නොදෙන අයට නොදිය යුතුයි. (ණය ආපසු නොගෙවන අයට නොදිය යුතුයි) ණය දෙන අයටත් නොදෙන අයටත් දිය යුතුයි.

අසරණ නෑදෑ හිතමිතුරන්ට ආපසු ලැබුණත් නොලැබුණත් ඒ ගැන බලාපොරොත්තු නැතුව ණය දිය යුතුයි.) සුවසේ හිඳිය යුතුයි.

වැඩිහිටියන් එන විට නැඟිටින්නට සිදු නොවන සේ කුඩා අසුනක හිඳිය යුතුයි. සුව සේ අනුභව කළ යුතුයි. නිවසේ සියලු දෙනාම ආහාර පාන ගත්තා දැයි විමසා බලා පසුව ආහාර ගැනීම. සුවසේ නිදාගත යුතු ය. (ගෙදර ගැන සැලකිල්ලෙන් නින්දට යා යුතුයි) ගිනි පිදිය යුතුයි. සැමියා ගැන සැලකිල්ලෙන් ඔහුගේ කටයුතු කිරීම ඇතුළත දෙවියන් පිදිය යුතුයි. සැමියාට, ඔහුගේ වැඩිහිටියන්ට හා පූජ්‍ය පක්ෂයට ගරු සත්කාර කිරීම.

මෙහි සඳහන් කළ උපදෙස් මාලාව සාර්ථක පවුල් ජීවිතයකට මඟ පෙන්වා ඇති, බෞද්ධ සාහිත්‍යයෙහි සඳහන් වන වැදගත් උපදෙස් මාලාවකි. බිරිඳ මෙන් ම සැමියා ද සාර්ථක විවාහ ජීවිතයක් සඳහා කැපවීමෙන් ක්‍රියා කිරීම වැදගත් වෙනවා. දෙදෙනාම සාමකාමී සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම උදෙසා තම පෞද්ගලික අදහස්, උදහස්, රුචි අරුචිකම් සලකන්නේ නැතිව සාධාරණ ධර්මතාවක් අනුව ක්‍රියා කිරීම මෙහිදී අතිශයින් වැදගත් වෙනවා. ස්වාමි, භාර්යා යන දෙදෙනාම සම අදහස් අනුව ක්‍රියා කරනවා නම් එය තුළ ස්වභාවයෙන් ම සාමය, සතුට, සැනසිල්ල රඳා පවතිනවා. දෙදෙනාම ඔවුනොවුන් පිළිබඳ අන්‍යෝන්‍ය අවබෝධයක් ඇතිව හඳුනා ගැනීමක් ඇතිව ජීවත්වීම මෙහිදී වැදගත් වෙනවා. එවිට ගැටුම්වලින් තොරව සාමකාමීව ජීවත් වෙන්න පුළුවන්. එසේ නොවූ විටයි, විවිධ ප්‍රශ්න, විවිධ ගැටලු ඇති වෙන්නේ. මේ සඳහන් කළ බුදු දහමේ ඉගැන්වීම් ඔබේ ජීවිතයට සම්බන්ධ කරගෙන ක්‍රියා කරනවා නම් සාමය, සතුට, සෞභාග්‍යය පිරි සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන්නට ඒකාන්තයෙන් ම හේතු වෙනවා.