Print this Article


සැබෑ සතුට සොයා ගත හැකිද?

සැබෑ සතුට සොයා ගත හැකිද?

" දුර යනු තවදුරටත් සාගරයෙන් එහා තිබෙන දෙයක් වුව ද ජයගත නොහැකි බාධකයක් නොවේ. එසේ වුවද, පහසුකම් බහුල වන බැවින්, ආශාව නිසා ඇති වන දුක් වේදනා පැරැණි කාලයට වඩා තීව්‍ර වී ඇත. ඒ අනුව නැවත එක්වීමෙන් ඇති වන සතුටේ ද යම් අඩුවක් තිබේ."

මේ ලෝකයේ ජීවත් වන විට, අපගේ මූලික සැලකිල්ල යොමු වන්නේ අපගේ පැවැත්මටයි. එනම්, ආහාර සහ ඇඳුම් පැළඳුම් වැනි ජීවත් වීමේ මූලික අවශ්‍යතාවලටයි.

මෙය ද්‍රව්‍යමය තත්ත්වයන් මත පදනම්ව වුණු සාපේක්ෂව සරල අවශ්‍යතා සපුරා ගත් පසු, අපි සැබෑ සතුට සෙවීමට යොමු වෙමු. එය සෑම කෙනෙකුම සැලකිලිමත් වන, සහ උත්සාහ කරන දෙයකි.

ඉතින්, සතුට යනු කුමක්ද? එය භෞතික හෝ ආධ්‍යාත්මික ද?

සතුට තනිකරම පදාර්ථය මත රඳා පවතී නම් එහි ප්‍රමාණය ගණනය කළ හැක. අපිට ඒ සඳහා යම් මුදල් ප්‍රමාණයක් හෝ කොන්දේසි කිහිපයක් වශයෙන් සම්මත දර්ශකයක් සකස් කළ හැක. කෙසේ වෙතත්, යථාර්ථයේ දී එය ක්‍රියාත්මක වන්නේ කෙසේද?

දුප්පත් වූ විට බොහෝ මිනිසුන් තම භෞතික තත්ත්වයන් වැඩිදියුණු කිරීම මත සතුට සඳහා ඔවුන්ගේ බලාපොරොත්තු තැබීමට නැඹුරු වෙති. එහිදී උනන්දුවෙන් ධනය රැස් කිරීමට පෙළඹීමක් ද ඇති කරවයි. නමුත් භෞතිකමය ඉලක්කය කරා ළඟා වූ පසු, තාවකාලික තෘප්තියක් හැර, අපේක්ෂිත සතුට පිළිබඳ හැඟීම අපේක්ෂා කළ පරිදි සිදු නොවන බව පෙනේ.

එම නිසා සතුට යනු භෞතික තත්ත්වයන් වැඩිදියුණු කිරීමේ ප්‍රතිඵලයක් නොවේ.

ඇත්තෙන් ම සතුට යනු කුමක්ද? මතය අනුව, සතුට යනු අස්ථිර හැඟීමක් පමණි. මෙම අස්ථායී හැඟීම යම් දුරකට භෞතික තත්ත්වයන් සමඟ සම්බන්ධ වේ. නමුත් එය අපගේ මානසික තත්ත්වයට මෙන්ම සතුට අවබෝධ කර ගැනීමට මාර්ගය වන අපගේ අවශ්‍යතා ඇගයීමට ලක් කරන ආකාරය සමඟ වඩාත් සමීපව සම්බන්ධ වේ.

අපට ජීවිතය පිළිබඳ නිවැරැදි ආකල්පයක් නොමැති නම් හෝ, වෙහෙස නොබලා ද්‍රව්‍යමය දේ පසුපස හඹා යන්නේ නම් හෝ, සතුට සදාකාලිකව ම මිරිඟුවක් වනු ඇත. එම නිසා, සතුට රඳා පවතින්නේ භෞතිකමය අවශ්‍යතා සපුරාලීම මත පමණක් නොව එය හදවත හා සම්බන්ධ වීමක් ද සිදු විය යුතු ය.

මනුෂ්‍ය ජීවිතයේ සතුට අවබෝධ කර ගැනීමට නම් අප පළමුව දුක සහ පී‍්‍රතිය අතර ඇති සම්බන්ධය නිවැරැදිව වටහා ගත යුතු ය.

බෞද්ධ දෘෂ්ටිකෝණයෙන් ජීවිතය දුක්ඛිත ය. අපි අතර සිටින බොහෝ දෙනෙක් මෙය සැබැවින්ම තේරුම් නොගෙන පසුව බුදු දහම නිෂේධාත්මක හා අශුභවාදී යැයි නිගමනය කළ හැකි ය. මන්ද අපගේ ජීවිතය සම්පූර්ණයෙන් ම දුක් විඳීම නොව, අර්ධ සතුටක් හෝ අර්ධ දුකක් වගේම අර්ධ වශයෙන් පී‍්‍රතිමත් ය. එසේ නම් බුදුන් වහන්සේ එවැනි ප්‍රකාශයක් කළේ ඇයි?

ඇත්ත වශයෙන්ම, බුදුදහම මිනිස් හැඟීම් දුක්ඛ, සුඛ, ශෝකය, පී‍්‍රතිය සහ සමබර බව ලෙස වර්ග පහකට බෙදා ඇත. දුක සහ සතුට භෞතික මට්ටමින් ප්‍රකාශ වන අතර, වේදනාව සහ පී‍්‍රතිය ආධ්‍යාත්මික මට්ටමින් ප්‍රකාශ වේ. අපගේ හේතූන් අපට පවසන්නේ මෙම හැඟීම් පහ එදිනෙදා ජීවිතයේ කොටසක් වන අතර එම නිසා ඒවා නොවැළැක්විය හැකි බවයි.

කෙසේ වෙතත්, අපි අපගේ හදවතේ ගැඹුරින් හිතලා බැලුවාම දුකට වඩා සතුටට අකැමැති වන්නේ කවුද? ඇත්ත වශයෙන්ම, සතුට සෙවීම සියලු සංවේදී ජීවීන්ගේ සහජ බුද්ධියේම කොටසක්. අපි වසර දහස් ගණනක් තිස්සේ මනුෂ්‍ය ජීවිතය දුක් විඳීමෙන් මිදී සතුට ලබා ගැනීමට උත්සාහ කළෙමු. නමුත් ප්‍රතිඵලය කුමක්ද?

පුරාණයේ මිනිසුන්ට සිතාගත නොහැකි සැප පහසු භෞතික ජීවිතයක් අපට ලැබී ඇත. නමුත් අපි අපගේ දුක් වේදනා තුරන් කර තිබේද?

බුදු දහම පෙන්වා දෙන්නේ අපේ මේ ජීවිතය දුක්වලින් පිරුණු එකක් බවයි. එය සංසිද්ධි අනුව විස්තර කිරීමක් නොව, එය සංසිද්ධිවල සාරය මත පදනම්ව අප විසින් ඉදිරිපත් කරන ලද විනිශ්චයකි.

එනම් දුක් විඳීම මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය වන අතර, පී‍්‍රතිය දුක් විඳීමෙන් වෙන් කර තාවකාලික සහනයක් ගෙන දේ. යථාර්ථය නම්, අත්‍යවශ්‍ය ස්වභාවයක් ඇති කිසිදු පී‍්‍රතිමත් දෙයක් කිසි විටෙකත් නැත. අත්‍යවශ්‍ය ස්වභාවය යන්නෙන් මම අදහස් කරන්නේ අප එවැනි පී‍්‍රතියක් අත්විඳින්නේ කවදාද සහ කොපමණ කාලයකට වුව ද, ඕනෑම තත්ත්වයක් තුළ අපට සැම විටම එවැනි පී‍්‍රතිය දැනිය යුතු ය. සැබෑ ජීවිතයේ එවැනි නිරපේක්ෂ සහ වෙනස් නොවන සතුටක් අපට සොයාගත හැකිද?

ඇත්ත වශයෙන්ම, අපි ජීවිතයේ විඳින ඕනෑම ආකාරයක සතුටක් මේ ජීවිතයේ යම් යම් දුක් වේදනාවලට සාපේක්ෂයි. නිදසුනක් වශයෙන්, අපට කුසගින්න දැනෙන විට, ආහාර ගැනීමෙන් අපි පී‍්‍රතිමත් වන්නෙමු, අපට අපගේ පවුලෙන් වෙන් වූ විට දුකක් දැනුණ ද, නැවත එක් වූ පසු අපට සතුටක් දැනේ. අපි නින්ද නොයාමෙන් සිටින විට, අපට ප්‍රමාණවත් නින්දක් ලැබෙන්නේ නම් අපට සතුටක් දැනේ. කෙසේ වෙතත්, අපට බඩගින්නක් ඇති නොවන්නේ නම්, හෝ නින්ද නොයෑමක් ඇති නොවන්නේ නම්, අපි තවදුරටත් ආහාර ගැනීමෙන් හෝ නින්දෙන් සෑහීමකට පත්වේවි ද? වෙනත් වචනවලින් කිවහොත්, අපට අනවශ්‍ය ලෙස කෑමට හෝ නිදා ගැනීමට බල කළහොත් එය ද තවත් දුක් විඳීමේ උල්පතක් විය හැකි නොවේ ද? කුසගින්නෙන් හෝ නිදිමතෙන් පෙළෙන විට පමණක් ඒ වේදනාව සමනය වූ විට අපට සතුටක් දැනිය හැකි ය.

මෙම දෘෂ්ටිකෝණයෙන් බලන කල, අප සතුට ලබා ගන්නා ප්‍රමාණය, අප නිදහස් වන වේදනාවේ ප්‍රමාණයට සමානුපාතික වේ.

නූතන සමාජය ද්‍රව්‍යමය වශයෙන් විශාල දියුණුවක් ලබා ඇති අතර, පුරාණ කාලයේ සිටි අයට වඩා දුක් වේදනාවලින් මිදීමට මිනිසුන්ට බොහෝ ක්‍රම තිබේ.

ඉස්සර මිනිස්සු වෙන් වෙලා සිටින විට නැවතත් එකිනෙකා මුණගැසෙන එක අමාරුයි. කාලය ගෙවී යත්ම එකිනෙකා මුණගැසීමේ ආශාව ද වැඩි වේ. ඒ නිසාම කාලයකට පසු නැවත එක්වීමේ සතුට ඇති වූවාට සැකයක් නැත.

එකල වෙන් වීම අතිශයින් ප්‍රබල දුක් ගෙන දෙන කරුණක් විය. පැරැණි කාව්‍ය හා පද්‍යවලින් ද එවැනි විස්තර රාශියක් අපට සොයාගත හැකි ය. අද වන විට අපිට කෙනෙක්ව මඟ හැරුණොත්, ඔහු හෝ ඇය කොතරම් දුරක හිටියත්, අපිට ඒ වෙලාවෙම ඇමතුමක් ගන්න පුළුවන්, එහෙමත් නැත්නම් අන්තර්ජාලය හරහා එකිනෙකා මුණගැසීමේ ක්‍රමවේදත් නිර්මාණය වී තිබේ. එසේ නොමැති නම්, ගුවන් යානයකින් එම පුද්ගලයා බලන්න යන්නත් පුළුවන්.

දුර යනු තවදුරටත් සාගරයෙන් එහා තිබෙන දෙයක් වුව ද ජයගත නොහැකි බාධකයක් නොවේ. එසේ වුවද, පහසුකම් බහුල වන බැවින්, ආශාව නිසා ඇති වන දුක් වේදනා පැරැණි කාලයට වඩා තීව්‍ර වී ඇත. ඒ අනුව නැවත එක්වීමෙන් ඇති වන සතුටේ ද යම් අඩුවක් තිබේ.

ජීවිතයේ සත්‍යය නොවැටහෙන නිසා අපි දුක් විඳින්නෙමු. නමුත් මිනිසුන් බොහෝ විට මෙය නොදකින අතර, ලෝකය වෙනස් කිරීම දුක්ඛිත තත්ත්වයන් දුරු කිරීමට ඵලදායී මාර්ගයක් බව සිතත්. මෙම පක්ෂග්‍රාහී දැක්ම නිසාවෙන් නිරන්තරයෙන්ම අපගේ භෞතික තත්ත්වයන් වැඩිදියුණු කර ගන්නා අතරම අපටම දුක් වේදනා ද ඇති කර ගනී.

යම්තාක් දුරකට, අප විසින් ප්‍රශ්න ඇති කර ගන්නා වේගය, ලෝකය දියුණු කිරීමට අප කරන ප්‍රගතියට වඩා බොහෝ වේගවත් ය. නූතන සමාජයේ මිනිසුන් ඉහළ මට්ටමේ ශිෂ්ටාචාරයක් භුක්ති විඳින නමුත්, ඔවුන් වෙහෙසකර ජීවිතයක් ගත කරන අතර, ඔවුහු ඔවුන්ගේ මුතුන් මිත්තන්ට වඩා වැඩි පීඩනයක් අත්විඳිති. මෙයට හේතුව ඕනෑවට වඩා ආශාවන් හා දුක් වේදනා මිස අන් කිසිවක් නොවේ. ජීවිතයේ දුක් වේදනාවලට මූලික හේතුව මෙයයි. අපගේ හදවතින් හානිකර ආශාවන් සහ දුක් වේදනා තුරන් කිරීමෙන් පමණක් අවසානයේ අපට දුක්ඛිත මූලය ඉවත් කර විමුක්තිය ලැබිය හැකි ය.

වෙනත් ආගම් සාමාන්‍යයෙන් සතුට ස්වර්ගයේ සහ බාහිර ගැලවීමක තබයි. ඇත්තටම අපේ පරිසරය වෙනස් කිරීම උදාසීන පියවරක් එය හරියට “බෙහෙත් වෙනස් නොකර තැම්බුම් හොද්ද වෙනස් කරනවා වගේ” ජීවන තත්ත්වය වෙනස් නොවුණොත් ලැබෙන සතුට කෙටිකාලීනයි. අපේ හිතේ ව්‍යාකූලත්වය තවදුරටත් පවතින නිසා එය දිගටම පවතිනු ඇත. අවසන කරදර උපදවාගෙන නැවත ඉපදීම හෙවත් සංසාර චක්‍රය ද දීර්ඝ කර ගනී. සද්ධර්මය අපට උගන්වන්නේ ජීවිතයේ සත්‍යය අත්විඳිමින් සත්‍යාපනය කළ විට පමණක් අපගේ මෝහය ඥානාලෝකය බවට පත් කර දුකෙන් එතෙර විය හැකි බවයි.

තවද, අනෙකුත් ආගම්වලින් බුද්ධාගම වෙන් කර හඳුනාගත හැකි අත්‍යවශ්‍ය ලක්ෂණය වන ආත්ම විශ්වාසය විශේෂයෙන් අවධාරණය කරයි. වෙනත් ආගම් තුළ බාහිර බලය අවධාරණය කර ඇති අතර, ඇදහිලිවන්තයන් විශ්වාස කරන්නේ මිනිසුන්ට නිරපේක්ෂ විශ්වාසයක් තිබේ නම් ගැලවිය හැකි බවයි. බුද්ධාගම පිළිපැදීමේ දී, ප්‍රධාන වශයෙන් අපි, අප මතම රඳා සිටිමු, නමුත් අපි සමහර විට බුදුවරුන්ගෙන් සහ බෝධිසත්ත්වයන්ගෙන් ආශීර්වාද ලබා ගනිමු.

ඇත්ත වශයෙන්ම තමා මත පමණක් රඳා සිටිය නොහැක. අවබෝධයට පත්වීමට ප්‍රඥාව හා එයට අවශ්‍ය වන ක්‍රමවේද තිබිය යුතු ය. එනම්, අපි ආත්ම සහ ධර්මය යන දෙකම මත රඳා සිටිය යුතු බවයි. නොඑසේ නම් ආත්ම අභිමානයෙන් අපව නොමඟට ගෙන යනු ඇත. බුද්ධාගමේ අපි සරණය ලෙස හඳුන්වන බුදුන්, සද්ධර්මය සහ සංඝරත්නය “ත්‍රිවිධ රත්නය” ලෙස හැඳින්වේ. අපගේ ජීවිතය දියුණු කර ගැනීමට අප ඉගෙන ගන්නා අපගේ ආදර්ශය බුදුන් වහන්සේ ය. සද්ධර්මය යනු ජීවිතයේ සත්‍ය අවබෝධ කරන මාර්ගයයි. සද්ධර්මය ප්‍රගුණ කිරීමට අපට උපදෙස් දෙන අපගේ ගුරුවරුන් වන්නේ සංඝයා වහන්සේ ය. “ත්‍රිවිධ රත්නය” සරණ යාමෙන් අපට සැබෑ ලෙසම පරම විමුක්තිය ළඟා කර ගැනීමටත්, දුකින් මිදී සුගතියට පත්වීමටත් පුළුවන.