Print this Article


පහන් සිතක කවි

සිහියට නැඟ එයි එදවස දුටු විසිතුර...

සම්බුදු සමිඳු ගෞතම අපෙ මුනිඳු
බුදුවී ලොව්තුරා අටමසකින් පසිඳු
උරුවෙල් දනව්වේ දුරලා අවිදු අඳු
දමනය කළේ ජටිලයො දුරු කර අඳු

සිදුහත් කුමරු ගිහිගෙය හැර යන මඟට
හමුවුණු නිරිඳු එදවස සිටි මගධ රට
බුදුවී පසුව වඩිනා ලෙස සියර ටට
බිම්බිසාර රජු කීවේ බෝසතුට

ලැබු පසු බෝසතුන් පදවිය සම්බුදු
වැඩියා මගධ රට සිහිකර යළිදු
දෙව්රම් වෙහෙර කරවා මහ නරනිඳු
දුරුතු පොහෝ දා පිදුවා සසුනට බුදු

හෙළදිව එදා මහ උයනේ මහනාග
ඇවිලුණු අරගලය මහ යක් හා නාග
දිවැසින් බලා බුදු රජ සලසන්නට යහමඟ
විගසින් වැඩියෙ ලක්දීපෙට ගුවන් නැඟ

අමෝරා සිටිද්දි යක් දන නෙක නෙක අවි
දමනය කරන්නට යෙදුවේ බුදු සමිඳු සවි
මහාමේඝ අකුªණු ද මහවැසි පෙළට මැවී
බියවුණු යකුන් දිව්වා ගිරිදිවට නැවී

මහියංගනේ යක් සේනා දමනයට
වැඩිදා බුදුහිමි මේ හෙළදිවට
සමන් සුරිඳු වැඳ බුදු සමිඳුන්ට
ලැබුවේ කේශධාතුන් වැඳ පුදන්නට

****

භෝග විනාශ මුඛ

මත්වෙන පානයට පසුපස වැටීම
සිත් යන සූදුවට පි‍්‍රය ලෙස ඇලීම
රත්වෙන පාදයට ගයමින් නැටීම
ලත් තැන කාලයට මඟතොට සැරීම

මිතුරන් පාප ඇසුරේ දිවි ගෙවීම
අලසින් නේක තැන වැතිරී සිටීම
මෙලසින් භෝග වනසන මුඛ දැරීම
දෙසුවෙන් සමිඳු නොකරමු ධන නැසීම

****

යශෝධරාවනි

අනිස ලෝ දම් අතර
සදාකාලිකබවේ රිද්මය
ඔබගෙ ආදර කතාවයි
ලොවම ගයනා ගීතයයි
නිමල ප්‍රේමයෙ කැඩපතයි

****

ගුණ දම්

ලොවක් බලන්නට දෙනයන ලැබුණ පිනෙන්
දෙවරක් බලා වදනක් කිව යුතු ය මුවෙන්
සිත් සැනසෙන්න දොඩමලු වී මුදු වදනින්
ජීවත් වෙන්න සැමට සුව දෙන අයකු ලෙසින්

සොබා දම් මව දායාද කර දුන් තුරුලිය
හොඳ නැහැ කිසි දිනක වනසාලන්න
පණ ඇති තුරුලිය අඬනවා ලෝකෙට නොදැනෙන්න
හෙමිහිට වැටෙනවා කඳුළැලි මිහිතලය පිට

****

“80 වැනි ජන්ම දිනය සමරන මාගේ ආදර අම්මාට මෙතෙක් ජීවන මඟ පැවැති දුක්, කම්කටොලු ජයගෙන දරු සයදෙනකුට අම්මා වෙලා එකම පුතා පණ මෙන් රැක බලා හිමි අහිමිව ගියදා පටන් කඳුළු නොහෙලා සිත දැඩි කර ඉදිරිය සැහැල්ලුවෙන් කාලයට ඉඩ දී සතුටින්, සැදැහැතිව නිවන් මඟ යන ගමන් මඟ හමුවේවා'යි! ආසිරි පතමි.

“මව් ගුණ ගී ගයමි ගොතා – පියතුමහට නිවන පතා

මතු භවයක සසර පුරා – එමි අප සැම පෙරුම් පුරා”

****

ඔවදනක්

ජීවන ගමන් මඟ දුක සැප සමව ගෙන
සිඟිති පුතුගෙ හසරැල් අම සුවය දෙන
සුරතල් දෝණිගෙ මුව ගෙන වැලඳ ගෙන
වෙන සතුටක් ඇතිද? මිහිපිට කියනු මැන

මත්කුඩු මත්වතුර කිසිවිට ගන්න එපා
නොමනා අයගෙ ඇසුරට ඔබ යන්න එපා
නිවසින් බැහැර වී රැය ගත කරනු එපා
නිවසට පැමිණි බිරිඳට දොස් නඟනු එපා

ලොව ඇති සියලු රස එක්තැන් වී ඇත්තේ
තම නිවහනෙහි බව සිහියට ගත යුත්තේ
ලද පමණින් තුටුවීමයි කළ යුත්තේ
එවිටය ගෙපැල සිරිමැදුරක සිරි ගත්තේ

****

ඇය ද මවකි

දරු සෙනෙහස නිසා වෑහෙන කිරි ගංගා
දුන්නා මිනිසුනට වෙනසක් නොම පෙන්නා
ඒ කිරිවලින් පිරිපුන් බව ලැබ ගන්නා
උන් සැම කටී වින ඔබ හට නැත පෙම්මා

රිය සක අදින්නට ගොන් කුර සවි වූයේ
කමතේ බැත මඩින අම්බරු දැඩි වූයේ
බර වැඩ කරන්නට ගවයින් සවි වූයේ
දුන් කිරි නිසයි නැහැ එය සීමා වූයේ

දීලා දෙපා සතුනට කිරි දිවිය පුරා
පස්ගෝරසින් උන් සතපා සතුටු කළා
ලැබ දී ගොම පොහොර මිහිකත තුරුණු කළා
දිරපත් වූ ඔබව ‘මරණෙට’ නියම කළා

****

අවනඩුව

පද ගළපා කියනු කොහොම වූ අවනඩුව
පසුගිය දිනක සිදුවුණි පෝයට පෙර මහව
බණ ගෙදරකටයි ගියෙ ඇඳගෙන සුදු පිරුව
නොසිතූ ලෙසිනි වැටුණේ මහ වැසි පාකර කලුව

බාරගත් ලෙස අරගෙන ආවේ කුඩයක් පිරිකරට
ඉවසනු බැරි තැන ඉහලුවා කිරිසප්පයා තෙමෙනවට
පය ඉක්මන් කර ගෙට ගොඩවුනේ අවිද මයිල අට
දැන් මේක දෙන්න බෑ! නෑනා ගොඩවුනි ඇඟට

පව් සිදුවුනේ නෑ පෙරදා වැටුණු මල් සෝදා පිදුවට
තවකෙක් තම උතුරු සලුව සෝදා පිදුවලු මහ සෑයකට
කිරිසප්පයට ඉහලූ කුඩය සෝදා දෙන්නම් දැනට
පව්නෑ පූජා කරමු ඇත්හැර බොරු කහට