Print this Article


ජර්මන් භාෂාවෙන් ආචාර්ය උපාධිය දිනූ බහුශ්‍රැත පඬිරුවන

ජර්මන් භාෂාවෙන් ආචාර්ය උපාධිය දිනූ බහුශ්‍රැත පඬිරුවන

ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ජර්මනියේ සමථබලසම්පන්න ප්‍රධාන සංඝනායක ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම පුරාණ රාජමහා විහාරාධිපති හා සදානන්ද මහ පරිවේණාස්ථානයේ අධිපති ආචාර්ය සද්ධර්මකීර්ති භාෂාන්තර විශාරද රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

උට්ඨානවතො සතිමතො - සුචිකම්මස්ස නිසම්මකාරිනො

සඤ්ඤතස්ස ච ධම්මජිවිනො - අප්පමත්තස්ස යසොභිවඩ්ඪති

යන බුදුවදනට අනුව “උත්සාහයෙන් මනා සිහිනුවණින් ස්වකීය කටයුතු මනා ලෙස ඉටුකරමින්, සංවරයෙන් යුතුව, ධාර්මිකව දිවි ගෙවන්නාගේ කීර්තිරාවය දිනෙන් දින දියුණුවට පත්වෙයි.

මේ බුදුවදනට අනුකූලව ගමන් කර ස්වකීය උත්සාහයෙන් මනා සිහිනුවණින් සහ සංයමයෙන් යුක්තව ධාර්මිකව තමාවෙත පැමිණි සියලු අභියෝග ඉතා දක්ෂ අන්දමින් ජයග්‍රහණය කළ සංඝ පීතෘවරයාණන් වහන්සේ දෙස් විදෙස්හි යශෝරාවය පතුරවමින් වැඩ සිටිති.

ගම්පහ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම පුරාණ රාජමහා විහාරාධිපති හා සදානන්ද මහ පිරිවේණස්ථානයේ අධිපති ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරාධිපති ආචාර්ය සද්ධර්මකීර්ති භාෂාන්තර විශාරද ජර්මනියේ සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක පූජ්‍ය රඹුක්වැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත දේවානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විදේශීය ධර්මදූත ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් විශිෂ්ට ශාසනික කාර්යභාරයක නියැළී සිටින එවැනි බහුශ්‍රැත පඬිරුවනක් වශයෙන් හැඳින්විය හැකිය.

භික්ෂූන් වහන්සේට අයිති කාර්යභාරය කුමක්ද යන්න අවබෝධ කරගෙන රඹුක්වැල්ලේ දේවානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිදුකරන අත්‍යුදාර ශාසනික සේවය ජාත්‍යන්තර ප්‍රජාවගේ ද ප්‍රශංසාවට පාත්‍ර වේ.

දිසානායක මුදියන්සේලාගේ පුංචි බණ්ඩා දිසානායක නිලමේතුමාගේ හා කුලසේකර මුදියන්සේලාගේ පුංචි මහත්ම යන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මව්පිය දෙපළගේ පුත්රුවනක් වශයෙන් ඓතිහාසික මහනුවර තෙල්දෙනිය රඹුක්වැල්ල ප්‍රදේශයේ දී ජන්මෝත්පත්තිය ලැබූ නාහිමිපාණන් වහන්සේ සංසාරගතව පුරණය කරන ලද පාරමිතා බල මහිමයෙන් 1978 වර්ෂයේ දී රඹුක්වැල්ලේ දේවානන්ද යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ප්‍රව්‍රජ්‍යාභාවය ලබා ගත්හ. එවකට දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාමාධිපති හා සදානන්ද මහ පරිවේණාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත රඹුක්ැල්ලේ ශ්‍රී බුද්ධරක්ෂිත ප්‍රඥාසාරාභිධාන සීනාදී සිවු කෝරළයේ ප්‍රධාන සංඝනායක නාහිමිපාණන් වහන්සේ හා සදානන්ද මහ පරිවේණාස්ථානයේ අධ්‍යක්ෂ කුරුකොහොගම ශ්‍රී බුද්ධරක්ෂිත ජිනානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යන සාර්වභෞම පාණ්ඩිත්‍යයෙන් සංඝ සෝභන ගුණයන්ගෙන් පිරිපුන් මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යවරුන් වූහ.

නිවැරැදි ශාසනික ප්‍රතිපදාව අනුගමනය කරමින් සුපේශල ශික්ෂාකාමී අර්ථචරියාවෙහි පිළිපන් සංඝ නේතෘන් වහන්සේලාගේ ආභාසය උන්වහන්සේගේ පැවිදි ජීවිතය ආලෝකවත් වීමට හේතු විය.

ලංකා ශාසනම්බරය ආලෝකවත් කළ දීප්තිමත් පරිවේණස්ථානයක් වුණ දොරණෑගොඩ ශ්‍රී සුමන්තින්දාරාම රාජමහා විහාරස්ථ සදානන්ද මහ පිරිවෙනින් ධර්ම ශාස්ත්‍රොද්ග්‍රහණය කළ උන්වහන්සේ ප්‍රාචීන විභාග සමත්වීමෙන් අනතුරුව උසස් පෙළ විභාගයෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ලකුණු ලබාගත් ශිෂ්‍යයා ලෙස කැලණිය විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ප්‍රථම පන්ති ගෞරව සාමාර්ථයක් සහිතව සාමාන්‍ය ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත්හ.

1992 වර්ෂයේ දී ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ලබා විදේශීය ධර්ම දූත සේවය සඳහා ජර්මනියේ බර්ලින් විහාරයට වැඩම කළහ. සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි භාෂාවන්ට අමතරව ජර්මන් භාෂාව පිළිබඳ හසළ දැනුමක් ලබා ගත් උන්වහන්සේ ජර්මන් භාෂාව මාධ්‍ය කොට ආචාර්ය උපාධියක් ලබා ගත් ප්‍රථම භික්ෂූන් වහන්සේ වශයෙන් ද කීර්තියක් උසුලනු ලබයි.

තවද දෙවන ලෝක සංග්‍රාමයේ දී මියගිය ලක්ෂ සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් ජර්මනියේ හිටපු ජනාධිපති ආචාර්ය රිචර්ඩ් පොන් වෛසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බර්ලින් නුවර ජර්මන් පාර්ලිමේන්තුවේ දී ගුණානුස්මරණ උත්සවයක් පවත්වනු ලැබූහ.

1994 මැයි මස 30 වැනි දින පවත්වනු ලැබූ එම උත්සවය සඳහා ආගමික නායකයන් මෙන්ම රාජ්‍ය නායකයන් ද විශාල ප්‍රමාණයක් සහභාගි වූහ. එහිදී ජර්මන් පාර්ලිමේන්තුවේ දී බුදුදහම වෙනුවෙන් ජර්මන් භාෂාවෙන් දේශනයක් සිදුකළ එකම ශ්‍රී ලාංකිකයා වීම ද, එකම භික්ෂූන් වහන්සේ නමක් වීම ද යන සුවිශේෂී දුර්ලභ අවස්ථාව උන්වහන්සේට හිමි විය.

2002 වර්ෂයේ දී ප්‍රථම වතාවට ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සර්වඥධාතු ප්‍රදර්ශනයක් පැවැත්වීමට කටයුතු කළ නා හිමිපාණන් උන්වහන්සේ එම ධාතුන් වහන්සේ අමෙරිකා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චෛත්‍යයක් තනවා එහි නිධන් කිරීමට ද කටයුතු කළහ. අති විශාල විදේශීය සැදැහැවතුන් පිරිසකගේ වන්දනාවට පාත්‍ර වූ එම ධාතු ප්‍රදර්ශනය පැවැත්වීම නිමිත්තෙන් උන්වහන්සේ තායිලන්තයේ සංඝරාජ හිමිපාණන් වහන්සේගේ ගෞරව සම්භාවනාවටත් පාත්‍ර වූහ.

බර්ලින් නුවර විහාරස්ථාන 52 ක් ඒකරාශී කර ගනිමින් වාර්ෂිකව වෙසක් උත්සව පැවැත්වීමට කටයුතු කරන නාහිමිපාණන් වහන්සේ රජයේ පාසල්වල බුදුදහම ඉගැන්වීම සඳහා “ධර්මදූත” නමින් ජර්මන් භාෂා සඟරාවක් පළකිරීමට ද ක්‍රියා කර ඇත. ජර්මනියේ රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කථිකාචාර්යවරයකු වන උන්වහන්සේ ජර්මන් හුමිබෝල්ටි ජාතික විශ්වවිද්‍යාලයේ ලෝක ආගමික හා දර්ශන පීඨයේ කථිකාචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරනු ඇත.

නාහිමිපාණන් වහන්සේ ජර්මනියේ බර්ලින් නුවර ශ්‍රී සම්බෝධි විහාරය ද ආරම්භ කළහ. ශ්‍රී ලාංකික අපට ලොවට දිය හැකි උතුම්ම දායාදය ථෙරවාදී බුදුදහමයි. ධර්ම ශාස්ත්‍රිය ග්‍රන්ථ ගණනාවක් ම සම්පාදනය කොට බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය ලෝකයාටම බෙදාදීමේ මහඟු කාර්යයක නියැළුණු පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද නායක මාහිමිපාණෝ සැබෑ ධර්මදූතයාණන් වහන්සේ නමක ලෙස බොහෝ ජනයාට හිතසුව පිණිස සේවය කිරීම බෞද්ධ ලෝකයට ම මහත් වූ ආදර්ශයකි.

වසර 25 කට අධික කාලයක් බුදුදහම හා බෞද්ධ දර්ශනයේ හරය යුරෝපීයයන්ගේ ජීවිත වෙත සමීප කරමින් සිදුකළ ලෝක ආගමික ශාසනික සේවය සම්භාවනාවට පාත්‍ර කළ ස්‍යාමෝපාලි වංශික මහා නිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ධර තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව මඟින් සද්ධර්මකීර්ති ශ්‍රී බුද්ධරක්ෂිත භාෂාන්තර විශාරද සමථබල සම්පන්න ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීමට ද කටයුතු කර ඇත.

අප මාතෘභූමියේ කීර්ති නාමයත්, ශ්‍රී ලාංකික අනන්‍යතාවත්, බෞද්ධාගමික ගෞරවයත් ආරක්ෂා කරමින් කරගෙන යන්නා වූ ජාතික, ආගමික ලෝක ශාසනික සේවාව තවදුරටත් කරගෙන යාම සඳහා ආචාර්ය පූජ්‍ය රඹුක්වැල්ලේ දේවානන්ද නායක මාහිමිපාණන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සමඟ චිරජීවනය බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි.