Print this Article


පරදින්නත් පුරුදු වෙමු

පරදින්නත් පුරුදු වෙමු

ලොව සියලු සත්ත්වයෝ සැප කැමැත්තෝ වෙති. දුකට අකැමැති වෙති. එසේ වුව ද මිනිසාට උපන් දා පටන් මරණය දක්වා කැමැති දේ ම නොලැබේ. අකැමැති දේ ඇසීමට, දැකීමට, විඳීමට සිදු වේ. බුදුරජාණන් වහන්සේ මේ නිසා ම අපට අටලෝ දහම දේශනා කරමින් ඒවායින් කම්පා නොවන්න හුරු පුරුදු වීමට දහම් දෙසූහ.

ලාභෝ අලාභෝ අයසෝ යසෝ ච - නින්දා පසංසා සුඛං ච දුක්ඛං යනුවෙන් අපට ජීවිතයේ දී ලාභ, යස, ප්‍රශංසා, සැප පමණක් නොව අලාභ, අයස, නින්දා, මෙන් ම දුක් ද විඳීමට සිදුවන බව දේශනා කළ සේක.

අද අපේ දරුවන්ට මවුපියන්, ගුරුවරුන් මෙන් ම බොහෝ වැඩිහිටියෝ කියා දෙන්නේ සුභ දායක පැත්ත පමණි. සැමදාම ජය ලැබිය යුතු ය. අප සෑම විභාගයක් ම සමත් විය යුතු ය. ලාභ ම ලැබිය යුතු ය. යනාදී වැරැදි හැඟීමක් කුඩා කල පටන් ම දරුවන්ට ලබා දෙයි. එයින් සිදුවන්නේ යහපතකට වඩා අයහපතකි. මෙයට හොඳම නිදසුනක් පසුගිය දා අපට අසන්නට, දකින්නට ලැබිණ. ඒ විශ්වවිද්‍යාල ශිෂ්‍යයකු තවත් විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක අමානුෂික ලෙස ඝාතනය කිරීමයි.

ඒ සිදුවීම දෙස අප අනුකම්පා සහගත ව බැලිය යුතු ය. එසේ මියගිය ශිෂ්‍යාව මෙන් ම ශිෂ්‍යා ද අනුකම්පාව ලැබිය යුත්තෝ ය. ඒ අප ඒ දරුවන්ට පරදින්නට කියා දී නැති නිසා ය. අප දරුවන්ට ආදරයෙන් පරාදවීම යනු මිය යෑමට හෝ කෙනෙක් මැරීමට හේතුවක් නොවන බව කියා දී නැත. විභාගයක් අසමත් වීම නිසා, ආදරයක් අහිමි වීම නිසා, ප්‍රශ්නයක් විසඳා ගැනිමට නොහැකි වීම නිසා බොහෝ දරුවන් සිය දිවි හානිකර ගත් අවස්ථා අපට අසන්නට ලැබේ. ශිෂ්‍යත්ව විභාගයේ පටන් සෑම විභාගයක් ම සමත් විය යුතු බවයි මවුපියවරු වැඩි දෙනෙක් සිතන්නේ. දරුවන් ඉල්ලන සෑම දේ ම දරුවන්ට දීමට මවුපියන් කටයුතු කරන්නේ ඔවුන්ට ඇති ආදරය නිසයි. එහෙත් ඒ හැම දේකින් ම සිදුවන්නේ හොඳකට වඩා නරකකි. ඒ ඔවුන්ට අහිමි වීම්, පරාද වීම්, අසමත් වීම් දරා ගැනීමට නොහැකි වීමයි. එනිසා අප සැම දා දිනීමට පමණක් නොව පරදින්නත් පුරුදු විය යුතු ය. දහමට අනුව නම් අටලෝ දහමින් කම්පා නොවීමට හුරු කළ යුතු ය.